‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, August 27, 2026

ඉන්දියානු මුදල් පද්ධතියේ ඓතිහාසික විකාශනය

 


අතීතයේ මිනිසා භාණ්ඩයක් ලබාගැනීමට මුහුදු වෙරළෙන් අහුලාගත් සරල බෙල්ලෙක් දුන් යුගයක සිට, අද අප භාවිත කරන නූතන රුපියල දක්වා වූ ගමන ඉතාමත් විශ්මයජනකය! ඉන්දියානු උපමහාද්වීපයේ වෙළඳ සංස්කෘතිය, රාජධානිවල නැගී සිටීම සහ තාක්ෂණයේ දියුණුවත් සමඟ මුදල් භාවිතය වෙනස් වූ ආකාරය අපුර්වය.

මිනිසා භාණ්ඩ හා සේවා හුවමාරු කරගැනීම සඳහා භාවිත කළ මාධ්‍යයන් කාලයත් සමඟ මහත් පරිවර්තනයකට ලක්විය. ඉන්දියානු උපමහාද්වීපය තුළ මුදල් භාවිතයේ විකාශනය යනු ස්වාභාවික ද්‍රව්‍යවල සිට ඉතා දියුණු ලෝහමය නාණක දක්වා ගමන් කළ අභිමානවත් ඓතිහාසික චාරිකාවකි.

1. ස්වාභාවික මුදල් ඒකක ලෝහ කාසි හෝ කඩදාසි නෝට්ටු නිර්මාණය වීමට පෙර, අතීතයේදී හුවමාරු මාධ්‍යයක් ලෙස බහුලව භාවිත වූයේ ස්වාභාවික ද්‍රව්‍යයන්ය.

කවුඩි (Kudi / Belalla)

 අතීත සමාජයේ සුළු වෙළඳ කටයුතු සඳහා භාවිත කළ කුඩා මුහුදු බෙල්ලන් වර්ගයකි.

2. වටිනා මැණික් හා ලෝහ පදනම් කරගත් ඒකක වාණිජ කටයුතු සංකීර්ණ වීමත් සමඟ අධික වටිනාකමකින් යුත් ද්‍රව්‍ය මුදල් සංකේත ලෙස භාවිත කිරීමට පටන් ගැනිණි.

හීරා (Hira) සහ මොතී (Moti / Sona)

දියමන්ති, මුතු සහ රත්රන් වැනි වටිනා ද්‍රව්‍යයන් මගින් විශාල වටිනාකම් මනිනු ලැබීය.

3. ලෝහමය කාසිවල ආගමනය රාජධානි ව්‍යාප්ත වීමත් සමඟ නිල වශයෙන් මුද්‍රණය කරන ලද ලෝහ කාසි භාවිතයට පැමිණියේය.

දම් (Dam) සහ පූයි-යා (Puiya / Luya) තඹ සහ ලෝකඩ වැනි ලෝහවලින් සෑදූ, කුඩා වටිනාකම් සහිත කාසි වර්ග වේ.

ආනා (Anna) සහ පයිසා (Paisa)

මෝගල් සහ බ්‍රිතාන්‍ය සමයන්හිදී වඩාත් ජනප්‍රිය වූ සහ පද්ධතිගත වූ ප්‍රධාන මුදල් ඒකක වේ.

රුපියා (Rupiya)

ශේර් ෂා සූරි රජ සමයේදී රිදී ලෝහයෙන් හඳුන්වා දුන් මෙම නාණකය, නූතන "රුපියල" නිර්මාණය විය.

බෙල්ලන්ගෙන් ආරම්භ වී අද භාවිත වන නූතන රුපියල දක්වා වූ මෙම විකාශනය, ඉන්දියාවේ වෙළඳ සංස්කෘතියේ සහ ආර්ථිකයේ ප්‍රගතිය විදහා දක්වන මනා සාක්ෂියකි.

"මුදල් යනු හුදෙක් භාණ්ඩ හුවමාරු මාධ්‍යයක් පමණක් නොව, එය අදාළ යුගයේ ශිෂ්ටාචාරයේ සහ සංස්කෘතියේ කැඩපතකි."

ක්‍රි.ව. 712 දී අරාබිවරුන් සින්ධ් ප්‍රදේශය යටත් කරගත් අතර කලීෆා රාජ්‍යයේ පළාතක් ලෙස එය පාලනය කළහ. ක්‍රි.ව. 9 වන සියවස වන විට, ප්‍රාදේශීය ආණ්ඩුකාරවරුන් ස්වාධීන පාලනයක් පිහිටුවා ගනිමින් තමන්ගේම කාසි මුද්‍රණය කිරීමට පටන් ගත්හ. කෙසේ වෙතත්, අතීත මුදල් රටාවෙන් පැහැදිලි වෙනසක් සිදු වූයේ 12 වන සියවසේදී ඩෙල්හි ටර්කි සුල්තාන්වරුන්ගේ නැගී සිටීමත් සමඟය. 

එහිදී පැවැති රූපමය මෝස්තර වෙනුවට ප්‍රධාන වශයෙන් ඉස්ලාමීය අක්ෂර කලාව  ආදේශ විය. ගණන් ගැනීමේ ඒකකය 'තංකා' (tanka) ලෙස තහවුරු වූ අතර කුඩා වටිනාකම් සහිත කාසි 'ජිටාල්' ලෙස හඳුන්වන ලදී. ඩෙල්හි සුල්තාන් රාජ්‍යය (ක්‍රි.ව. 1206-1526) සමඟ නාණක පද්ධතිය සම්මතකරණය (standardisation) කිරීමට උත්සාහ කෙරිණි. මෙම යුගය මුදල් ආර්ථිකයේ සැලකිය යුතු ව්‍යාප්තියකින් සලකුණු විය. කාසි රත්රන්, රිදී සහ තඹ යන ලෝහවලින් මුද්‍රණය කරන ලදී. මුදල් පද්ධතිය තුළ රත්රන් සහ රිදී අතර අනුපාතය සමහර විට 1:10 ලෙස පැවැතිණි. ඛිල්ජි පාලකයෝ අතිශය උත්කර්ෂවත් ගෞරව නාමයන් (අලා-උද්-දීන් ඛිල්ජි තමා 'දෙවන ඇලෙක්සැන්ඩර්' හෙවත් 'සිකන්දර් අල් සානි' ලෙස නම් කරමින් කාසි මුද්‍රණය කළේය) මෙන්ම කාසිංකාගාර සඳහාද ගෞරවනීය නාමයන් (ඩෙල්හි කාසිංකාගාරය 'හස්රත් දාර්-අල්-ඛිලාෆත්' වැනි නාමයන් දැරීය) සහිතව විශාල ලෙස කාසි නිකුත් කළහ.

ටුග්ලක්වරුන්ගේ කාසි
ටුග්ලක්වරුන්ගේ (ක්‍රි.ව. 1320-1412) කාසි, ඛිල්ජිවරුන්ගේ කාසිවලට වඩා හැඩගැන්වීමෙන් සහ නිමාවෙන් උසස් මට්ටමක පැවැතිණි. මුහම්මද් බින් ටුග්ලක් (ක්‍රි.ව. 1325-1351) සිය කාසි පද්ධතිය පිළිබඳව පෞද්ගලික අවධානයක් යොමු කළද, ඔහුගේ මුදල් පරීක්ෂණ අසාර්ථක වූ අතර ජනතාවට මහත් පීඩාවන් ගෙන දුන්නේය. ඔහුගේ පළමු පරීක්ෂණය වූයේ නිදහස් වෙළඳපොළේ පවතින රත්රන්/රිදී මිල අනුපාතය සිය කාසිවලින් නිරූපණය කිරීමයි. එම පරීක්ෂණය අසාර්ථක වූ විට, ග්‍රෑම් 11 ක පමණ පැරණි රත්රන් සහ රිදී කාසි නැවත හඳුන්වා දෙන ලදී.

ඔහුගේ ඊළඟ පරීක්ෂණය සඳහා මගපෙන්වීම ලැබුණේ වෙළඳාම සහ වාණිජ්‍යය දියුණු කිරීමට හේතු වූ චීන කඩදාසි මුදල් පද්ධතියෙනි. ටුග්ලක් ක්‍රි.ව. 1329 ත් 1332 ත් අතර කාලය තුළ සංකේතාත්මක මුදල් පද්ධතියක්  පිහිටුවීමට උත්සාහ කළේය. ඔහු පිත්තල සහ තඹ සංකේත  නිකුත් කිරීමට උත්සාහ කළේය. මෙම සංකේතවල 'ගනි පනහක තංකාවක් ලෙස මුද්‍රා තබන ලදී' වැනි පාඨයන් සහ 'සුල්තාන්ට කීකරු වන්නා, කරුණාවන්තයාණන්ට (දෙවියන්ට) කීකරු වේ' වැනි ආයාචනා ඇතුළත් විය. කෙසේ වෙතත්, මහා පරිමාණයෙන් හොර කාසි නිෂ්පාදනය වීම නිසා මෙම පරීක්ෂණය සම්පූර්ණයෙන්ම අසාර්ථක විය.

ටුග්ලක්ගේ පැසසුමට කරුණක් වන්නේ, ඔහු හොර හෝ සැබෑ වේවා සියලු සංකේතාත්මක කාසි සඳහා සැබෑ වටිනාකම ගෙවා ආපසු ලබා ගැනීමයි. ටුග්ලක්ගේ පරීක්ෂණ සැබෑ අත්හදා බැලීම් වූ බවත්, ඒවා ජනතාව මත පටවන ලද නමුත් බංකොලොත් වූ භාණ්ඩාගාරයක් නිසා සිදු කළ ඒවා නොවන බවත් සඳහන් කළ යුතුය. මුහම්මද් බින් ටුග්ලක්ගේ පාලන සමයේදී රත්රන් කාසි ඉතා විශාල සංඛ්‍යාවක් නිකුත් කරන ලද අතර, ඊට පසු රත්රන් කාසි දුර්ලභ විය. ලෝඩිවරුන්ගේ කාලය වන විට කාසි නිෂ්පාදනය වූයේ ප්‍රධාන වශයෙන්ම තඹ සහ 'බිලෝන්' (billon - රිදී සහ තඹ මිශ්‍ර ලෝහය) වලිනි. ප්‍රදේශ මට්ටමින්, බෙංගාල සුල්තාන්වරු, ජෞන්පූර් සුල්තාන්වරු, ඩෙකෑනයේ බහමනිවරු, මල්වා සුල්තාන්වරු, ගුජරාට් සුල්තාන්වරු ආදීහු කාසි නිකුත් කළහ. කෙසේ වෙතත්, දකුණේ විජයනගර අධිරාජ්‍යය වෙනස්ම මිනුම් විද්‍යාවක් සහ මෝස්තර සහිත නාණක පද්ධතියක් සංවර්ධනය කළ අතර, එය එම කලාපයේ සම්මතයක් ලෙස පැවතී 19 වන සියවස දක්වාම කාසි මෝස්තරවලට බලපෑම් කළේය.

විජයනගර අධිරාජ්‍යය
දකුණේ, ඩෙල්හි සුල්තාන්වරුන්ගේ සහ මූගල්වරුන්ගේ සමකාලීනයන් වූ විජයනගර රාජවංශයේ මුදල් පද්ධතිය, පසුව යුරෝපීය සහ ඉංග්‍රීසි වෙළඳ සමාගම්වලට ආකෘතියක් වූ සම්මත නාණක පද්ධතියකට  උදාහරණයක් විය. විජයනගර රාජධානිය ක්‍රි.ව. 1336 දී පමණ කෘෂ්ණා නදියට දකුණින් පිහිටි කලාපයේ හරීහර සහ බුක්කා විසින් පිහිටුවන ලදී. විජයනගර යුගයේදී යුරෝපීය වෙළෙන්දන්ගේ, විශේෂයෙන්ම පෘතුගීසීන්ගේ පැමිණීම සිදු විය. කෘෂ්ණදේවරාය රජතුමා විදේශ වෙළඳාම සිදු කළ අතර මේ නිසා මුදල් භාවිතය පුළුල් ලෙස අවශ්‍ය විය. 

