‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, April 16, 2026

සුන්දරබන්ස් සහ බොන් බිබී ප්‍රවාදය



ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ සීමා මායිම් අතර විසිරී පවතින, ලොව විශාලතම කඩොලාන අසිරිය හෙවත් සුන්දරබන්ස් (Sundarbans) යනු හුදෙක් වනාන්තරයක්ම පමණක් නොවේ. එය සොබාදහමේ රුදුරු බවත්, මිනිසාගේ අහිංසක විශ්වාසයත් එකට පැටලුණු අද්භූත ලෝකයකි. එහි සැරිසරන සෑම මිනිසෙකුගේම හදගැස්ම පාලනය කරන්නේ වනයේ රජු වන "ව්‍යාඝ්‍රයා" සහ වනයේ රැකවලිය වන "බොන් බිබී" දෙවඟනයි.

මී පැණි සොයන්නන්, දැව කපන්නන් සහ ධීවරයන් සිය ජීවන අරගලය සඳහා මඩ පෑගීමට පෙර වැඳ වැටෙන්නේ බොන් බිබී දෙවඟන ඉදිරියේය. ඇය වනයේ අසිරිමත් රැකවලියයි.මෙම ඇදහීම තුළ හින්දු හෝ මුස්ලිම් භේදයක් නැත. සැවොම එකම පූජාසනයක් ඉදිරියේ ඇයගේ ආශිර්වාදය පතන්නේ වනය ඉදිරියේ සියල්ලන්ම සමාන බව පසක් කරමිනි.

ජනප්‍රවාදයට අනුව, අහිංසක "දුක්ඛේ" නම් පිරිමි ළමයා ව්‍යාඝ්‍ර රකුසෙකු වූ "දක්ඛින් රායි" ගේ ගොදුරක් වීමට ගිය මොහොතේ, ඔහුව බේරාගත්තේ බොන් බිබී ය. එතැන් පටන් මිනිසාට හානි නොකරන ලෙසට රකුසා සමඟ ඇති කරගත් එම ගිවිසුම අදටත් වනයේ නොලියවුණු නීතියකි.

දක්ඛින් රායිගේ මව වන "නාරායනී" දේවිය සහ බොන් බිබී අතර ඇති වූ දරුණු ගැටුම කෙළවර වූයේ සාමකාමී බෙදාගැනීමකිනි. වනයේ බල ප්‍රදේශ බෙදා හදා ගනිමින් ඔවුන් ඇති කරගත් එම සහයෝගීතාව, මිනිසා සහ සොබාදහම අතර තිබිය යුතු සමතුලිතතාවය කියා පායි.

සුන්දරබන්ස් වැසියන්ගේ විශ්වාසය වන්නේ එහි වසන ව්‍යාඝ්‍රයන් හුදු සතුන් නොවන බවයි. ඔවුන්ට මිනිස් කටහඬවල් අනුකරණය කරමින් මිනිසුන්ව මුලා කර මරණය වෙත කැඳවාගෙන යාමේ අද්භූත බලයක් ඇත. මේ නිසාම, වනයේ ගැඹුරට යන කිසිවෙකු තමාගේ හෝ තම සගයාගේ නම ශබ්ද නගා පවසන්නේ නැත. මන්ද, එම නම ව්‍යාඝ්‍රයාගේ මුවට වැටුණු සැනින් මරණය තීරණය වන බැවිනි.

වනයේ නොලියවුණු චාරිත්‍ර

 වනයට ඇතුළු වන සෑම කණ්ඩායමක්ම තමන්ව හඳුන්වා ගන්නේ ඇයගේ දරුවන් ලෙසය. එම කණ්ඩායම් හැඟීම ඔවුන්ට තනි නොවන බවට ආරක්ෂාවක් සපයයි.

ව්‍යාඝ්‍රයා සැමවිටම පහර දෙන්නේ නොසිතන මොහොතක පිටුපසිනි. තමන් දෙස කවුරුන් හෝ බලා සිටින බවට සත්වයා මුලා කිරීම සඳහා, මිනිසුන් සිය හිස පිටුපසට මිනිස් රුවක් සහිත වෙස් මුහුණක් පැළඳීමට පුරුදු වී සිටිති. මෙය බිය සහ බුද්ධිය අතර කරන අමුතුම සටනකි.

සුන්දරබන්ස් හි මෙම ජනප්‍රවාද හුදු මනඃකල්පිත කතාන්දර නොවේ; ඒවා මාරක ව්‍යාඝ්‍රයන් සහ අනුකම්පාවක් නැති සොබාදහම හමුවේ මිනිසා සිය පැවැත්ම තහවුරු කරගැනීම සඳහා ගොඩනගාගත් ආත්මීය පළිහකි.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........