විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි
- Oasis ක්ෂේම භූමිය
- Ratnapura, Sabaragamuwa, Sri Lanka
- පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.
Saturday, November 30, 2019
Wednesday, November 20, 2019
තෙල්මා -සමන් පුෂ්ප ලියනගේ මහතා
නෝර්වීජියානු රජ කුමරියක මුල් කරගෙන රචිත "තෙල්මා " නව කතාව මාරි කොරලි (Marie Corali ) නමැති ඉංග්‍රීසි ජාතික කතුවරිය විසින් 1886 වර්ෂයේදී රචනා කරන ලද ඇයගේ පළමු නව කතාවයි.මෙම කතාව අතිශයින් ජනාදරයට පත්වූ අතර 1918 වන විට ඇය නව කතා 24ක් පමණ පළ කරන්නට සමත් වුවාය.මෙම නව කතාව සමන් ලියනගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.උත්තර ධ්‍රැවය ආසනයේ පිහිටි නොරෙවේ රටේ රජ කුමරියක සහ පිලිප් නමැති ලංඩන් නුවර ධනවත් තරුණයකු අතර ඇතිවන ආදර අන්දරය තෙල්මා නව කතාවෙන් පාඨකයා වෙත ලං කරනු ලබයි. එමෙන්ම නොර්වේ රට පිළිබඳව චමත්කාරජනක අත්දැකීමක් මේ හරහා කතාව රස විඳින පාඨකයා වෙත ගෙන හැර පෑම දක්නට ලැබෙන ලක්ෂණයකි. මුහුදු ගමන් සමග බද්ධ වූ නෝර්වීජියානු ජීවිතය හිම කඳු සහ අලංකාර මෙන්ම බිහිසුණු ගිගුරුම් සහිත දිය ඇලි වනාන්තර, පිළිබඳව විස්තර වර්ණනා අන්තර්ගත වූ මෙම නව කතාව පරිසරයට සොබාදහමට ඇලුම් කරන පාඨකයෙකුට කියවීමට සුදුසු වූ සාර්ථකම පරිවර්තනයකි.පරිසරය වර්ණනා කිරීමේදී කාව්‍යමය භාෂාවක් යොදා ගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.
කුතුහලය පිරුණු ආකර්ෂණිය කථාවක් වන "තෙල්මා " මුල සිට අග දක්වා පොත පසෙකින් නොතබා කියවීමට තරම් කථා රසයකින් යුතුය. තෙල්මාගේ පියා වන රජ පරපුරකින් පැවත එන "ගුල්ඩ්මාර් " නමැති ඉඩම් හිමි ගොවියා දක්ෂ නාවුකයෙකි.සොබාදහම සමග බැඳුනු හුගේ ජීවිතය කතාවට ආලෝකයක් එක් කරන අතර , පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන ඔහුගේ ඕඩින් දේව ඇදහිල්ල අනුව "සාගර සොහොනේ ලෝහිත අදහනයට "ඔහුගේ සිරුර ලක්වන ආකාරය පාඨකයාට වෙනස්ම වූ අත්දැකීමක් ගෙන දෙයි. සෑම ජීවි වස්තුවක්ම සොබාදහමේ නිර්මාණයක් වන අතර , අවසානයේදී සොබා දහමට එක්වන අටලෝ දහමේ සිද්ධාන්තය මාරි ජෝරලි මෙම ග්‍රන්ථයෙන් සනාථ කරවයි.
ඉතාමත් රූමත් ,ඇයගේ අවිහිංසක හා සමාජයේ හැලහැප්පීම් වලට ගොදුරු නුවූ සමාජශීලි නොවුණු කාන්තාවක් පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේ තර්ජනයට කපටිකම් වලට සහ අවමන් වලට ගොදුරු වී අවසානයේ විවහා ජීවිතය දෙදරා මරණයේ සෙවණැල්ල කරා ආසක්ත වන ආකාරය මාරි කොරලි කතුවරිය දක්ෂ ලෙස සිතුවම් කරයි.