විජයනගර රාජධානියේ කාසි වැඩි වශයෙන් රත්රන් සහ තඹවලින් මුද්‍රණය විය. බොහෝ විජයනගර රත්රන් කාසිවල ඉදිරිපස පූජනීය රූපයක්ද, පිටුපස රාජකීය ලේඛනයද අඩංගු විය. විජයනගර අධිරාජ්‍යයේ සුවිශේෂී රත්රන් කාසි අතර තිරුපති දෙවියන්ගේ, එනම් ශ්‍රී වේංකටේශ්වර දෙවියන්ගේ රූපය (තනිව හෝ උන්වහන්සේගේ බිසෝවරුන් දෙදෙනා සමඟ) සහිත කාසි ප්‍රධාන විය. මෙම කාසි, ලන්දේසි සහ ප්‍රංශ ජාතිකයන්ගේ 'සිංගල් ස්වාමි' පගෝඩා  කාසි සඳහාත්, ඉංග්‍රීසි නැගෙනහිර ඉන්දියා සමාගමේ 'ත්‍රී ස්වාමි' පගෝඩා කාසි සඳහාත් මගපෙන්වන ලදී.

සරල කවුඩි බෙල්ලාගේ සිට, රත්රන්, රිදී සහ තඹ කාසි හරහා වර්ධනය වූ ඉන්දියානු නාණක පද්ධතිය, අද වන විට ඩිජිටල් මුදල් දක්වා මහා පරිවර්තනයකට ලක්ව ඇත. අතීත මුදල් ඒකක කාලයේ වැලිතලාවෙන් වැසී ගියද, ඒවා ඉතිරි කරගිය ඓතිහාසික උරුමය අදටත්ඉන්දියානු මුදල් පද්ධතිය තුළ නොමැකී පවතී.

මුලාශ්‍ර 

Medieval Indian Numismatics

Wednesday, August 26, 2026

නාදයේ ආත්මය



ඉන්දියානු ශාස්ත්‍රීය සංගීතය තුළ රාගයක් යනු හුදෙක් ස්වර මාලාවක් පමණක් නොවේ . එය ජීවමාන, හුස්ම ගන්නා ආත්මීය පෞරුෂයකි. ශ්‍රී අමිත් රායි මහතාගේ චක්‍ර 114 පිළිබඳ ඉගැන්වීම් ඇසුරෙන් ගොඩනැගුණු රාග 84 හි ව්‍යුහය මගින් ශබ්දය යන්න විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් ධ්‍යානයක් සහ භක්තියක් බවට පත්වන පූජනීය සංගීතමය නිර්මාණයක් එළිදක්වයි. රාගයක් යනු හුදෙක් නිර්මාණය කරන ලද්දක් නොවේ; එය විශ්වය තුළ අනාදිමත් කාලයක සිට පවතින්නකි. සංගීතඥයා සිය සාධනය මගින් සිදු කරන්නේ එය වටහාගෙන ප්‍රකාශ කිරීම පමණි.

රාගයක පැවැත්ම තේරුම් ගැනීමට නම්, ඊට හැඩයක්, චරිතයක් සහ ආවේගාත්මක ගැඹුරක් ලබා දෙන ප්‍රධාන අංග හොඳින් අධ්‍යයනය කළ යුතුය. 

1. ආරෝහණ සහ අවරෝහණ

සෑම රාගයක්ම ක්‍රමානුකූල දිශාවකට ගමන් කරයි. ආරෝහණ යනු ස්වර ඉහළට ගමන් කරන වන රටාවයි. එය ඍජු, වක්‍ර හෝ ඇතැම් ස්වර මගහරින ස්වභාවයක් ගත හැක. අවරෝහණ යනු ස්වර පහළට බැස යන රටාවයි. එය බොහෝ විට ආරෝහණයට වඩා වෙනස් මගක් ගන්නා අතර රාගයට අනන්‍ය වූ මාලිකා හැඩයක් ලබා දෙයි.

2. වාදී සහ සංවාදී

සෑම රාගයක් තුළම ඇතැම් ස්වරවලට විශේෂ බලයක් හිමිවේ. වාදී යනු ප්‍රධානතම, බලවත්ම ස්වරයයි .රාගයේ ප්‍රධානතම සහ බලවත්ම ස්වරයයි. මෙය රාගයේ ආත්මය වන අතර ගායනයේදී හෝ වාදනයේදී වැඩිපුර රැඳී සිටින්නේ මෙහිය. එය රාගයේ ආත්මය වන අතර රාගයේ ගායනය හෝ වාදනය වැඩිපුර රැඳී සිටින්නේ එහිදීය. ඊට සහය දක්වන සංවාදී යනු වාදී ස්වරය හා සමගාමීව අනුනාද වන දෙවන ප්‍රධාන ස්වරයයි. එමගින් සංගීතමය සංවාදයක් සහ සමතුලිතතාවයක් ගොඩනැගේ.

3. පකඩ් සහ ගමක

රාගයක් එහි පකඩ් (හෝ චලන්) මගින් තමන්ව හඳුනා ගැනීමට සලස්වයි. පකඩ් යනු රාගයේ අනන්‍යතාවය නිර්වචනය කරන සුවිශේෂී ස්වර ඛණ්ඩ වේ. මෙම ස්වර ඛණ්ඩවලට පණ දෙන්නේ ගමක මගිනි. මීන්ඩ් , කම්පන සහ සූක්ෂ්ම අලංකාර ක්‍රමවේද මගින් පකඩ් ස්වර ඛණ්ඩවලට ජීවය ලබා දෙයි.

4. රස, සමය සහ ජාති

ජාති: ආරෝහණයේ සහ අවරෝහණයේ භාවිතා වන ස්වර සංඛ්‍යාව අනුව රාග වර්ගීකරණය කරයි 

ඖඩව් - ස්වර 5 යි

ෂාඩව් - ස්වර 6 යි, 

 සම්පූර්ණ - ස්වර 7 

 කාල සිද්ධාන්තයට අනුව, පරිසරය සහ මිනිස් මනස රාගයක කම්පනයන්ට වඩාත්ම සංවේදී වන දවසේ හෝ රාත්‍රියේ නිශ්චිත වේලාවන් මෙයින් තීරණය වේ.

 රාගයෙන් ජනිත වන සෞන්දර්යාත්මක භාවයන් හෝ හැඟීම් මින් නිරූපණය වේ.

             උදාහරණ ලෙස ශ්‍රංගාර (ප්‍රේමය), කරුණා (කම්පනය/දයාව), වීර (ශූරත්වය) සහ ශාන්ත (සාමය) දැක්විය හැක.

අවසාන වශයෙන්, රාගයක් යනු භක්තිය, ධ්‍යානය සහ දිව්‍යමය බව කරා යන සෘජු මාර්ගයයි . එය ශබ්දයේ නිවැරදි විද්‍යාව තුළින් වියන ලද මනරම් ආත්මික චාරිකාවකි. 

Tuesday, August 25, 2026

තනුවකට එහා ගිය යථාර්ථය




ආදරය යනු හුදෙක් දෙදෙනෙකු අතර ඇතිවන බාහිර ආකර්ෂණයක්මද? නැතහොත් එය එක් ආත්මයක් තවත් නොපෙනෙන අභ්‍යන්තර ආත්මයක් සොයා යන අසිරිමත් ගමනක්ද?

1990 දශකයේ ආරම්භයේදී සිනමාහල් වෙත ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට සාජන් යනු හුදෙක් මිහිරි ගීත පෙළකින් සහ සුන්දර ආදර කතාවකින් හැඩවුණු තවත් එක් බොලිවුඩ් සිනමාපටයක් පමණක් විය හැක. නමුත්, කාලයේ වැලිතලාවෙන් වැසී නොගිය ඒ අතිශය ජනප්‍රිය තනු අතරින් ඔබ මොහොතකට එම චරිතවල ගැඹුරු අභ්‍යන්තරයට එබී බැලුවහොත්, ඔබට පෙනෙනුයේ වෙනස්ම කතාවකි. එනම්, මිනිස් මනසේ ඇති රිදවීම්, හීනමානය, ආත්ම-පරිත්‍යාගය සහ ආදරයේ සැබෑ ස්වරූපය පිළිබඳව කෙරෙන අතිශය දුර්ලභ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. 1991 අගෝස්තු මාසයේදී ලෝරන්ස් ද අල්මේදා (Lawrence D’Souza) ගේ සාජන් චිත්‍රපටය තිරගත වීමත් සමඟ එය ක්ෂණිකවම අති සාර්ථක වාර්තා තැබූ සිනමා පටයක් බවට පත් විය. නදීම්-ශ්‍රාවන්ගේ අපුර්ව සංගීතයෙන් පෝෂණය වූ මෙම චිත්‍රපටය සංජේ දත්, සල්මන් ඛාන් සහ මධුරී ඩික්සිත් යන නළු නිළියන්ගේ රංගන හැකියාවන් තවදුරටත් තහවුරු කළේය.

කෙසේ වෙතත්, එහි ජනප්‍රිය ගීත සහ 90 දශකයේ සාම්ප්‍රදායික ආදර කතාවට යටින්, මිනිස් මනෝවිද්‍යාව පිළිබඳ ඉතා සංකීර්ණ මානයක් සැඟවී තිබේ. එනම්, අසම්පූර්ණත්වයේ මානසික සංකීර්ණතා , මානසික ආරක්ෂණ යාන්ත්‍රණයන් පරප්‍රේරක බැඳීම් සහ නිහඬ කැපකිරීමේ වේදනාව පිළිබඳව කරන ලද ගැඹුරු විග්‍රහයකි.

මූලිකව සාජන් චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ එඩ්මන්ඩ් රොස්ටෑන්ඩ්ගේ ප්‍රකට Cyrano de Bergerac නාට්‍යයේ එන චිත්තවේගීය රාමුව සාහිත්‍යයත් මිනිස් ජිවිතයේ බැඳීම් සහ හැඟීම්  මුසු කරමිනි.

ශාරීරික ආබාධයකින් පෙළෙන අනාථ දරුවෙකු ලෙස කුඩා කල ලැබූ කටුක අත්දැකීම් නිසා අමන් තුළ දැඩි  හීනමානයක් ගොඩනැගේ. ඔහු තමා දෙස බලන්නේ සමාජයට අසම්පූර්ණ සහ සාම්ප්‍රදායික ආදරයකට නුසුදුසු අයෙකු ලෙසය. එය මනෝ විද්‍යාවේදී ඇඩ්ලරියානු හීනමානය ලෙස හඳුන්වයි. මෙම මානසික හුදකලා බවින් මිදීම සඳහා, අමන් ඉතා ප්‍රබල මානසික ආරක්ෂණ ක්‍රමවේදයක් භාවිතා  කරයි. එනම් සම්ප්‍රේරණය යි.එහි ප්‍රතිපලයක් ලෙස සාගර් නම් කවියා උපදියි. තමන්ගේ සැබෑ හැඟීම් සෘජුව ප්‍රකාශ කිරීමට නොහැකි වන අමන්, තමාගේ යටපත් කළ ආදරණීය හැඟීම් සාගර් යන අන්වර්ථ නාමය ඔස්සේ කවි බවට පරිවර්තනය කරයි. සාගර් හරහා අමන් තමාගේ ශාරීරික බාධාවලින් මිදෙයි. ඔහුගේ පන්හිඳ, අනුකම්පාවට හෝ ප්‍රතික්ෂේප වීමට බියෙන් තොරව ඔහුගේ ප්‍රේමය ප්‍රකාශ කළ හැකි ආරක්ෂිතම ස්ථානයක් බවට පත්වේ.

