
කරුණාසේන ජයලත් විසින් රචිත ''ගොළු හදවත'' වෘත්තාන්තය ශ්‍රී ලාංකීය ලේඛන සාහිත්‍යයේ නම් ලද ආදර කතාවකි.
1962 දී රචිත මෙම පෙම් පුවත පාඨක හදවත් ස්පර්ශ කරමින් වසර 60ක් ගෙවුන ද අදටත් පෙම්වතුන් අතර ජනප්‍රියවූ සදාකාලිකව ප්‍රේම කතා අතර නිම්නාද වන නව කතාවකි.
මෙම කෘතිය, යොවුන් ප්‍රේමය සහ එහි ඇති සංකීර්ණ ස්වභාවය ඉතා සියුම් ලෙස විදහා දක්වයි. එකල සිටි තරුණ පරපුර අතර විශාල ජනප්‍රියත්වයක් ලබා ගත් මෙම නවකතාව, අදටත් සාහිත්‍ය ලෝලීන් අතර කතා බහට ලක් වේ.
කතාවේ ආරම්භය වන්නේ සුගත් සහ දම්මි අතර වර්තමානයේ සිදුවන දෙබසකිනි.
"සුගත් ඔයා මුණගැහෙන්න දවස් ගණනක ඉඳලයි මම හිටියේ... ඇයි, සුගත් ඔයා තරහෙන් වගේ?"
"කොහොමද ඔයා දන්නේ මම මෙහෙ ඉන්න බව...?
''මම තවත් දේවල් දන්නවා. සුගත්, ඔයා දැන් හරියට බොනවලු."

අභ්‍යන්තර මනසත් සිතුවිලි සහ හැඟීම් අතර සිදුවූ ඝට්ටන
එතැන් සිට ඇරඹෙන්නේ ඔවුන්ගේ අප්‍රකාශිත ප්‍රේමයේ නොස්ටැල්ජියානු මතකාවර්ජනය යි.
කුඩා කලදී ම මව්පියන් අහිමි වන සුගත් තනිකමින් කාන්සියෙන් ජීවත් වුව ද තරමක ආඩම්බරකාරයකු වන අතර තමන්ගේ පාඩුවේ ජිවත් වූ තරුණයෙකි. එමෙන්ම විවිධ දක්ෂතාවලින් හෙබි ඔහු පසුව කුලෑටි බවෙන් මිදී සාමාන්‍ය ලෙස ජීවත් වීම ඇරඹුවේ පාසලේ දී පෙන්වූ දස්කම්වලින් පසුවය. එසේම ඔහු ලැජ්ජාශීලි බැවින් යුක්ත වූ අතර සැමවිටම ප්‍රතික්ෂේප වීමේ බියකින් පෙළුන තරුණයෙකි. නවකතාව පුරාවටම සුගත්ගේ අභ්‍යන්තර මනසත් සිතුවිලි සහ හැඟීම් අතර සිදුවූ ඝට්ටනයත් පාඨකයින්ට දැකගත හැකි වුයේ ඔහු පිළිබඳව සංවේදී හැඟුමන් සිත් සතන් තුළ ගැබ් කරවමිනි.
"එදා සවස සුගත් වෙනදා මෙන් සෙල්ලම් කිරීමට ගියේ නැත.ඔහු තුළ සෙල්ලම් කිරීමට තරම් සන්සුන් බවක් වත් උනන්දුවක් වත් නැත. පපුවේ තැනක කිතියක් දැනෙයි. අලුත් ම හැඟීමකි. ඒ අතර ලැජ්ජාවක් ද හිරි ඔතප් බිඳුණු කලෙක මෙන් බියක්ද ඔහුගේ සීත පාරවයි.
දමයන්ති තව තවත් දැකීමේ ආශාව ඔහු තුළ දැන් තදින් බලපායි. එහෙත් ඇය දෙස බලන කළ ඇය අහංකාරකමින් ඉවත බලාගත්තොත්?"
පිටු අංක 22.
අහිමි වීමේ වේදනාව සහ එයට මුහුණ දීමේ නොහැකියාව
ගොළු හදවත නව කතාවේ ඇතුළත් කාව්‍යමය භාෂාව රිද්මයානුකල බවකින් යුක්ත ය.
"ජීවිතය රස ගඟුලක පිහිනීම වැනි මහත් සංතෘෂ්ටි ජනක දෙයක් වශයෙන් සුගත්ට සිතෙයි. වසන්තයේ අතු රිකිළි ලියලමින් මල් බර වන්නාක් මෙන් සිත තුළ දමයන්ති වෙනුවෙන් කිව නොහැකි ආදරයක් මෝරයි; ඒ ආදරයෙන් ඔහු ඔකඳ වෙයි."
පිටු අංකය 36.
නව යොවුන් වියේදී ඇතිවන ප්‍රේමණීය හැඟුමන් ඔස්සේ සිතේ ඇතිවන වෙනස්වීම් මානසිකව ද බලපාන අන්දම අපට පෙනී යන්නේ සුගත්ගේ දිනෙන් දින වෙනස් වන හැසිරීම සහ ඔහුගේ චිත්ත අභ්‍යන්තරයේ ඇතිවන ගැටුම්කාරී සිතුවිලි නිසා ය. සුගත් දම්මිට ඇති ආදරය ඇය ඉදිරියේ ප්‍රකාශ කිරීමට අසමත් වූ "ගොළු හදවතක්" ඇති තරුණයෙකි. ඔහුගේ මේ අසමත්කම සහ සංයමශීලී ස්වභාවය නිසා, ඔවුන් දෙදෙනා අතර ඇති ආදරය අභ්‍යන්තරික හැඟීමක් ලෙසම පවතී. කතාව පුරාම සුගත්ගේ අභ්‍යන්තර සිතුවිලි සහ වේදනාව ඉතා සියුම් ලෙස නිරූපණය කරයි. සුගත් අතිශය සංවේදී චරිතයකි. දම්මිගේ සෑම කුඩා ක්‍රියාවක්ම, වචනයක් ම හෝ බැල්මක්ම ඔහු තුළ ගැඹුරු ලෙස බලපායි.
ඇය වෙනත් අයකු සමඟ කතා කරන විට ඔහු තුළ ඇති වන ඊර්ෂ්‍යාව සහ වේදනාව, මෙන්ම ඇයගේ සුළු සිනහවකින් පවා ඔහු ලබන සතුට, ඔහුගේ අධි සංවේදී බව පෙන්නුම් කරයි. සුගත් දම්මිගෙන් ඈත් වූ පසු විරහ වේදනාවෙන් පෙළෙන ආකාරය ඉතා සංවේදීව නිරූපණය වේ. ඔහුගේ සිතේ ඇය පිළිබඳ මතකයන් නිරන්තරයෙන් හොල්මන් කරයි. මෙම අහිමි වීමේ වේදනාව සහ එයට මුහුණ දීමේදී ඔහුට ඇති වන මානසික පීඩාව මනෝවිද්‍යාත්මකව වැදගත් වේ.