ශාප ඇස් වහ කටවහ දෝෂ වැනි පෙරදිග ශිෂ්ටාචාරයේ ඇති සමහර පිළිගැනීම් නොර්වේ සංස්කෘතිය තුළ ජන ජීවිතය කෙරෙහිද බලපෑ ඇති ආකාරය තෙල්මා නව කතාවෙන් විස්තර කරයි.එමෙන්ම අටලෝ දහම අනුව යම් පුද්ගලයකු කරන අපරාධ ක්‍රියා මතු භවයේදී නොව මෙම ආත්මයේදීම පල දෙන ආකාරය ෆ්‍රැන්සිස් ලේනෝ, වයලට් , බේරා වැනි චරිත තුළ අන්තර්ගත වේ.
මෙම සංසිද්ධිය 19වන සියවසේ ජිවත් වූ තෙල්මාට පමණක් නොව අද සමාජයේ මෙවැනි කාන්තාවන්ට පොදුවූ ධර්මතාවයකි.ලන්ඩන් නුවර මධ්‍යතන යුගයේ උසස් මධ්‍යම පන්තිය සහ ප්‍රභූ පැලැන්තිය තුල මතුපිටින් පෙන්නුම් කරන සාඩම්බර, ආටෝප යට වඩා ඉරිසියාව , කුහකත්වය සහ දුර්ගුණ ඉස්මතුව තිබු ආකාරය මාරි කොරලි විස්තර කරන්නේ , අපට චාර්ල්ස් ඩිකන්ස් ගේ ඔලිවර් ට්විස්ට් සිහිපත් කරමිනි.
ප්‍රධාන චරිත දෙකට අමතරව උප චරිත දහයක් පමණ ඔස්සේ අපට ජිවිතයේ විවිධ මානයන් ඉස්මතු කර දක්වන ආකාරය ඉතාමත් ප්‍රශංසනීය ය.
තෙල්මාට හදවතින් ආදරේ කළ ජෝර්ජ් ලොරිමර් ද මෙහි එන අයුරු තෙල්මාට ද මෙහි එන අපුරු චරිතයකි.තෙල්මාට ආදරය ප්‍රකාශ කළ පිලිප්ව දිය ඇල්ලට තල්ලු කර මරා දැමීමට සිගාර්ඩ් උත්සහ කළ අවස්ථාවේදී ඔහු පිලිප්ගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත්විය.
සැබෑ ආදරය යනු තමා ආදරය කරන තැනැත්තාගේ සතුට.. යන කියමන සැබෑ කිරීමට සහ මිත්‍රත්වයේ විශ්වසනීයත්වය රකින සැබෑ යහළුවකු ලෙස ඔහු ක්‍රියා කරයි.දිගු නව කතාවක් වන තෙල්මා කථා රසය ,භීතිය,, ස්වභාවික සෞන්දර්ය අපුර්වත්වය ජනනය කරනු ලබන අපුර්වතම කෘතියක් ලෙස තෙල්මා නව කතාව හැඳින්විය හැක.
Monday, November 18, 2019
සාරා - සුමිත්‍රා රාහුබද්ද මහත්මිය
න්‍යෂ්ටික බලපෑම් නිසා ඇතිවන සෞර්තු විපර්යාස ,පිපිරීමෙන් දිවි ගලවා ගත් මිනිසුන්ගේ ජිවිත වල ඇතිවන්නාවූ පෙරලිය ,එහි ජිවත් වන ප්‍රතිවාදී කණ්ඩායම් අතර ඇතිවන ඝට්ටනයන් යුද්ධයේ ප්‍රතිපලයක් විකිරණ වල බලපෑමට අසුවී ඉපදෙන ජාන විකෘති වූ දරුවන් පිළිබඳව පාඨක සිත් තුල සංවේගයක් ජනනය කරමින් රචනයට පාත්‍ර කිරීමට සුමිත්‍රා මහත්මිය සමත් වී ඇත.
මෙම නව කතාව ඔස්සේ මානව වර්ගයාට නව ලොවක් බිහි කිරීම උදෙසා යුද්ධයේ ප්‍රචණ්ඩත්වයෙන් සහ භීෂණයෙන් තොරව නොනැසී පැවතිය හැකි බවට නවමු බලාපොරොත්තුවක් ලේඛකයා විසින් ලබා දේ.