අකාෂ්ගේ පවුල විසින් තමන්ව හදාගැනීම නිසා අමන්ගේ සිත තුළ ඔවුන් කෙරෙහි මහත් වූ ණයගැතිභාවයක් පවතී. අකාෂ් ද පූජාට පෙම් කරන බව දැනගත් විට, අමන්ගේ  හැඟීම වන්නේ හුදෙක් පරිත්‍යාගයක් කිරීම පමණක් නොවේ.  තමන්ගේ සැබෑ අනන්‍යතාවය සැඟවීම ඔස්සේ එම ණය ගෙවා දැමීමේ දැඩි උත්සාහයක ඔහු නිරත වීමයි.

බාහිරින් බලන විට අකාෂ් යනු සෙල්ලක්කාර, චාටු බස් කියන, ජීවිතයේ බරපතලකමක් නැති තරුණයෙකි. කෙසේ වෙතත්, ඔහුගේ චරිත විකාශනය තුළින් ගැඹුරු මානසික පරිණාමයක් පෙන්නුම් කරයි. ආකාශ් තමාගේ ශක්තිමත් බවත් සැහැල්ලු චරිතයත් භාවිතා කරන්නේ තමා තුළ ඇති ගැඹුරු සංවේදීතාවයන් හෝ වගකීම් වසා ගැනීමටය. අමන් සහ අකාෂ් අතර ඇත්තේ  කොන්දේසි විරහිත සහෝදර බැඳීමකි. සාමාන්‍ය සිනමා කෘතිවල මෙන් නොව, අකාෂ් සහ අමන් අතර ප්‍රේමය නිසා ඊර්ෂ්‍යාවක් ඇති නොවේ. ඔහු අමන් දකින්නේ තමාගේ නියම මාර්ගෝපදේශකයා ලෙසය.

 පූජා ආදරය කරන්නේ අමන්ගේ කවිවලට බව ආකාශ් දැනගත් විට, ඔහු තුළ මහත් මානසික වෙනසක් සිදුවේ. බොරුවක් මත ජීවත් වීම ප්‍රතික්ෂේප කරන ඔහු, සහෝදර ප්‍රේමය සහ සත්‍යවාදී බව වෙනුවෙන් තමාගේ ආත්මාර්ථකාමී ආශාවන් කැප කරයි.

පූජාගේ චරිතය හරහා සපියෝසෙක්ෂුවැලිටි  හෙවත් පුද්ගලයෙකුගේ බාහිර පෙනුමට වඩා ඔහුගේ බුද්ධියට, භාෂාවට සහ ආත්මයට ආකර්ෂණය වීමේ මානසිකත්වය නිරූපණය වේ.  කවියා දැකීමටත් පෙර, පූජා පෙම් කරන්නේ සාගර්ගේ ලියුම් සහ කවිවල ඇති චිත්තවේගීය ගැඹුරටයි.ආකාශ් තමන් සාගර් ලෙස පෙනී සිටින විට, පූජාට යම් නුහුරු බවක් දැනේ. ලියුම්වල සිටි සංවේදී කවියා සහ ඇය ඉදිරියේ සිටින සැහැල්ලු තරුණයා අතර ඇති පරස්පරතාව ඇයට සහජයෙන්ම දැනේ.   සත්‍යය එළිදරව් වූ විට, පූජාගේ තීරණයෙන් ඔප්පු වන්නේ ඇගේ ආදරය කිසිවිටෙකත් මතුපිටින් පෙනෙන දෙයක් නොවන බවයි. අමන්ව ඇය එකහෙළා පිළිගැනීම මගින්, අමන් තුළ තිබූ ජීවිත කාලය පුරා පැවති ප්‍රතික්ෂේප වීමේ බිය නැති වී යයි.

සාජන් සිනමා පටය සදාකාලික නිර්මාණයක් ලෙස පවතින්නේ එය විශ්වීය මිනිස් දුබලතාවන් නිරූපණය කරන බැවිනි.  එනම් තමන් "අසම්පූර්ණයි" යන බිය, තමන්ගේ සැබෑ අභ්‍යන්තරයට යමෙකු ආදරය කරයිද යන ගැටලුව සහ යහපත උදෙසා කෙරෙන පරිත්‍යාගය අතර ඇති වන අභ්‍යන්තර අරගලයයි. මෙම සංකීර්ණ මානසික සත්‍යයන්, හදවතට දැනෙන සංගීතය සහ විශිෂ්ට රංගනයන් තුළ කැටි කර ඉදිරිපත් කිරීම නිසා සාජන්යනු හුදු ආදර කතාවකට එහා ගිය, අනුකම්පාව, ආත්ම-පිළිගැනීම සහ සැබෑ ආදරය පිළිබඳව පාඩමක් කියාදෙන සිනමා පටයකි.

සිනමාපටයේ අවසාන දර්ශනයෙන් පසු තිරය කළුවී ගියද,  සාජන් අපගේ හදවත් තුළ ඉතිරි කරන්නේ සදාකාලික මතකයක් පමණක් නොවේ.  එය අපෙන් ප්‍රශ්නයක් අසයි. "අප පෙම් කරන්නේ කෙනෙකුගේ බාහිර පෙනුමටද, නැතහොත් ඔහුගේ හෝ ඇගේ සැබෑ අභ්‍යන්තර ආත්මයටද?"

අමන්ගේ නිහඬ පරිත්‍යාගයත්, ආකාශ්ගේ නිර්ව්‍යාජ සහෝදර ප්‍රේමයත්, පූජාගේ බුද්ධිමය ආකර්ෂණයත් එකට කැටි වූ මෙම සිනමා කාව්‍යය, අඩසියවසකට පසුව වුවද අපට කියාදෙන්නේ එකම සත්‍යයකි. එනම්, බාහිර රූපය යනු තාවකාලික වෙස්මුහුණක් පමණක් බවත්, සැබෑ ආදරය යනු කිසිදු කොන්දේසියකින් තොරව අනෙකාගේ අභ්‍යන්තර ආත්මය වැළඳ ගැනීම බවත්ය.

ඉතින්... සාජන් හුදෙක් සිනමාපටයක් ලෙස පමණක් පවතින්නේ නැත. එය අප සැමගේම මනසේ යටපත් වූ ආදරණීය හැඟීම් අවදි කරන නොමියෙන මනෝවිද්‍යාත්මක සුවපත් කිරීමකි!

අසම්පූර්ණත්වයේ මානසික සංකීර්ණතා (inferiority complexes),
මානසික ආරක්ෂණ යාන්ත්‍රණයන් (emotional defense mechanisms)
 පරප්‍රේරක බැඳීම් (parasocial attachment) 

Saturday, August 22, 2026

ඉන්දියානු උපමහාද්වීපය හැඩගැස්වූ මහා අධිරාජ්‍යයන්




වසර දහස් ගණනක ඉතිහාසය තුළ ලෝක බලවතුන්ගේ නෙත් සිත් ඇදබැඳගත් මහා භූමිය කුමක්ද?

එම ප්‍රශ්නයට ඇති එකම පිළිතුර ඉන්දියානු උපමහාද්වීපයයි! ප්‍රබල රජවරුන්ගේ කඩු පහරවල්, දේශපාලන උපක්‍රම සහ අසමසම වාස්තු විද්‍යාත්මක ශ්‍රී විභූතියෙන් පිරුණු ඉන්දියානු ඉතිහාසය යනු හුදෙක් අතීත කතාවක් පමණක් නොවේ. එය ලෝක ශිෂ්ටාචාරයේ ගමන් මග වෙනස් කළ දැවැන්ත අධිරාජ්‍යයන්ගේ නැගී සිටීම සහ ඇදවැටීම පිළිබඳ රෝමාංචකාරී වීර කාව්‍යයකි. අතීතයේ සිට වර්තමානය දක්වා ඉන්දියාවේ හැඩතල තීරණය කළ ඒ මහා අධිරාජ්‍යයන් සොයා යන කාල තරණයට ඔබත් එකතු වන්න.

ලෝක ඉතිහාසයේ සංස්කෘතික, දේශපාලනික සහ මිලිටරිමය වශයෙන් වඩාත්ම බලපෑම් සහගත සිදුවීම් රැසක් සිදුවූයේ ඉන්දියානු උපමහාද්වීපය තුළයි. සුවිශේෂී රජවරුන්ගේ නායකත්වය, අසමසම වාස්තු විද්‍යාව සහ යුධ උපක්‍රම නිසා වසර දහස් ගණනක් පුරා විවිධ අධිරාජ්‍යයන් මෙහි නැගී සිටිමින් සමෘද්ධිමත් විය. ලබා දී ඇති තොරතුරුවලට අනුව, ඉන්දියාවේ ඉතිහාසය වෙනස් කළ ප්‍රධාන අධිරාජ්‍යයන් සහ පාලන සමයන් පහත දැක්වේ:

මෞර්ය අධිරාජ්‍යය (Maurya Empire) ක්‍රි.පූ. 322 සිට ක්‍රි.පූ. 185 දක්වා පැවැතුණි.


ගුප්ත අධිරාජ්‍යය (Gupta Empire)  ක්‍රි.ව. 320 සිට ක්‍රි.ව. 550 දක්වා ක්‍රියාත්මක විය.

මූගල් අධිරාජ්‍යය (The Mughal Empire)  ක්‍රි.ව. 1526 සිට ක්‍රි.ව. 1857 දක්වා උතුරු හා මධ්‍යම ඉන්දියාවේ ප්‍රබල රාජ්‍යයක්ව පැවැතිණි.

චෝල අධිරාජ්‍යය (Chola Empire) ක්‍රි.පූ. 301 සිට ක්‍රි.ව. 1279 දක්වා දීර්ඝ කාලයක් පැවැති බලවත් පාලනයකි.

චාලුක්‍ය අධිරාජ්‍යය (Chalukya Empire) ක්‍රි.ව. 543 සිට ක්‍රි.ව. 1156 දක්වා පාලනය ගෙන ගියේය.

මරාත අධිරාජ්‍යය (Maratha Empire) ක්‍රි.ව. 1674 සිට ක්‍රි.ව. 1820 දක්වා කාලය තුළ ව්‍යාප්ත විය.

විජයනගර අධිරාජ්‍යය (Vijayanagara Empire) ක්‍රි.ව. 1336 සිට ක්‍රි.ව. 1320 දක්වා පැවැති පාලනයකි.

ඛිල්ජි අධිරාජ්‍යය (Khilji Empire) ක්‍රි.ව. 1290 සිට ක්‍රි.ව. 1320 දක්වා පැවැතුණි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය (British Empire) ක්‍රි.ව. 1858 සිට ක්‍රි.ව. 1947 දක්වා සමස්ත ඉන්දියාවම පාලනය කළේය.

පාල අධිරාජ්‍යය (Pala Empire) ක්‍රි.ව. 750 සිට ක්‍රි.ව. 1174 දක්වා පැවැතුණි.

කුෂාන් අධිරාජ්‍යය (Kushan Empire) ක්‍රි.ව. 30 සිට ක්‍රි.ව. 375 දක්වා ව්‍යාප්ත විය.

තුග්ලක් රාජවංශය (Tughlaq Dynasty) ක්‍රි.ව. 1320 සිට ක්‍රි.ව. 1414 දක්වා පාලනය කෙරිණි.

ඉන්දු-ග්‍රීක රාජධානිය (Indo-Greek Kingdom) ක්‍රි.පූ. 180 සිට ක්‍රි.ව. 10 දක්වා පැවැතුණි.

සාතවාහන රාජවංශය (Satavahana Dynasty) ක්‍රි.පූ. 230 සිට ක්‍රි.ව. 199 දක්වා ක්‍රියාත්මක විය.

