ජීවිතයේ ඔබ කුමන කාර්යයක නිරත වුවත්, ඒ සෑම තැනකදීම අපට හමුවන එක් තීරණාත්මක මොහොතක් තිබේ. එය නම් "ආගාධයේ කාලපරිච්ඡේදයයි".
මුලින්ම ඔබ ජිවිතයේ යම් කිසි ඉලක්කයක් තබා ගත් විට, ඔබේ සිත තුළ ඇත්තේ විශාල උද්‍යෝගයකි;.
පිබිදීමකි. නමුත් ඔබ එම විෂය තුළට ගැඹුරින් කිමිදෙන්නට පටන් ගන්නා විට, ඔබේ වේගය අඩාල වන බව ඔබට දැනේවි. ඔබ ඒ තුළට වැඩි වැඩියෙන් කිමිදෙන තරමට, මේ පසුබෑම තදින්ම දැනෙන්නට ගනී. ඕනෑම අලුත් වැඩක් ආරම්භයේදී ඉතා හොඳින් සිදුවන බව පෙනුනද, සැබෑ ලෙසම ඒ තුළට අවතීර්ණ වන විට ප්‍රතිඵල කෙමෙන් අඩු වන්නට පටන් ගනී.
බොහෝ දෙනෙක් තම ගමන අත්හැර දමන්නේ මෙන්න මේ අසීරු මොහොතේදීය.
නමුත් .... ඔබ තම අරමුණ අත්නොහැර ඉදිරියටම ගියහොත්, ඉන්පසු උදාවන්නේ මින් පෙර නොවූ විරූ ප්‍රබල නැගිටීමකි. එම නැගිටීම ඉතා බලවත්ය. මන්ද, එය ගොඩනැගී ඇත්තේ ඔබ අත්පත් කරගත් ගැඹුරු දැනුම සහ අත්දැකීම් නමැති අත්තිවාරම මත බැවිනි. උපරිම ප්‍රතිඵල ලැබෙන්නේ මෙන්න මේ දෙවන නැගිටීමෙන් පසුවයි.
එබැවින්, ගැටලුවකදී හමුවන ඒ "ආගාධය" ඉවසා දරාගත යුතුය. ජයග්‍රහණයේ රහස ඇත්තේ එතැනය. ඔබ යම් කාර්යයක් ආරම්භ කළ මුල් අවධියේදී ලෝකය ඔබව දකින්නේ "ආධුනිකයෙකු" ලෙසයි. නමුත් ඔබ එම විෂය තුළ ඉදිරියට යද්දී, ඔබව සංසන්දනය කෙරෙන්නේ "වෘත්තිකයන්" සමඟයි. එවිට ඔබ තවමත් අඩියක සිටින බව ඔබට හැඟේවි. මෙය සාමාන්‍ය දෙයකි. මෙයට සූදානම්ව සිටින්න.
සෙත් ගොඩින්ගේ "The Dip" (ආගාධය) පොතේ පවසන පරිදි, මේ දුෂ්කර කඩඉමේදී 95%ක්ම පිරිස හැලී යති. ඔබ එම ආගාධය තරණය කළහොත්, ඔබ සෙසු සැමටම වඩා හිසක් උසින් වැජඹෙනු ඇත.
මෙම ආගාධයන් සබඳතාවලදී පවා ඇති වේ. යම් ගැටලුවක් හමුවේ නොසැලී සිටින පෙම්වතුන් හෝ අඹුසැමියන්, එම ගැටලුව විසඳාගත් පසු වඩාත් ප්‍රබල සහ ගැඹුරු බැඳීමකට හිමිකම් කියති.
ඔබ මෙවැනි "ආගාධයක" සිටින විට, කිසිසේත්ම දැනටමත් හිණිපෙත්තේ සිටින අය සමඟ ඔබව සංසන්දනය නොකරන්න. ඔබ සැසඳිය යුත්තේ "ඊයේ සිටි ඔබ" සමඟ පමණි. විෂයයක් ප්‍රගුණ කිරීමේදී මෙවැනි පසුබෑම් චක්‍රීයව පැමිණේ. ඉන් ගොඩ ඒම යනු ඔබ වෘත්තීයවේදියෙකු ලෙස ඊළඟ මට්ටමට පිවිසෙන බවට ලැබෙන සහතිකයයි.
මතක තබා ගන්න, වරක් ඔබ යම් උසකට ළඟා වූ පසු, එම මට්ටම පවත්වාගෙන යාමට එදා ඔබ ඒ තැනට ඒමට වැය කළ ඒ දැවැන්ත වෙහෙස නැවතත් අවශ්‍ය නොවේ.
නිලක්ෂි බණ්ඩාර.
27/03/2026.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........