එංගලන්තයේ පාසල් සිසුවියක වූ සාරා ගුවන් ප්‍රහාර සයින්සර්ස් හඬ මැදින් නිවසට දිව යන්නේ තම පුංචි අම්මා වූ වෙරෝනිකාට න්‍යෂ්ටික ප්‍රහාරයෙන් තම පවුලේ සාමාජිකයින් බේරා ගැනීමට උපකාර කරනු පිණිසයි.කැතරින් සහ විලියම් සාරාගේ කුඩා සොයුරා සහ සොයුරිය වන අතර ඔවුන් මෙම ප්‍රහාරයට කොටු වෙති.සරාගේ පියා බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙකු වන අතර මේ අවස්තාව වන විට ඔහු නිවසේ සිටියේ නැත.දිගින් දිගට න්‍යෂ්ටික ප්‍රහාරයන් එල්ල වෙද්දී ආවරණය නොකළ චිමියෙන් නිවස තුලට පැමිණෙන විකිරණශීලි අංශු බොන වතුරට මුසුවිම නිසා මොවුන් අසනීප වන්නට විය.මුලින්ම වෙරෝනිකා තුල පළමුව මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කල අතර ඇගේ රෝග ලක්ෂණ නරක අතට හැරී ඇය මියයයි.
මෙම කතාව කියවාගෙන යාමේදී සිත කම්පනයට පත්වන අතර සිතේ මෙම භිෂණය පිලිබඳ චිත්තරුප මැවේ.අතරින් කෙඳිරි ගාමින් මිය යන බස්ටර් නමැති බලු පැටියා පිලිබඳ දරුවන් ශෝක වන ආකාරය පාඨක ඇසට කඳුලක් නංවයි.එම මිටියාවතේ පැවති සුන්දරත්වය ,එහි ජිවත් වූ මිනිසුන්ගේ ජිවත වල පැවති පාරිශුද්ධත්වය භයානක යථාර්ථයකට පෙරළුණි. උපදින සෑම දරුවකුම මෙම කම්පනයේ බලපෑමට ලක්වුහ.මෙම දරුවන් පැමිණෙන්නේ පවතින ආණ්ඩුවල ප්‍රචණ්ඩත්වය ,යුද්ධයෙන් පසු ඇතිවන රෝග තත්වයන් සහ විකෘති කයකින් සහ මානසිකත්වයකින් යුතුවය. නමුදු ඔවුන් යහපත් අතට අනුවර්තනය වෙමින් පවතී.දුවිල්ලෙන් හා නටඹුන් අතුරින් නව ජීවයක් ඇතිවේ.නව අනාගතයකට පා තබන පරම්පරාවක් ඇතිවේ.
මෙම න්‍යෂ්ටික යුද්ධයට මැදිවන ප්‍රධාන පවුලේ සාමාජිකාවන් වන වෙරෝනිකා පුංචි අම්මාද ,සාරා දියණියද කුඩා කැතරින් සහ විලියම්ද ජිවත් කරවමින් ජිවිතයට මුහුණ දීමට දරන උත්සාහය ප්‍රසංෂනිය වේ.කැතරින්ගේ අනාගත ජීවිතය සුරක්ෂිත සාරා ගන්නා උත්සාහය ලොව සෑම කෙනෙකුටම මිනිසත් කම පිළිබඳව අපුරු වටිනා පාඩමක් කියා දෙයි.
මෙය මා විසින් කියවන ලද හොඳම පශ්චාත් එළිදරව් නව කතාවකි.එමෙන්ම මෙම නව කතාව මගින් අප ජිවත් වන පෘථිවි තලය පිලිබඳ ගැඹුරින් සිතීමට පාඨකයාව පොළඹවයි.මනුෂ්‍යත්වය , සහයෝගිතාව ,අන්ටිසොනොෆොබියා යන සංකල්ප වලින් පරිපුර්ණ නව කතාවක් වේ. සරල භාෂාවකින් සහ ලේඛන ශෛලියකින් යුතු දරුවන් මෙන්ම වැඩිහිටියන්ටද සුදුසු නව කතාවක් ලෙස සාරා කතාව හැඳින්විය හැක.එමෙනම් එංගලන්තය මුහුණ දුන් පශ්චාත් න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ දෘශ්‍යමාන දර්ශනයක් ඉදිරිපත් කිරීමට ලෝරන්ස් සමත් වී ඇත.මේ ඔස්සේ අනාගතය පිලිබඳ ලෝරන්ස්ගේ දැක්ම ඉදිරිපත් කර ඇත.