මෙම සෑම අධිරාජ්‍යයක්ම ඉන්දියානු උපමහාද්වීපයේ ආගමික, දේශපාලනික සහ සංස්කෘතික හැඩගැස්මට විශාල දායකත්වයක් ලබා දුන්නේය. පූරණ ආසියාතික වෙළඳ මාර්ගවල සිට දැවැන්ත ගොඩනැගිලි හා සාහිත්‍ය නිර්මාණ දක්වා වූ මෙම අතීත උරුමයන්, අදටත් දකුණු ආසියාතික ඉතිහාසයේ නොමැකෙන සලකුණු ලෙස පවතී."අධිරාජ්‍යයන් කාලයේ වැලිතලාවෙන් වැසී ගියද, ඒවා තබාගිය සංස්කෘතික හා දේශපාලනික සලකුණු සදාකාලිකය."

මෞර්යයන්ගේ ධර්ම විජයග්‍රහණයේ සිට බ්‍රිතාන්‍යයන්ගේ පාලන සමය දක්වා වූ මේ සෑම අධිරාජ්‍යයක්ම ඉන්දියානු භූමිය මත තබා ගියේ නොමැකෙන මතකයන්ය. අද අප දකින දකුණු ආසියාතික සංස්කෘතිය, කලාව සහ දේශපාලන හැඩගැස්ම පිටුපස ඇත්තේ මේ මහා අධිරාජ්‍යයන්ගේ එකතුවෙන් නිර්මාණය වූ ප්‍රෞඪ ඉතිහාසයයි.

මුලාශ්‍ර 

අසිරිමත් ඉන්දියාව - භාෂාම් 

Tuesday, August 18, 2026

සෙලියුලොයිඩ් සිහිනයක නොමියෙන මතකය



කොල්කතාව යනු හුදෙක් ගොඩනැගිලි සහ මාර්ගවලින් සමන්විත නගරයක් පමණක් නොවේ; එය සිනමාව හුස්ම ගන්නා, කලාත්මක ආත්මයක් ඇති මහා සංස්කෘතික පාරාදීසයකි. කොල්කතාව සහ සිනමාව අතර ඇත්තේ හුදෙක් තිරයක් මත දිස්වන රූපරාමුවලට එහා ගිය, අතිශය සමීප, ආත්මීය ප්‍රේම වෘත්තාන්තයකි. ඓතිහාසික ස්මාරකයන් මෙන් අදටත් බැබළෙන පැරණි තනි තිරයේ (single-screen) සිනමාහල් යනු පරම්පරා ගණනාවක සිනමාලෝලීන්ගේ සිහින, ප්‍රේමය, සහ විප්ලවීය අදහස් පෝෂණය කළ මහා කලා පීඨිකාවන්ය. ලෝකපූජිත සිනමාකරුවන්ගේ පාදස්පර්ශයෙන් පූජනීය වූ, ඉන්දියානු සිනමා ඉතිහාසයේ ස්වර්ණමය සංධිස්ථානයන්ට සාක්ෂි දැරූ කොල්කතාවේ ඒ අභිමානවත් සිනමා හදවත වෙත පියනඟන්නට මෙය ආරාධනාවකි... පරම්පරා ගණනාවක සිනමාකාමීන්ගේ අභිලාෂයන් පෝෂණය කළ, ලෝක පූජිත කලාකරුවන්ගේ පාදස්පර්ශයෙන් පූජනීය වූ මේ අභිමානවත් සිනමා පීඨිකාවන්, ඉන්දියානු සිනමා වංශයේ රන්මය පරිච්ඡේදයන්ට සාක්ෂි දරයි.


ග්ලෝබ් සිනමා (Globe Cinema - ලිප්සේ වීදිය)

 1906 දී 'ඔල්ඩ් එම්පයර් තියටර්' ලෙස උපත ලැබූ ග්ලෝබ්, කොල්කතාවේ හොලිවුඩ් සිනමා ආගමනයේ කේන්ද්‍රස්ථානය විය. දෙවන ලෝක යුද්ධ සමයේ මිත්‍ර පාක්ෂික සෙබළුන්ගේ ප්‍රධාන විනෝදාස්වාද නිකේතනය වූ මෙය, සත්‍යජිත් රායි වැනි සිනමා රාජයන් බටහිර සිනමා ශිල්පක්‍රම සහ කැමරා කෝණ හැදෑරීමට නිතරම එහි ඉහළ බැල්කනියේ අඳුරු ආසන තේරූ තපෝවන භූමියක්ද විය.

මෙට්‍රෝ සිනමා (Metro Cinema - එස්ප්ලනේඩ්)

1935 වසරේදී ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී තෝමස් ඩබ්ලිව්. ලෑම්බ්ගේ විශිෂ්ට රේඛීය සැලසුමකට අනුව, සුප්‍රසිද්ධ MGM (Metro-Goldwyn-Mayer) සමාගම විසින් නිර්මාණය කරන ලද මෙට්‍රෝ සිනමාහල, කොල්කතා නගරයට අසදෘශ 'ආර්ට්-ඩෙකෝ' (Art-Deco) විලාසිතාවේ රාජකීය ආඪ්‍යත්වයක් එක් කළේය. ජෝන් ක්‍රෝෆර්ඩ් සහ ක්ලාක් ගේබල් රඟපෑ Chained චිත්‍රපටයෙන් ඇරඹි එහි ස්වර්ණමය ගමනේ මුල් දශකයන්හිදී, සන්ධ්‍යා දර්ශනයක් නැරඹීමට පැමිණීම පවා උසස් සමාජයේ ප්‍රභූවරුන්ගේ අභිමානවත් සම්ප්‍රදායික පැවැත්ම සංකේතවත් කළ උත්සවාකාර අවස්ථාවක් විය

ස්ටාර් තියටර් (Star Theatre - හාතිබගාන්)

1883 වසරේදී ගොඩනැගු  ස්ටාර් තියටර් යනු බෙංගාලි නාට්‍ය සහ සිනමා ඉතිහාසයේ රන් තොටිල්ලයි. 1884 වර්ෂයේදී ප්‍රකට 'නටි බිනෝදිනී'ගේ අතිවිශිෂ්ට රංගනයෙන් ශ්‍රී රාමක්‍රිෂ්ණ පරමහංසයන් පවා මුසපත් වූයේද, ඉන්දියානු සිනමාවේ පෙරගමන්කරුවෙකු වූ හිරාලාල් සෙන් සිය ප්‍රථම චලන චිත්‍ර දර්ශනයෙන් ප්‍රේක්ෂකයන් අමන්දානන්දයට පත්කළේද මෙම ඓතිහාසික පීඨිකාව මතදීය. 1991 දී සිදු වූ විනාශකාරී මහා ගින්නකින් මුළුමනින්ම අළු වී ගියද, සිය අතීත අභිමානය හා ශ්‍රී විභූතිය හදවතේ දරාගත් ස්ටාර් තියටර්, අලුතින් උපන් ෆීනික්ස් පක්ෂියෙකු මෙන් අළුධූලින් නැවත නැගී සිටියේය.

නිව් එම්පයර් (New Empire - හුමායුන් ප්ලේස්)

සුප්‍රසිද්ධ ග්‍රෑන්ඩ් හෝටලයට ඉදිරිපස පිහිටි අභිමානවත් නිව් එම්පයර්, පූර්ණ කාලීන සිනමාහලක් ලෙස පරිවර්තනය වීමට ප්‍රථම, රබීන්ද්‍රනාත් තාගෝර් ශූරීන්ගේ නාට්‍ය නිර්මාණ, බැලේ නර්තන සහ මනමෝහන ජෑස් ප්‍රසංගවලින් ප්‍රකම්පිත වූ සජීවී කලා පීඨිකාවක් විය. 20 වන සියවසේ මැද භාගයේදී, කොල්කතා නගරයේ බටහිර සිනමා ආගමනයේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ මෙය, උසස් හොලිවුඩ් චිත්‍රපට නැරඹීමට පැමිණි සිනමාප්‍රේමීන්ගේ අසමාන පාරාදීසයක් බවට පත් විය.

ප්‍රියා සිනමා (Priya Cinema - රෂ්බෙහාරි මාවත)

1959 දී අරුප් දත්තගේ දූරදර්ශී සංකල්පයෙන් ගොඩනැඟුණු ප්‍රියා සිනමාහල, දකුණු කොල්කතාවේ සිනමාත්මක හෘදස්පන්දනයයි. නැගෙනහිර ඉන්දියානු සිනමා ක්ෂේත්‍රයට 'Dolby DTS' වැනි විප්ලවීය ශ්‍රව්‍ය තාක්ෂණික විශ්මයයන් ප්‍රථමයෙන්ම තිළිණ කළ පෙරගමන්කරු වූයේද මෙයයි. සත්‍යජිත් රායි, ම්‍රිනාල් සෙන් සහ රිට්වික් ඝටක් වැනි මහා සිනමා වේදීන්ගේ අසදෘශ "සමාන්තර් සිනමා" (Parallel Cinema) නිර්මාණයන්ට සෙවණ සලසමින්, බෙංගාලි කලාත්මක සිනමාව පෝෂණය කළ මහා ශුද්ධ භූමිය වූයේද ප්‍රියා සිනමාහලම වේ.

නන්දන් (Nandan - ඒ.ජේ.සී. බෝස් පාර)

1985 වසරේදී අසහාය සිනමාවේදී සත්‍යජිත් රායි ශූරීන්ගේ සුරතින් විවෘත වූ (එහි අභිමානවත් සිනමාත්මක ලාංඡනය නිර්මාණය කරන ලද්දේද ඔහු විසිනි) 'නන්දන්', බටහිර බෙංගාලයේ නිල සිනමා සහ සංස්කෘතික මහා මූලස්ථානයයි. සිසුන්ට සහ සිනමානුරාගී තරුණ පරපුරට විශ්ව සිනමාවේ අසිරිය ඉතා සහනදායී ලෙස විඳගන්නට ඉඩ සලසා දුන් මෙම සුන්දර නිකේතනය, වාර්ෂිකව පැවැත්වෙන ලෝකප්‍රකට කොල්කතා ජාත්‍යන්තර සිනමා උළෙලේ (KIFF) ජීවමාන හදවත ලෙසද බැබළෙයි.

'ලයිට් හවුස්' වැනි ඓතිහාසික සිනමාහල් කාලයේ වැලිතලාවෙන් වැසී හෝ නවීකරණය වී තිබුණද, තවමත් ජීවමානව පවතින පැරණි සිනමාහල්වල ඇති සුඛෝපභෝගී ආසන, අතින් අඳින ලද මහා පරිමාණ විසිතුරු පෝස්ටර් සහ චිත්‍රපට අතරමැද විවේකයේදී විඳින 'මට්න් පැටීස්' හා 'කෝල්ඩ් කොෆී' හි අපූර්ව රසය, අතීතයේ සොඳුරු සිනමා පාරාදීසය නැවතත් හදවත තුළ සජීවීකරණය කරයි.

ප්‍රියා හෝ නන්දන් සිනමාහලක තිරය කළු වී චිත්‍රපටය අවසන් වූ පමණින් එම සිනමාත්මක අත්දැකීම නිමා වන්නේ නැත. සිනමා පීඨිකාවෙන් පිටත පඩිපෙළ මත, දුම් දමන උණුසුම් තේ කෝප්පයක් අතැතිව පැය ගණනාවක් තිස්සේ දිගහැරෙන 'අඩ්ඩා' (Adda) සංවාද සංස්කෘතිය හරහා චිත්‍රපටයක ආලෝකකරණය, තිරරචනය සහ දර්ශනවාදය ගැන කෙරෙන ගැඹුරු විග්‍රහයන්, කොල්කතාවේ නොමියෙන සිනමා ප්‍රේමය තවමත් පණපිටින් සුරක්ෂිතව රඳවා තබයි.