න්‍යෂ්ටික යුද්ධයකින් හෝ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමකින් අපේ පරිසරය බිඳ වැටුණහොත් සමස්ත මිනිස් සංහතිය පත්වන ඉරණම පිලිබඳ කදිම නිරූපණයක් සාරා කතාව ඔස්සේ අපට ලඟා කර දේ.අපට හුස්ම ගැනීමට පිරිසිදු වාතාශ්‍රය නොමැති නම්, බිමට පිරිසිදු ජලය නොමැති නම් කිසිදු තාක්ෂණයක් තිබිමෙන් පලක් නැත.යුද්ධයක ආරම්භයක් සමගින් පවුලකින් සිදුවන පරිත්‍යාගයන් ,භූගත වැටීම් සහ මිනිස් වර්ගයාගේ නැවත නැගිසිටීම් පිලිබඳ මනා අවබෝධයක් අපට මේ නව කතාව ඔස්සේ ලබා ගත හැකිවීම මෙහි සුවිශේෂිත්වයයි.
Wednesday, November 6, 2019
සුළං කපොලු මැද - දිල්හානි වික්‍රමරත්න
මාරි ඇන්ජි හොර්කින්ග්ස් නමැති ප්‍රංශ ජාතික දැරිය සහ ඇය ජිවත් වූ " දී මාර්මොටම් මන්දිරය පාදක කර ගෙන මෙම නව කතාව ලියවී ඇත.ඩැනියෙල් ස්ටිල් ගේ ලිවීමේ විශේෂත්වය නම් ජීවිතය හමුවේ කවර අන්දමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවුවද , අත්‍යන්තයේදී සියළු අභියෝග මැඩ ගෙන ධනාත්මක මනෝ භාවයන්ගෙන් සපිරි විශිෂ්ඨ ජිවන චරිත බවට පත් කරවීමයි.දී මාර්මොටම් මන්දිරය සෑම කුඩා දරුවකුගේම සිතෙහි මැවෙන මල් සහ පලතුරු උයනක් සහිත සිහින විමනකි.මිනිස් වෙස් ගත් කුරිරු යක්ෂයකුට අසුවුවහොත් එවැනි සුර ලොවක් පවා භිෂණය ත්‍රස්තය පිරි ස්ථානයක් බවට ගතවන්නේ කෙටි කළකි.
මෙහි කතා නායිකාව වන මාරි ඇන්ජිගේ මව පියා සහ එකම සහෝදරයා රිය අනතුරකින් මිය යාමෙන් ඇයගේ ජිවිතයේ ඛේදාත්මක යුගයක් ආරම්භ වේ.ඇයව පියාගේ දේපල භාරකාර මණ්ඩලය විසින් රැකවරණය පතා ඇමරිකාවේ වෙසෙන නැන්දණියකගේ භාරයකට පත් කරයි.කෘර නැන්දණියගේ අඩම්තෙට්ටන් සහිතව වහල් සේවයේ යොදවන ඇන්ජි අනාථ දරුවන් සඳහා වූ පාසලක උසස් අධ්‍යාපනයට පවා යොමු වේ.එහෙදි හමුවන ගොවිපලක හිමිකරුවකුගේ පුතකු වන බිලි පාකර් ඇයට හොඳ මිතුරෙකු වීම දිවිය
ට පහන් එළියක් සේ බලපායි.
තම පැරණි නිවාස දැක බලා ගැනීමට ප්‍රංශයට යන ඇන්ජිට නිවසේ නව හිමිකරු වූ එඩ්වර්ඩ් මුණ ගැසීම දිවියේ මීළඟ දෛවෝපගත සිදුවීමයි.ආදරණිය හැඟීම් මත සිදුවන සැබෑ ආදරය සහ කෞතුක වස්තුන් සහ එකතු කිරීමේ උන්මාදයකින් පෙලෙන ධන තෘෂ්ණාවෙන් පෙලෙන ඔහුගේ ආදරය අතර ඇයගේ ජීවිතය දෝලනය වේ.පවුල් ජීවිතය ,බිරිඳට දරුවන්ට ඇති ආදරය යක්ෂ වෙස් ගත් වස්තුව හමුවේ දියවී යන ආකාරය ඩැනියෙල් ස්ටිල් මනාව හෙළි දරව් කරයි.
කිහිප වරක් විවාහ වී දරුවන් 9 දෙනෙකු සමග දිවි ගෙවූ කතුවරියගේ ජිවිත අත්දැකීම් කුටුම්බයේ ඇතිවූ ඝට්ටනයන් මෙම නව කතාවෙන් හෙළිවේ.සරල භාෂාවකින් ලියවී ඇති මෙහි එන දුක්බර අවස්ථා පොත කෙරෙහි ඇද බැඳ තබා ගනී. ප්‍රධාන චරිතය කෙරෙහි පාඨක ආදරය සහ අනුකම්පාව දනවන භාෂා 28කට පරිවර්තනය කර ඇති මෙම නව කතාව ලෝකයේ රටවල් 47ක අලෙවි වේ.
වයස අවුරුදු 21ක් වූ තරුණියක් නොදන්නා පුද්ගලයකු සමග අනවබෝධයෙන් ඇතිවන විවාහයක දරුණු ප්‍රතිපල කතුවරිය මනා ලෙස පැහැදිලි කරයි.උන්මත්තකයකු මෙන් මුදල් , වස්තුව පසුපස හඹා ගොස් බිරිඳ සහ දරුවන් ඝාතනය කිරීමට පවා පෙලඹෙන පියවරුන් අද සමාජයේද දැකිය හැක. පිරිමියකු පිලිබඳ මනා අවබෝධයක් නොමැතිව කෙටි හඳුනා ගැනීමකින් පසු තීරණ ගන්නා විවාහපෙක්ෂිත තරුණියන්ටඩැනියෙල් ස්ටිල් අනගි ආදර්ශයක් පෙන්වා දේ.
මෙය ඇමරිකාවට හෝ ප්‍රංශයට අදාල ධර්මතාවයක් නොව ලොවටම පොදු වුවකි.ආදරණිය පවුල් පරිසරයක හැදී වැඩුණු ඇන්ජි මෙවන් තත්වයකට පත්වීම කෙරෙහි ඇයට ආදරය කරන පවුලේ කිසිම සාමාජිකයකු හෝ හිතවත් නෑයකු නොමැති වීමද බලපායි.
ඇන්ජි පිලිබඳ ප්‍රධාන කතාවට අමතරව , එඩ්වර්ඩ් ගේ පළමු බිරිඳ වූ ලුසී හා ඇයගේ පුත්‍රයා පිලිබඳ පුවත උසස් යයි සම්මත සමාජයේන් කාන්තාවකට සිදුවූ තවත් ව්‍යවසනයක් පිලිබඳ අතුරු කතාවකි.ඇත්තෙන්ම නාගරික සමාජයේ සර්ව පිත්තල ලෝකයට වඩා ගොවිපලක ජිවත් වන සාමාන්‍ය ගොවි පවුලක් වන බිලි ඇතුළු සාමාජිකයින් කෙතරම් උසස් මිනිස් ගතිගුණ වලින් හෙබි පිරිසක් දැයි කතුවරිය හෙළිකරයි.කුඩාකල ඇන්ජි රැකබලා ගත් සේවිකාවද මෙවන් උසස් ගති ඇත්තියකි.
සැමියාගේ ගති ලක්ෂණ අවසානය තෙක් තේරුම් ගැනීමට ඇයට අපහසු වන්නේ ඇය ඔහුගේ වැරදි සාමාන්‍ය කරණය කරමින් ජිවත්වන නිසාය.මෙම නව කතාව සින්ඩරෙල්ලා ආදර අන්දරයකින් අවසන් වේ.