ඩිජිටල් තිර සහ නවීන මල්ටිප්ලෙක්ස් (multiplex) සිනමා සංකීර්ණ හමුවේ වුවද, කොල්කතාවේ මෙම පැරණි සිනමාහල් ලබා දෙන අසදෘශ අත්දැකීම වෙනත් කිසිදු තැනකින් ආදේශ කළ නොහැක. ඒවා හුදෙක් චිත්‍රපට නැරඹූ ස්ථාන පමණක් නොව, කොල්කතා වැසියන්ගේ හැඟීම්, මතකයන් සහ සංස්කෘතික උරුමයන් තැන්පත් වූ අතීත කාමරයන්ය. කාලය කෙතරම් වෙනස් වුවද, බුද්ධිමය සංවාදයෙන් සහ නොමියෙන සිනමා අනුරාගයෙන් පෝෂණය වන මෙම නගරයේ, සෙලියුලොයිඩ් පටලයකින් ඇරඹුණු ඒ අභිමානවත් සිනමා ප්‍රේමය සදාකාලිකවම ජීවමානව පවතිනු ඇත.

Monday, August 17, 2026

දොන් බොස්කෝ කෞතුකාගාරය, ෂිලොං - දර්ශනය






මීදුමෙන් බර වූ හරිත කඳුකරයේ සුන්දරත්වය අත්විඳින අතරතුර, සමස්ත ඊසානදිග ඉන්දියානු ගෝත්‍රික ආත්මය එක්තැන් වූ ස්ථානයක් නැරඹීමට ඔබට ඇත්නම්? ෂිලොං නගරයේ අහස් තලයට නැඟී සිටින, පරම්පරා ගණනාවක අභිරහස් සහ වර්ණවත් උරුමයන් සුරක්ෂිතව තබාගෙන සිටින දොන් බොස්කෝ කෞතුකාගාරය (Don Bosco Museum) යනු හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොව, කාලය හරහා යන පූජනීය සංස්කෘතික චාරිකාවකි.


ආසියාවේ විශාලතම ආදිවාසී සංස්කෘතික කෞතුකාගාරය ලෙස බුහුමන් ලබන දොන් බොස්කෝ කෞතුකාගාරය (Don Bosco Museum), ඊසානදිග ඉන්දියාවේ මනරම් සංස්කෘතියේ සහ පාරම්පරික උරුමයේ නිවහනයි. මෙය ෂිලොං නගරයේ පොලිස් බසාර් (Police Bazaar) ආසන්නයේ පිහිටි මව්ලායි (Mawlai) ප්‍රදේශයේ ඉතා පහසුවෙන් ළඟාවිය හැකි ස්ථානයක පිහිටා ඇත. මහල් හතකින් යුත් මෙම ගොඩනැගිල්ල ෂිලොං අහස් තලයට පෙනෙන සේ උසට නැගී සිටින අතර, එහි ඊසානදිග සංස්කෘතියට වැදගත් වන කලාකෘති, සිතුවම් සහ රූප නිරූපණය කෙරෙන ගැලරි 16 කින් සමන්විත වේ. මේවා නැරඹීමට පැමිණෙන සංචාරකයින්ගේ නෙත් පිනවනවා පමණක් නොව, ඊසානදිග ජනතාවගේ ජීවන රටාව පිළිබඳව පූර්ණ අවබෝධයක් ද ලබා දෙයි.

රාජ්‍ය සභාවේ ප්‍රමුඛ පුද්ගලයින් මෙන්ම තායිලන්තයේ රාජකුමාරිය පවා මෙම කෞතුකාගාරය නැරඹීමට පැමිණ තිබීමෙන්ම දොන් බොස්කෝ කෞතුකාගාරයේ ඇති වැදගත්කම පැහැදිලි වේ. මෙම කෞතුකාගාරය හුදෙක් ප්‍රදර්ශනාගාරයක් පමණක් නොව, තමන්ගේම පර්යේෂණ අංශයක්, ප්‍රකාශන, පුවත්පත් සහ සංස්කෘතික දින දර්ශනයක් සහිත පර්යේෂණාත්මක ආයතනයක් ලෙස ක්‍රියා කරයි. දොන් බොස්කෝ කෞතුකාගාරයේ ඇති තවත් කැපී පෙනෙන විශේෂත්වයක් වන්නේ එය ෂඩස්‍රාකාර (පැති හයක) හැඩයකින් යුක්තව නිපදවා තිබීමයි. එම නිසා මෙය ෂිලොං හි වාස්තු විද්‍යාත්මක අභිමානය ලෙස ද හැඳින්වේ. බොහෝ විට කෞතුකාගාර පරිශ්‍රය තුළ තරඟකාරී උත්සව පවත්වනු ලබන අතර, ඒ සඳහා දිවයින පුරා සිටින විද්වතුන්, ලේඛකයින්, සංගීතඥයින් සහ ගීත රචකයින් සහභාගී වෙති.

ප්‍රධාන අංශයවිශේෂත්වයපර්යේෂණ සහ ප්‍රකාශන තමන්ගේම පර්යේෂණ අංශයක්, ශාස්ත්‍රීය ප්‍රකාශන, සඟරා සහ විශේෂ සංස්කෘතික දින දර්ශනයක් පවත්වාගෙන යයි.
ජාත්‍යන්තර අවධානය ඉන්දියානු රාජ්‍ය සභාවේ ප්‍රමුඛ නායකයන් මෙන්ම තායිලන්තයේ රාජකුමාරිය වැනි ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රිකයින්ගේ පැසසුමට ලක්ව ඇත.
කලාකරුවන්ගේ හමුව සමස්ත ඉන්දියාවෙන්ම පැමිණෙන ලේඛකයන්, සංගීතඥයන්, ගීත රචකයන් සහ විද්වතුන් උදෙසා විවිධ තරගකාරී සංස්කෘතික උත්සව මෙහි සංවිධානය කෙරේ.

එකිනෙකට වෙනස් ගෝත්‍රික සංස්කෘතීන් සිය ගණනක් එකම වහලක් යටදී සහෝදරත්වයෙන් අත්වැල් බැඳගන්නා ආකාරය දැකබලා ගැනීමට ඇති හොඳම කැඩපත දොන් බොස්කෝ කෞතුකාගාරයයි. ඊසානදිග ඉන්දියාවේ සැබෑ අනන්‍යතාවය සහ අතීත ශ්‍රී විභූතිය හදවතින්ම අත්විඳීමට කැමති ඕනෑම සංචාරකයෙකුගේ ජීවිතයේ එක් වරක් හෝ නැරඹිය යුතුම පාරාදීසයක් ලෙස මෙය නොසැලී බැබළෙයි.

Saturday, August 15, 2026

පුරාණ ඉන්දියානු යුධ විද්‍යාව සහ ධනුර්ධරතාවයේ රහස්




විශ්වයේ බලවත්ම ආයුධය ඇත්තේ අතේද? නැතිනම් එකඟ වූ මනස තුළද?

අප බොහෝ දෙනෙක් සිතන්නේ 'ධනුර්වේදය' යනු හුදෙක් දුන්න සහ ඊතල භාවිත කරමින් සටන් වදින පුරාණ ඉන්දියානු යුධ ශාස්ත්‍රයක් පමණක් කියා ය. නමුත් සැබෑව නම්, එය ඊට එහා ගිය මහා ගඹුරු දර්ශනයකි.  තම මනස, කය සහ ආත්මය පාලනය කරගනිමින්, අයුක්තිය හමුවේ ධර්මය ආරක්ෂා කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන මෙම පූජනීය විද්‍යාවකි. 

ධනුර්වේදය (Dhanurveda) යනු හුදෙක් යුධ පිටියේ සටන් කරන ආකාරය දැක්වෙන උපදෙස් මාලාවක් පමණක් නොවේ. ධනුස් (දුන්න) සහ වේද (දැනුම) යන සංස්කෘත වචන එකතු වී නිර්මාණය වූ මෙම පූජනීය ශාස්ත්‍රය, ආයුධ භාවිතය, යුධ උපක්‍රම, කායික හා මානසික හික්මීම මෙන්ම ධර්මය ආරක්ෂා කිරීමේ උතුම් මූලධර්මයන්ගෙන් සමන්විත වූවකි.

පුරාණ හින්දු සාහිත්‍යයට අනුව, මෙම විද්‍යාව බ්‍රහ්ම දෙවියන් විසින් ඍෂිවරුන්ට එළිදරව් කරන ලද්දකි. පසුව දෙවියන්ට සහ පෘථිවියේ ප්‍රබල රජවරුන්ට මෙය උගන්වන ලද අතර, අතර්ව වේදය තුළ ද මේ පිළිබඳව සඳහන් වේ. ධනුර්වේදය යනු මනස, කය සහ ආත්මය එකට ඒකාබද්ධ කරනු ලබන පූර්ණ ආත්මික හා කායික අභ්‍යාසයකි. එහි ප්‍රධාන විෂය පථයන් 6ක් අඩංගු වේ.

ආයුධ 
විවිධ වර්ගයේ සටන් ආයුධ නිවැරදිව භාවිත කරන ආකාරය.

ධනුර්ධරතාව 

ඉතා නිවැරදිව සහ එකඟ වූ මනසකින් යුතුව දුන්න සහ ඊතල භාවිත කිරීම.

කායික පුහුණුව 
ශරීරයේ ශක්තිය, වේගවත් බව, සමතුලිතතාවය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කිරීම.

යුධ උපක්‍රම 
සේනාංක සංවිධානය කිරීම, භූගෝලීය පිහිටීම අනුව සටන් ක්‍රමවේද සකස් කිරීම.

මානසික හික්මීම 

කෝපය සහ හැඟීම් පාලනය, ධෛර්යය, ඉවසීම සහ ආත්ම-දමනය.

ධර්මය ආරක්ෂා කිරීම 
 
සමාජයේ සාමය සහ සාධාරණත්වය ස්ථාපිත කිරීම.

ධනුර්වේදයට අනුව යුධ ආයුධ ප්‍රධාන කොටස් 4කට බෙදා දක්වයි.

මුක්ත - දුන්න සහ ඊතල, කවපෙත්ත වැනි විසි කර පහර දෙන ආයුධ.

අමුක්ත -  කඩුව, පොල්ල, කෙනිස්ස වැනි අතින් ගෙන සටන් කරන ආයුධ.

යන්ත්‍ර -  කැටපෝල සහ උගුල් වැනි යන්ත්‍ර සූත්‍ර මගින් ක්‍රියාත්මක වන ආයුධ.

කවච -  සන්නාහ, හිස්වැසුම් සහ පඩංගු වැනි ආරක්ෂිත ආවරණ.

මෙම ශාස්ත්‍රය පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන යාමට ශ්‍රේෂ්ඨ චරිත රැසක් දායක විය. ධනුර්වේද සංහිතාව රචනා කළ භරද්වාජ ඍෂි, කෞරවයන්ට සහ පාණ්ඩවයන්ට ශාස්ත්‍රය ලබා දුන් ද්‍රෝණාචාර්ය, අසමසම යෝධයෙකු වූ පරශුරාම, සහ මහ භාරත යුද්ධයේදී අසමසම උපක්‍රමඥයෙකු වූ ශ්‍රී කෘෂ්ණ ඒ අතරින් ප්‍රධාන වේ.

ධනුර්වේදය මගින් අවධාරණය කරන්නේ කිසිවිටෙකත් අනවශ්‍ය ලෙස බිය වැද්දීමට හෝ දරුණුකම පෙන්වීමට බලය භාවිත නොකළ යුතු බවයි.

ධර්මය -  සාධාරණත්වය සහ ආරක්ෂාව උදෙසා පමණක් සටන් වැදීම.

ඥානය- ආයුධය, සතුරා, භූමිය සහ තමා පිළිබඳ නිවැරදි අවබෝධය.

අභ්‍යාසය: නොකඩවා කරනු ලබන කැපවූ පුහුණුව.

සමත්වය-ජයග්‍රහණයේදී මෙන්ම පරාජයේදීත් නොසැලෙන මනසක් පවත්වා ගැනීම.

කරුණාව- සියලු ජීවීන්ට ගරු කිරීම සහ අනවශ්‍ය හිංසනයෙන් වැළකීම.

ධනුර්වේදය යනු හුදෙක් යුද්ධ ජයග්‍රහණය කිරීම ගැන පමණක් උගන්වන්නක් නොවේ. එය තමාගේ මනස සහ ශරීරය පාලනය කරගනිමින්, ලෝකයේ සාමය සහ ධර්මය ආරක්ෂා කරන සැබෑ සුරකින්නෙකු බවට පත්වන මග පෙන්වීමයි. "තමාගේ මනස, ආයුධය සහ ශරීරය එකලෙස ජයගත් තැනැත්තා, ධර්මයේ සැබෑ සුරකින්නා බවට පත්වේ."

අවසාන වශයෙන්, ධනුර්වේදය අපට කියා දෙන්නේ යුද්ධයකින් ජයග්‍රහණය කිරීමට වඩා තමාගේම මනස ජයගැනීම කොතරම් උතුම්ද යන්නයි. බාහිර ලෝකයේ සටන්වලට පෙර තම අභ්‍යන්තරය ජයගැනීමටත්, ලැබෙන බලය අහිංසකයන්ගේ ආරක්ෂාව සහ සාමය උදෙසා පමණක් භාවිත කිරීමටත් මෙම අතීත උරුමය අපට මග පෙන්වයි.


මුලාශ්‍ර 
Dhanurveda  The Ancient Veda of Archery and Warfare

Thursday, August 13, 2026

මව් සෙවනින් සැදුණු අභිරහස් නිම්නය






ස්වභාවධර්මයේ අපූර්ව සූක්ෂමතාවයෙන් වැසුණු, වලාකුළුවලට පෙම් බැඳි මේඝාලයා කඳුකරයේ අද්භූත නිහඬතාවය බිඳිමින් ඇසෙන්නේ වෙනස්ම මාදිලියක කතාන්දරයකි. ලෝකයම පීතෘ මූලික බලපරාක්‍රමයන් හමුවේ නතුවෙද්දී, සිය නාමය, උරුමය සහ පරම්පරාවේ අභිමානය මවගේ ලෙයින් පැවත එන දියණියන්ගේ පාමුල තැබූ අසිරිමත් ජනකායක් අදටත් එම කඳු අතර ජීවත් වෙති. ඒ, සොබාදහම දේවත්වයෙන් අදහමින්, මාතෘ ප්‍රේමයේ පූජනීයත්වය සමාජයේ අඩිතාලම කරගත් අභිමානවත් 'කාසි' ජනතාවයි.ඉන්දියාවේ ඊසානදිග මේඝාලයා ප්‍රාන්තයේ සරුසාර කඳුකරයේ වෙසෙන කාසි ජනතාව ලෝකයේ වඩාත්ම ආකර්ෂණීය සහ අනන්‍ය සංස්කෘතික උරුමයකට හිමිකම් කියති. ආසියාවේ වැඩි ප්‍රදේශයක දැකිය හැකි පීතෘ මූලික (පීතෘ පාර්ශ්වීය) පවුල් ක්‍රමයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් සමාජීය, ආත්මික සහ වංශානුක්‍රමික ක්‍රමයක් මොවුන් අතර පවතී.

1. මාතෘ මූලික ක්‍රමය (Longkur Longkha)

කාසි සංස්කෘතියේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ මාතෘ මූලිකත්වයයි. එනම් පරම්පරාව, දේපළ උරුමය සහ පවුල් නාමය තීරණය වන්නේ මවගේ පාර්ශ්වයෙන් පමණි. දරුවන්ට හිමිවන්නේ මවගේ වංශයේ නාමය (kur) ය. පවුලේ බාලම දියණියට විශේෂ ස්ථානයක් හිමිවේ. ඇයට පවුලේ මුතුන්මිත්තන්ගේ නිවස සහ ප්‍රධාන දේපළ උරුම වේ. ඇය දේපළවල සදාකාලික හිමිකාරිය නෙවෙයි, මහලු දෙමාපියන්, නොබැඳි සහෝදර සහෝදරියන් බලාගන්නා සහ පවුලේ ආගමික වතාවත් සිදුකරන භාරකාරිය ලෙස ක්‍රියා කරයි. විවාහයෙන් පසු මනමාලයා සාමාන්‍යයෙන් බිරිඳගේ නිවසට හෝ ඇගේ නිවස ආසන්නයේ පදිංචියට පැමිණෙයි. මාතෘ මූලික ක්‍රමයක පරම්පරාව පැවත ආවද, පිරිමින්ටද වැදගත් වගකීම් හිමිවේ. පිරිමියෙකුගේ ප්‍රධාන බලතල පවතින්නේ ඔහුගේ සහෝදරියගේ පවුල තුළය. එනම් ඔහු තම සහෝදරියගේ දරුවන්ට මාමා කෙනෙකු ලෙස උපදේශකයෙකු සහ පවුලේ ප්‍රධානියෙකු ලෙස කටයුතු කරයි. එමෙන්ම දේශපාලනික හා ගම් මට්ටමේ නායකත්වයන්හිදී පිරිමින් ප්‍රධානත්වය ගනී.

2. සමාජ සිරිත් විරිත් සහ ඥාති සබඳතා

කාසි සමාජය එකමුතුකම, ඥාති සබඳතා සහ තදබල අචාරධර්ම මත පදනම් වී ඇත. එකම වංශය අතර විවාහ තහනමක් මොවුන්ගේ දක්නට ලැබේ. එකම මාතෘ වංශයේ සාමාජිකයන් අතර විවාහ වීම විශාල පාපයක්/තහනම් දෙයක් ලෙස සැලකේ. විවාහයන් සිදුවිය යුත්තේ වෙනත් වංශයක අයෙකු සමඟ පමණි. සාම්ප්‍රදායික විවාහයන් ඉතා සරල වන අතර, එය පුද්ගලයන් දෙදෙනෙකු අතර පමණක් නොව පවුල් දෙකක් අතර ඇතිවන එකතුවක් ලෙස සැලකේ.

3. සාම්ප්‍රදායික විශ්වාස සහ ආගම

බ්‍රිතාන්‍ය පාලන සමයෙන් පසු වැඩි පිරිසක් කතෝලික/ක්‍රිස්තියානි ආගම වැළඳගත්තද, 15–20% ක පමණ පිරිසක් තවමත් ඔවුන්ගේ ආදිවාසී ආගම අදහති.

ඔවුන්ගේ ප්‍රධාන දාර්ශනික සංකල්පයන් කිහිපයකි.

"අවංක උත්සාහයෙන් සහ යහපත් ජීවිතයකින් ධර්මිෂ්ඨකම ළඟා කරගැනීම".

"දෙවියන්ව දැනගැනීමට පෙර මිනිසා හඳුනාගැනීම"
සැබෑ නමස්කාරය ආරම්භ වන්නේ අන් අයට ගරු කිරීම සහ කරුණාව දැක්වීමෙන් බව විශ්වාස කිරීම.

"මව් පාර්ශ්වයේ සහ පිය පාර්ශ්වයේ ඥාතීන් හඳුනාගැනීම"
දෙපාර්ශ්වයේම පවුල් සබඳතාවලට ගරු කිරීම.

එක දෙවියෙකු ඇදහීම සහ සොබාදහමට ගරු කිරීමමොවුන්ගේ ප්‍රධාන ආගමික සංකල්ප අතර ඇත. ඔවුන් U Blei Nongthaw නමැති එකම මහා මැවුම්කාර දෙවියන්ව විශ්වාස කරයි. දෙවියන් යනු සොබාදහම (කඳු, ගංගා, ගස්කොළං) හරහා අත්විඳිය හැකි බලවේගයකි. වනාන්තරය යනු පූජනීය ස්ථානයකි. 'මව්ෆ්ලැන්ග්' (Mawphlang) වැනි පූජනීය වනාන්තර දේව ආරක්ෂාව යටතේ පවතින බැවින් ඒවායින් කිසිවක් ඉවත් කිරීම තහනම්ය. මුතුන්මිත්තන් වෙනුවෙන් විශාල ගල් ටැම් (Mawbynna / Monoliths) සිටුවීම මොවුන්ගේ විශේෂ සිරිතකි.

Shad Suk Mynsiem (වසන්ත කාලයේ පැවැත්වෙන නර්තන උත්සවය) සහ Nongkrem උත්සවය මොවුන්ගේ ප්‍රධාන අස්වැන්න සහ සමෘද්ධිය උදෙසා පවත්වන උත්සව වේ.ෂාඩ් සුක් මින්සීම් යන්නෙන් සන්සුන් හදවත්වල නර්තනය යන තේරුම ගෙන ඒ. ශාඩ්ය සුක්නු මින්සිම් යනු  මේඝාලයාහි කාසි  ජනතාවගේ වඩාත්ම අභිමානවත් සහ සංස්කෘතිකමය වශයෙන් වැදගත් වාර්ෂික වසන්ත උත්සවයයි. සෑම වසරකම අප්‍රේල් මාසයේ දින තුනක් පුරා (ප්‍රධාන වශයෙන් ෂිලොන්හි ජයිආව් හී වේකින් ක්‍රීඩාංගණයේදී) පැවැත්වෙන මෙම උත්සවය, සරුසාර අස්වැන්නක්, සඵල පසක් සහ ප්‍රජාවගේ යහපැවැත්ම ලබා දීම වෙනුවෙන් මහා මැවුම්කාර දෙවියන්ට වූ U Blei කෙරෙන මහා කෘතඥතා පූජාවකි.

ප්‍රධාන ආගමික වතාවත් සහ පාරම්පරික සිරිත්

සංකේතාත්මක සාම්ප්‍රදායික නර්තනය
මෙහි ප්‍රධාන අංගය වන්නේ සාම්ප්‍රදායික බෙර , තාලම් සහ ලී වං  නාදයට අනුව රවුමට කරනු ලබන පූජනීය නර්තනයයි.

අවිවාහක කාන්තාවන්  පට Dest (Jainsem), බරැති රත්රන් සහ කොරල් පබළු මාල මෙන්ම රිදී ඔටුනු (Pansngiat) පැළඳ ඇතුළු වටයේ සෙමින් නර්තනයේ යෙදෙති. ඔවුන්ගේ සංසුන්, බිමට බර චලනයන්ගෙන් පිරිසිදුකම, ලැජ්ජාශීලී බව සහ පවුල් පරම්පරාවේ හා සංස්කෘතියේ භාරකාරියන් ලෙස ඔවුන්ගේ කාර්යභාරය සංකේතවත් කරයි. පිරිමින් එක් අතකින් සාම්ප්‍රදායික කඩුවක් සහ අනෙක් අතින් සුදු චාමරයක් ගෙන කාන්තාවන් වටා පිටත වටයේ ගාම්භීර ලෙස නර්තනයේ යෙදෙති. ඔවුන්ගේ චලනයන්ගෙන් කාන්තාවන්, වංශය සහ මාතෘ භූමිය ආරක්ෂා කිරීමේ වගකීම සහ වික්‍රමාන්විතභාවය සංකේතවත් කෙරේ.