මෙම රචනය තුලින් කතුවරියගේ තේමාව වී ඇත්තේ අවාසනාව ඇය ගිය හැමතැනකදිම හඹා යද්දී ජීවිතය පුරා මුහුණ දීමට සිදුවූ දුක්ඛදායක සිදුවීම් වලට හිස කෙලින් තබාගෙන මුහුණ දුන් ආකාරය පිලිබඳ පාඨක මනසට ඉතා අපුරුවට ලංකරවීමයි.
Sunday, November 3, 2019
ජොආනා -ජීන් සැසන්

ජින් ජැසන් ලොව පුරා සංචාරය කරන ලද ලේඛිකාවක් වන අතර ඇයගේ කෘතීන් ලොව පුරා හොඳම අලෙවි වාර්තා තබා ඇත.එමෙන්ම ලොව බොහෝ දුක් විඳි කාන්තාවන් ඇය සමගින් තම ජිවිත තතු හෙළිදරව් කල අතර ජින් ගේ බොහෝ කෘති වලට පාදක වුයේ මෙම සත්‍ය සිදුවීම් වීම සුවිශේෂී කරුණකි.ලෝකයේ විවිධ සමාජයන් පිලිබඳ අධ්‍යයනය කරනන් විසින් මෙම කෘතීන් අනිවාර්යෙන් කියවිය යුතු අතර ජෝආනා හෙවත් බිඳී ගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියකගේ කතාව ඇය විසින් රචනා කරන ලද අපුර්වතම නවකතාවක් වේ.
ජෝආනා නවකතාව ඔස්සේ සදාම් හුසේන් ගේ පාලන සමයේ ඉරාකයේ කුර්දිස්ථානයේ ජිවත් වූ ජෝආනා අල් අක්සාරි හුසේන් නම් කාන්තාවක කුර්දිවරයකු හා පෙමින් වේලෙන ආකාරයත් ඔවුන් කුර්දිෂ් ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන ආකාරයත් මෙම කතාව ඔස්සේ පාඨකයාට ලං කර ඇත.මෙම කතාව වාර්තාමය ස්වරුපයෙන් රචනා කර ඇති අතර කියවන්නාට තේරුම්ගත හැකි සරල භාෂා රටාවකින් යුතුය.මෙහි අන්තර්ගත කරුණු පාඨකයාගේ සිතේ යුද්ධයෙන් පිඩා විඳින මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් මෙන්ම යුද්ධයකදී මුහුණ පෑමට සිදුවන රසායනික බෝම්බ ප්‍රහාර වැනි නවමු අත්දැකීම් රාශියක් පාඨකයා වෙත ලං කරයි.
ජෝආනා කතාවේ එම තරුණියව වීරවරියක් ලෙස හඳුන්වන අතර මෙය අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක් වේ.උතුරු ඉරාකයේ කඳු අතර සහ බැග්ඩෑඩයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට ඇය මැදිවූ ආකාරය පාඨකයා ලොමු දැහැගන්වන සුළුය. මෙම වකවානුවේදී ඉරාක හා ඉරාන හමුදාව අතර දිගින් දිගටම සටන් පැවතී අතර බැග්ඩෑඩ් අගනුවරට ඈතින් පැවති කුර්ගිස්තාන් ප්‍රදේශයේ ජනතාවගේ සහය ඉරානයට ලැබුණි.එයට හේතුව කුර්ද්වරුන් ඉරාක අරාබිවරුන්ගේ හිංසනයට ලක්වීමයි.සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම කාන්තාවන්ද එකල දැඩි හිංසනයකට ලක් විය.වාහන ,ගෙවල් දොරවල් පවා මංකොල්ලාකරුවන්ගේ හස්තයට ලක් විය.