නර්තනය ආරම්භ කිරීමට පෙර, ගෝත්‍රික නායකයින් සහ පූජකවරුන් විසින් මුළු ප්‍රජාවටම සාමය, සෞඛ්‍යය සහ සමෘද්ධිය පතා ප්‍රාර්ථනා කරති. ෂාඩ් සුක් මින්සීම් උත්සවයෙන් කාසි ජනතාවගේ මූලික ජීවන දර්ශනය පිළිඹිබු වේ. මාතෘ මූලික සමගිය පරම්පරාවේ සහ දේපළවල භාරකාරියන් ලෙස කාන්තාවට හිමි ප්‍රධාන ස්ථානයත්, ආරක්ෂකයින් සහ උපදේශකයින් ලෙස පිරිමින්ගේ සාම්ප්‍රදායික කාර්යභාරයත් අතර සමබරතාවය පවත්වා ගනී.
පරිසරයට කෘතඥ වීම වසන්තයේ සහ මෝසම් වර්ෂාවේ පැමිණීම සලකුණු කරමින්, වගා සංවත්සරයට පෙර පෘථිවියේ සරුසාර බව සමරනු ලබයි. සංස්කෘතික අඛණ්ඩතාව  සංවිධානයේ මූලිකත්වයෙන් සංවිධානය වන අතර, එමගින් ඔවුන්ගේ ආදිවාසී උරුමය සහ ආත්මික වටිනාකම් පරම්පරා ගණනාවක් පුරා ජීවමානව පවත්වාගෙන යයි.

කාසි ජනතාවගේ ජීවන රටාව යනු හුදෙක් ඉපැරණි පාරම්පරික සිරිතක්ම පමණක් නොවේ; එය නූතන ලෝකයට නිහඬව කියාදෙන මහඟු පාඩමකි. මාතෘ මූලිකත්වයේ ආදරණීය රැකවරණයත්, සොබාදහමෙන් ලබාගන්නා තරමටම ඇයට නැවත ගෞරවය පුදන පාරිසරික දැක්මත් තුළ ඔවුන් ගොඩනගා ඇත්තේ මනුෂ්‍යත්වය සහ ප්‍රකෘතිය අතර ඇති පරමාදර්ශී සමගියයි. පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන් ආරක්ෂා කරගත් මේ සොඳුරු සහජීවනය, වෙනස්වන ලෝකය හමුවේ වුවද තවත් සියවස් ගණනාවක් ඉදිරියට නොසැලී බැබළෙනු නොඅනුමානය.

Sunday, August 9, 2026

අදෘශ්‍යමාන දේවදාර සෙවණැලි අතර සැඟවුණු අභිරහස

 


මනාලි හි පෞරාණික හදීම්බා දේවී දේවාලය

හිමාචල් ප්‍රදේශයේ හිමෙන් තැවරුණු කඳු පන්ති අතරින් හමන සිසිල් සුළඟත් සමඟ, පෞරාණික දේවදාර ගස්වල පත්ර අතරින් ගලා එන අද්භූත අද්භූත බවක් මනාලි හි ධුංග්‍රි වනාන්තරය පුරා පැතිර පවතී. ඒ අතිශය අලංකාර, නිහඬ වනපෙත මධ්‍යයේ පිහිටා තිබෙන්නේ හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොව, කාලයේ වැලි තලාවට යට නොවූ මහා භාරත යුගයේ ජනප්‍රවාද සහ හිමාචාලි වාස්තු විද්‍යාවේ අසදෘශ අභිමානයයි. ක්‍රි.ව. 1553 දී කුල්ලු හි බහදූර් සිං මහාරාජා විසින් කරවන ලද මෙම හදීම්බා දේවී දේවාලය (ධුංග්‍රි දේවාලය), සොබාදහමේ සෞන්දර්යයත්, දේව භක්තියත් එකට කැටි වූ පෞරාණික හිමාචාලි කැටයම් ශිල්පයේ අපූර්ව ජීවමාන සාක්ෂියකි.



මෙම පූජනීය භූමිය හා බැඳුණු ජනප්‍රවාද පෙළගැසෙන්නේ මහා භාරත කථා පුවතේ අමතක නොවන පරිච්ඡේදයක් ද සමඟිනි.

හදීම්බා යනු අතීතයේ මෙම වනාන්තරය භාරව සිටි රාක්ෂසියකි. පාණ්ඩවයන් වනගතව සිටි සමයේදී, භීම විසින් ඇගේ සහෝදරයා වූ හිඩිම්බ නමැති රාක්ෂසයා පරාජය කරන ලදී. භීමගේ සදෘශ නොවන ශක්තියට හා ධර්මිෂ්ඨ චරිතයට පෙම් බැඳි හදීම්බා, ඔහු සමඟ විවාහපත් වූ අතර පසුව මහා භාරත යුද්ධයේ සුවිශේෂී චරිතයක් වූ ඝටෝත්කච නමැති ප්‍රබල යෝධ පුත්‍රයාට උපත දුන්නාය. පාණ්ඩවයන් පිටව ගිය පසු, සිය රාක්ෂ ගති අතහැර දැමූ හදීම්බා, පෞරාණික දේවදාර ගස් සෙවණේ දැඩි ලෙස තපස් රැකීමට පටන් ගත්තාය. ඇගේ අසමාන ආත්මීය කැපවීම හා පවිත්‍රතාවය හේතුවෙන් ඇය ප්‍රදේශයට අධිපති  ආරක්‍ෂක දේවතාවියක් බවට පත් වූ බව විශ්වාස කෙරේ. බහදූර් සිං මහාරාජා විසින් මෙම අද්විතීය දේවාලය ඉදිකිරීමෙන් පසු, මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණයක් ලොව වෙනත් කිසිදු ස්ථානයක නැවත කිසිදිනෙක බිහි නොවිය යුතු යැයි සිතා, එය නිර්මාණය කළ ප්‍රධාන වඩුවාගේ දකුණු අත කපා දැමූ බවට අඳුරු ජනප්‍රවාදයක් ද ප්‍රදේශවාසීන් අතර පවතී.

සාමාන්‍ය ගල් දේවාලවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නා හදීම්බා දේවාලය, පගෝඩා ශෛලියේ හිමාචාලි වාස්තු විද්‍යාව මනාව නිරූපණය කරයි . පෞරාණික ලී පුවරුවලින් සාදන ලද තට්ටු හතරකින් යුක්ත වන මෙහි වහලයේ ඉහළම කොටස අලංකාර ලෝකඩ කේතුවකින් හැඩගන්වා ඇත. ප්‍රධාන ලී දොරටුව සහ බිත්ති පුරා සත්ව රූප, මල් මෝස්තර, ස්වාභාවික සංකේත සහ මහා භාරත පුරාවෘත්තයන් නිරූපණය වන ක්ෂුද්‍ර කැටයම් ඇතුළත් කර ඇත. දේවාලය අභ්‍යන්තරයේ සාම්ප්‍රදායික පිළිමයක් වෙනුවට දක්නට ලැබෙන්නේ හදීම්බා දේවිය තපස් රැකි බව කියවෙන ස්වාභාවික ගල් ගුහාවයි. එහි ඇති ගල් තලාව මත ඇගේ පාද සටහනක් ද කොටා ඇත.

මනාලි හි සීතල මීදුම අතරින් මතුවන හදීම්බා දේවාලය යනු හුදෙක් සංචාරක ගමනාන්තයක් පමණක් නොවේ. එය පෞරාණික ශ්‍රද්ධාව, ගැඹුරු අභිරහස සහ ස්වාභාවික සෞන්දර්යය මුසු වූ ජීවමාන අත්දැකීමකි. දේවදාර වෘක්ෂයන්ගේ මුමුණන සුළං රැල්ලට සවන් දෙමින්, ශතවර්ෂ ගණනාවක් පැරණි මෙම පූජනීය භූමියේ ඇවිද යාම, ඕනෑම සංචාරකයෙකුගේ මනස අතීතයේ රහස්‍ය ලෝකයකට ගෙන යන නොමැකෙන මතකයක් වනු නොඅනුමානය.

Friday, August 7, 2026

වලාකුළු අතරින් කඩාහැලෙන සොබාදහමේ සප්ත නාදය

 

ලෝකයේ වැඩිම වර්ෂාපතනයක් ලබන "වලාකුළු වල නිවහන" ලෙස විරුදාවලිය ලත් ඉන්දියාවේ මේඝාලය ) ප්‍රාන්තයේ චෙරපුන්ජි හි පිහිටි විස්මිතම ස්වභාවික නිර්මාණයක් ලෙස නොහ්ස්ගිතිඅං දිය ඇල්ල හඳුන්වා දිය හැකිය. ලොව පුරා සංචාරකයින් අතර "සත් සහෝදරියන්ගේ දිය ඇල්ල" (Seven Sisters Falls) ලෙස මහත් ප්‍රසිද්ධියක් උසුලන මෙම දිය ඇල්ල කඳු මුදුනක සිට එක පෙළට පහළට කඩාහැලෙන දිය දහරා හතකින් සමන්විත දර්ශනීය කලා කෘතියකි.

අඩි 1033ක් පමණ උසකින් යුත් හුණුගල් පර්වත මාලාවක් ඔස්සේ පහළට ඇදහැලෙන මෙම දිය ඇල්ල, ඉන්දියාවේ පිහිටි 4 වැනි උසම දිය ඇල්ල ලෙසද සැලකේ.

මෙම දිය ඇල්ලට "සත් සහෝදරියන්ගේ දිය ඇල්ල" යන නම යෙදීමට ප්‍රධාන හේතු දෙකක් පවතී. භූගෝලීය වශයෙන් ගත් කල, එකිනෙකට සමාන්තරව කඩාහැලෙන ප්‍රධාන දිය දහරා හත, ඊසානදිග ඉන්දියාවේ පිහිටි ප්‍රාන්ත හත (Assam, Arunachal Pradesh, Manipur, Meghalaya, Mizoram, Nagaland, and Tripura) සංකේතවත් කරන බව පැවසේ.

එහෙත්, ප්‍රදේශයේ වෙසෙන ඛාසි  ආදිවාසී ජනප්‍රවාදවලට අනුව මෙහි ඇත්තේ ඉතා සුන්දර හා හැඟීම්බර කතාවකි. ඈත අතීතයේ එකිනෙකාට අතිශයින් ආදරය කළ සහෝදරියන් හත්දෙනෙකු ජීවත් වූ බවත්, ඔවුන්ගේ නොබිඳෙන ආදරය සහ එකමුතුකම සදාකාලිකව පවත්වා ගැනීම උදෙසා සොබාදහම් මාතාව විසින් ඔවුන්ව මෙම දිය දහරා හත බවට පත්කළ බවත් ප්‍රදේශවාසීහු විශ්වාස කරති.

නොහ්ස්ගිතිඅං දිය ඇල්ලේ ඇති තවත් සුවිශේෂීතාවයක් වන්නේ එය මුහුණලා පිහිටා ඇත්තේ නැගෙනහිර දෙසට වීමයි. එම නිසා, උදෑසන හිරු රැස් පතිත වන විට මීදුම් පටල අතරින් මතුවන දිය ඇල්ලේ දසුන අතිශය මනරම්ය. විශේෂයෙන්ම, පස්වරු කාලයේ හිරු බැසයන මොහොතේ සූර්යාලෝකය දිය බිඳිති මත වැටීමෙන් මතු වන වර්ණවත් දේදුනු රටා, මෙම පාරාදීසයට එක් කරන්නේ දිව්‍යමය ස්වරූපයකි.

මෝසම් වැසි කාලයේදී (ජූනි සිට සැප්තැම්බර් දක්වා) සම්පූර්ණ ශක්තියෙන් ගලාබසින මෙම දිය ඇල්ල, වියළි කාලගුණය පවතින විට ක්ෂේත්‍රයේ සමහර කොටස් සිහින් වී යයි. එබැවින් මෝසම් වැස්සත් සමඟම මීදුම පලවා හරිමින් දිය ඇල්ලේ පූර්ණ දර්ශනය මතු වන මොහොත සංචාරකයින්ගේ හදවත් අමන්දානන්දයට පත් කරයි.