රසායනික බෝම්බ ප්‍රහාරයකින් තාවකාලිකව අන්ධභාවයට පත් වන ජෝආනා සිය සැමියා සමගකඳුකර ප්‍රදේශයක් හරහා කොටළුවකු පිට නැගී ඉරානයට පලා යාමත්,ලැබෙන්නට සිටි දරුවා ඇයට අහිමිවීමත් හද සසල කරවන සුළුය. ඔවුන් පැමිණි නගරය මේ අවස්ථාවේදී ඉරාන ජාතික අනාතයින්ගෙන් පිරි තිබුණ අතර , ඔවුනට නවාතැන් ගැනීමට සිදුවන්නේ ස්තාලයක සතුන් සමගය.මෙම ස්තාලය කොටළුවන්, එළදෙනුන් වැනි සතුන්ගෙන් සහ ඔවුන්ගේ දුර්ගන්ධයෙන් ද වැසි තිබුණ අතර මැක්කන්ගෙන් රෑ පුරා පිඩා විඳීමට ඇයට සිදුවිය.
ජාතින් අතර ගැටුම් නිසා පීඩනයට පත්වන මුස්ලිම් ජනතාව පිලිබඳ හද කම්පා කරන අපුරු කතන්දරයක් ජෝආනා නවකතාව තුළින් හෙළි කරයි.අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් ඉරාක අරාබින් අතින් හිංසනයට පත්වන ආකාරයත් අවසානයේ ඔවුන් මානසික රෝගීන් බවට පත්ව මිය යාමට පවා ලක් වන ආකාරය මෙහි විස්තර කරයි. කාන්තා ජිවිතයේ අධ්‍යාපනය ඇතුළු සෑම අවස්ථාවක්ම තීරණය කිරීම කෙරෙහි පුරුෂාධිපත්‍ය අසාධාරණ ලෙස බලපාන ආකාරය ඉස්ලාමික සමාජය පුරා පැතිර පවතී.ප්‍රංශ භාෂාව පිලිබඳ නිපුණතා සාමාර්ථයක් ලබන ජෝඅනාට ප්‍රංශ සංචාරයක් සඳහා ලැබෙන ශිෂ්‍යත්වයට සිය සහෝදරයා එරෙහි වීම මෙයට නිදසුනකි.
එංගලන්තය ,ඇමරිකාව , ඔස්ට්‍රේලියාව වැනි රටවලට සරණාගතයින් ලෙස ටික දෙනෙක් පලා ගියද ඉතිරි වන වැඩි කොටසකගේ යුද්ධ වලට මැදි වන ජිවිත වල අස්ථාවරත්වය හෙළි කරන කෘතියක් ලෙසජෝආනා හැඳිනිය හැක.මෙම කතාව පාඨක මනසේ චිත්තරූප මැවීමට සමත්වන අතර පොත කියවාගෙන යාමේදී ජෝආනා ෂෙල් ගෑස් වැදී අමාරුවෙන් හුස්ම ගන්නා ආකාරය චිත්‍රපටයක් සේ මගේ මනසේ ඇඳි ගියේය.තම ආදරණිය යන්ගෙන් වෙන් වීමට සිදු වුවත්, ඇස් අන්ධ වුවත් ජෝආනා දිවි බේරාගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇගේ සිතින් අත්හැර ගත්තේ නැත.
යුධ වාතාවරණය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට ඇතිවන බාධක විස්තර කිරීම කෙරෙහි මෙම ලේඛිකාව විශේෂ අවධානයක් දක්වා ඇත.උසස් අධ්‍යාපනයෙන් පසුව කාන්තාවන් පවා විමුක්ති අරගල වලට සහබාගි වන ආකාරය යුද්ධයේ බියකරු බව මේ ඔස්සේ මනාව නිරුපණය කරයි.
මෙම කතාව ඔස්සේ ලොව වැඩියෙන්ම යුද්ධයෙන් විනාශ වූ කලාපයක කාන්තාවක් ලෙස ජෝආනා තම ජිවිතයේ සංකීර්ණත්වය ග්‍රහණය කර ගන්නා අතර මෙය අර්ධ ගවේෂණාත්මක වර්තාකරණයකින් සහ අර්ධ ස්ත්‍රීවාදී චරිතාපදානයකින් යුක්ත නවකතාවකි.මෙය ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධන මහතා විසින් 2009 වසරේදී පරිවර්තනයට ලක් කරන ලද අතර එම වසරේදී පැවැත්වූ රාජ්‍ය සම්මාන උළලේදී හොඳම පරිවර්තනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන ලදී.
Subscribe to:
Comments (Atom)