නොහ්ස්ගිතිඅං යනු හුදෙක් ගලාබසින ජල කඳක් පමණක් නොව, සොබාදහමේ සදාතනික සහෝදරත්වය සහ තේජස ලොවට කියාපාන ජීවමාන ස්මාරකයකි. වලාකුළු සිපගන්නා ඒ කඳු මුදුන් අතරින් ගලා එන සප්ත නාදයට සවන් දෙන ඕනෑම අයෙකුගේ මනසට දැනෙන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අසමසම ශාන්තියකි. දිනක මේඝාලයට පියමං කරන ඔබට, නොහ්ස්ගිතිඅංහි ඒ රිදී සේලයන් ඔබේ නෙත් සිත් සදහටම වසඟ කරනු නොඅනුමානය.

Wednesday, August 5, 2026

බොලිවුඩ් පුරාවෘත්තයක පරස්පර විරෝධී බව



ඉන්දීය සිනමාවේ දිදුලන ඉතිහාසය දෙස බලන විට බොහෝ විට කෙනෙකුගේ උරුමය තීරණය වන්නේ සංඛ්‍යාලේඛන මත ය. අසාර්ථක චිත්‍රපට පෙළක් නිසා වෘත්තීය ජීවිතයක් අවසන් වුවත් , සාර්ථක චිත්‍රපට කිහිපයක් නිසා එය සදාකාලික විය හැකිය. කෙසේ වෙතත්, මෙම සාමාන්‍ය මිනුම් දඬුවලට වඩා ප්‍රමුඛව දක්නට ලැබෙන , සිනමාවේ සාමාන්‍ය නීතිරීතිවලට සහ මිනුම් ද‍ඬුවලට අභියෝග කළ සුවිශේෂී තරුවක් සිටී. ඒ මිතුන් චක්‍රවර්තී ය.

මොහු සම්බන්ධව ලෝක සිනමාවේම කාගේත් අවධානය දිනාගත්, ප්‍රේක්ෂකයන්ව මවිතයට  පත් කරවන නිල වාර්තාවක් තබා ඇත. එනම් මිතුන් චක්‍රවර්තී බොක්ස් ඔෆිස් හි රඟපෑ චරිත තුළින්  අසාර්ථක වූ සහ වාණිජමය වශයෙන් අසාර්ථක වූ චිත්‍රපට 180කට වඩා වැඩි ගණනක ප්‍රධාන චරිත නිරූපණය කර ඇත. මෙම චිත්‍රපට සංඛ්‍යාවෙන්  වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය වුයේ 1990 දශකයේදී ය. එම දශකය තුළ මිතුන් කිසිදා නොවූ විරූ අයුරින් අඛණ්ඩව චිත්‍රපට නිෂ්පාදනය කිරීමේ යෙදුනි. 

මෙම කාල වකවානුව තුළ මිතුන්  සිය නිර්මාණකරණය වෙනුවෙන් ගොඩ නැගූ සිනමා මධ්‍යස්ථානය ඌටි වෙත මාරු කළ අතර, එය ස්වයංපෝෂිත කුඩා කර්මාන්තයක් බවට පත් කළේය. ඔහු සිතාගත නොහැකි වේගයකින් චිත්‍රපට සඳහා අත්සන් තැබූ අතර, සමහර අවස්ථාවලදී අඩු වියදමකින් නිශ්පාදනය කළ හැකි,  පොදු ජනතාව ඉලක්ක කරගත් ක්‍රියාදාම චිත්‍රපට කිහිපයකටම එකවර රංගනයෙන් දායක විය. 

වියදම් අවම කර ගැනීම සඳහා ඔහු ඌටි හි හෝටලයක් පවා මිලදී ගත් අතර, එහි රංගන ශිල්පීන් සහ කාර්ය මණ්ඩලය නිරන්තරයෙන් නවාතැන් ගත්හ.  මෙම චිත්‍රපට වල බොහෝ විට තේමාවන් වූයේ  පළිගැනීම , නීතිය ඉදිරියේ සිදු කරන එරෙහි වීම්, අසාධාරණ යට ලක්වන මිනිසුන් උදෙසා පෙනී සිටීම් වැනි තේමාවන්‍ ය. මෙම චිත්‍රපට ඉතා ඉක්මනින් නිෂ්පාදනය කර, අඩු වියදමකින් බෙදා හැර, ඉන්දියාවේ ග්‍රාමීය සහ නාගරික නොවන ප්‍රදේශවල තනි තිර සිනමාහල් ඉලක්ක කර ගනිමින් ප්‍රදර්ශනය කෙරිණි. ඉන් බහුතරයක් ආදායම් වාර්තා තැබීමට හෝ විචාරක පැසසුමට ලක්වීමට අපොහොසත් වුවද, චිත්‍රපට විශාල සංඛ්‍යාවක් නිකුත් වීම හේතුවෙන් ඔහුගේ නම සිනමාහල් නාමපුවරුවල සදාකාලිකව සටහන් විය.

සාමාන්‍ය සිනමා කර්මාන්තයේ ස්වභාවය අනුව, මෙවැනි අසාර්ථක වීම් ප්‍රතිශතයකින් සුළු ප්‍රමාණයක් වුවද ප්‍රධාන නළුවෙකුගේ වෘත්තීය ජීවිතය විනාශ කිරීමට ප්‍රමාණවත්ය. කෙසේ වුවත් ,  මිතුන්ගේ චිත්‍රපට ලොව පවත්වා ගෙන ආ තරු ගුණය ආරක්ෂා වූයේ ඔහුගේ අතීත ජනප්‍රියත්වය, බිම් මට්ටමේ තිබූ අසමසම ආකර්ෂණය සහ විශිෂ්ට ව්‍යාපාරික ආකෘතිය හේතුවෙනි.  ඌටි කේන්ද්‍ර කරගත් චිත්‍රපට, ප්‍රධාන පෙළේ මාධ්‍ය මඟින් අසාර්ථක ලෙස හැඳින්වුවද, ඒවා ඉතා පිරිමැසුම්දායක ලෙස නිෂ්පාදනය කර තිබූ බැවින් බෙදාහරින්නන්ට විශාල පාඩු සිදු නොවීය. සිනමාහල් පවත්වාගෙන යාම සඳහා අඛණ්ඩව චිත්‍රපට අවශ්‍ය වූ කුඩා නගරවල සිනමාහල් හිමියන්ට ඒවා ආරක්ෂිත මෙන්ම වාසිදායක ආයෝජනයක් විය.

වඩාත්ම වැදගත් කරුණ නම් 90 දශකයේ මෙම රැල්ලට බොහෝ කලකට පෙර මිතුන්ගේ සුපිරි තරුවක් ලෙස පැවති අනන්‍යතාවය ස්ථාවර කරතිබීමයි. ඔහු දුෂිත ක්‍රමවේදයට එරෙහිව සටන් කරන පීඩිත ජනතාව නියෝජනය කරමින්, නැගී ආ පොදු ජනතාවගේ සැබෑ වීරයා බවට පත්ව සිටියේය. ඔහුගේ සැබෑ ජීවිතයේ චාම් බව, අව්‍යාජ බව සහ දුප්පත්කමින් නැගී ආ ජීවිත කතාව ඉන්දියානු කම්කරු පන්තිය සමඟ තිබූ බැඳීම තවත් දැඩි කළේය.

මිතුන් චක්‍රවර්තීගේ වර්ධනය සහ ජනප්‍රියතාවය පිලිබඳ දෙස 1990 දශකයේ බී-ගණයේ (B-grade) චිත්‍රපට තුළින් පමණක් සංසන්ධනය කිරීම  ඔහුගේ කලාත්මක ජිවිතයේ  වටිනාකම සම්පූර්ණයෙන්ම වැරදියට වටහා ගැනීමකි. 1982 දී ඔහු ඩිස්කෝ ඩන්සර් (Disco Dancer) නම් අතිදැවැන්ත චිත්‍රපටයට රංගනයෙන් දායක වූ අතර මෙම චිත්‍රපටය ඉන්දියානු බොක්ස් ඔෆිස් වාර්තා බිඳ දැමුවා පමණක් නොව, ගෝලීය සංස්කෘතික සංසිද්ධියක් බවට ද පත් විය.

බප්පි ලහිරිගේ විද්‍යුත් සංගීතයෙන් ඔපවත් වූ මිතුන්ගේ රංගන ජීවිතය සෝවියට් රුසියාව , මැදපෙරදිග, අප්‍රිකාවේ සමහර ප්‍රදේශ සහ චීනය පුරා එක රැයකින් අතිශය ජනප්‍රිය තරුවක් බවට පත් විය. ගෝලීය මට්ටමින් බොලිවුඩ් නැටුම් සහ සංගීතය පිළිබඳ ආකල්පය වෙනස් කරමින්, විදේශයන්හි දැවැන්ත රසික පිරිසක් දිනාගත් සීමිත ඉන්දීය නළුවන් කිහිප දෙනාගෙන් කෙනෙකු ලෙස ඔහු තවමත් පසුවේ.

ඔහු ඉන්දීය සිනමාවට සුවිශේෂී රිද්මයක් ගෙන ආවේය. ඔහු විශිෂ්ට ජාතික සම්මානලාභියෙකු මෙන්ම සිනමාහල්වල ඉදිරි පෙළ අසුන් ගන්නා ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ බොලිවුඩ් සිනමාවේ අවිවාදිත සක්විති රජු ද විය."

ඒ අතරම, මිතුන් යනු ඉන්දියාවේ ඉහළම සිනමා බලධාරීන් විසින් පිළිගත් අසාමාන්‍ය කලාත්මක කුසලතාවලින් හෙබි නළුවෙකි. ඔහු 1976 වසරේ තිරගත වූ  මෘණාල් සෙන්ගේ ම්රිගයා  (Mrigayaa) නම් විශිෂ්ට චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි අතර, එහිදී හොඳම නළුවා සඳහා වන සිය ප්‍රථම ජාතික චිත්‍රපට සම්මානය දිනා ගත්තේය.  ඉන්පසුව ඔහු බුද්ධදේව් දාස්ගුප්තා විසින්1992 දී  නිශ්පාදනය කල  තහඩර් කතා (Tahader Katha ) සහ ජී. වී. අයියර් විසින් 1998  නිශ්පාදිත  ස්වාමි විවේකානන්ද (Swami Vivekananda) යන චිත්‍රපට සඳහා තවත් ජාතික සම්මාන දෙකක් දිනා ගත්තේය. 

මෙයින් සනාථ වන්නේ වාණිජමය චිත්‍රපටවල කාර්යබහුලව සිටි කාලයේදී පවා ඔහුගේ රංගන ප්‍රතිභාව කිසිසේත් අඩු නොවූ බවයි. ඔහු කැපවීම, නොසැලෙන උත්සාහය සහ බහුවිධ යන කුසලතා සංකේතයක් ලෙස නැගී සිටියි. උදෑසන කාලයේ කලාත්මක සිනමා නිර්මාණයක විශිෂ්ට රංගනයක නිරත වීමටත්, සවස් කාලයේ ක්‍රියාදාම චිත්‍රපටයක රඟපෑමටත් ඔහුට එකලෙස හැකියාව තිබුණි.

අවසාන වශයෙන්, ඔහුගේ අසාර්ථක වූ  චිත්‍රපට 180 දෙස බලන කළ , ඒ ඔහුගේ අදක්ෂකම නොව, ඔහුගේ නොසැලෙන ශ්‍රම ශක්තිය සහ බොලිවුඩ් ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් පිළිබඳ සාක්ෂියකි. ඔහු ආදරණීය ප්‍රතිමූර්තියක්,වන අතර ,  සදාකාලික සුපිරි තරුවකි.