"ඇයගේ දර්ශනය හා ආශ්‍රය හා ඇය ශ්‍රවණය ගැන තමාට ඇතිවන ආශාව තමා සම්බන්ධයෙන් ඇයට නැතැයි ඔහු සිතුවේය. දමයන්ති තුළ තමා කෙරෙහි ආදරයක් නැති වීම පමණක් නොව ඒ බව සිතීම පවා සුගත්ට වේදනාවකි, මේ සිතුවිලි විසින් නොයෙක් අන්දමින් උපදවන ලද වේදනා, අවසාන වශයෙන් එකතු වූයේ, ඇය කෙරෙහි උපන් තරහක් වෙත ය.''
පිටු අංක 39.
දම්මි වටහා ගත් සුගත්ගේ අප්‍රකාශිත ප්‍රේමය

ප්‍රේමය, විරහව මෙන්ම මානව සම්බන්ධතාවල ඇති සංකීර්ණත්වය මනාව හෙළිදරව් කරන අපුරු නිර්මාණයක් ලෙස ගොළු හදවත නව කතාව පෙන්වා දිය හැකි ය. එමෙන්ම මේ හරහා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතා විසින් චිත්‍රපටයට නවන ලද ගොළු හදවත චිත්‍රපටය විචාරකයින්ගේ මහත් ප්‍රසංශාවට ලක්වූ නිර්මාණයකි.
කුඩා කල ම දෙමාපියන් අහිමිවූ සුගත්ගේ ඒ අහිමිවීම ඔහුගේ ජිවිතයට දැනෙන ආකාරය ගොළු හදවත නව කතාවේ දී ඉතාමත් සංවේදී අයුරින් පාඨකයාට ඉස්මතු කර පෙන්වන අවස්ථා කිහිපයක්ම දකින්නට ලැබේ.
"ජේන් අයර් අම්මා තාත්තා නැති අනාථ ළමයෙක්. ඩේවිඩ් කොපර්ෆිල්ඩ් ගේත් අම්මා හිටියට ඉක්මනට මළා. මම ඒ වගේ පොත්වලට ආසයි." අසරණ සිනාවකින් යුක්තව සුගත් කිවේය."
පිටු අංක 59.
සුගත් සහ දම්මි වටා ගෙතුණු ගොළු හදවත කතාව ඔස්සේ සුගත්ගේ ප්‍රේමය ප්‍රකාශ නොකර හදවතේ සඟවා තබා ගැනීමත්, දම්මිගේ අප්‍රකාශිත හැඟීම් සමුහයත් මේ ඔස්සේ පාඨක සිතට ළං කරන්නේ හැඟීම් රැසක එළිදැක්වීමක් විලසිනි. මෙම කතාව සුගත්ගේ කතනයක් ලෙස ප්‍රථම පුරුෂ දෘෂ්ටිකෝණයෙන් පාඨක හමුවට ගෙන එන අතර සුගත්ගේ බිඳ වැටුණු සිහින සහ දම්මිගේ වියෝ වීමත් සමහ ඔහු අත්විඳින චිත්තවේගීය කැලඹීම මොනවට එළිදක්වා ඇත. යෞවනයේ ප්‍රථම ප්‍රේමයේ තිව්‍රතාවය හදවතේ ගැඹුරට කිඳා බැස ඉන් ජිවිතවලට කොතරම් බලපෑමක් කරනවාද යන්න පිළිබඳව ගොළු හදවත ඔස්සේ පාඨක හදට දනවන්නේ හදවත් රිදවමිනි; එමෙන්ම විරහ වේදනාව සුගත්ගේ ජිවිතයට සහ ඔහුගේ අනාගතයට බලපාන අන්දම ජීවමානව අප නෙතුමනයේ පෙනෙන්නක් මෙන් ගෙන එන්නේ චිත්තරුප මවමිනි. සුගත් මෙම කතාවේ ප්‍රධාන චරිතය සහ කතා රසය ගෙන යන චරිතයයි දම්මි සුගත්ගේ ආදරය දිනා ගන්නා ප්‍රධාන කාන්තා චරිතයයි. ඇය සමාජශීලී, විනෝදශීලිව ජීවිතය ගැන සිතන චරිතයක් වුවත්, සුගත්ගේ අප්‍රකාශිත ප්‍රේමය ඇය සම්පූර්ණයෙන් තේරුම් ගනී.
සුගත් තුළ උපන්: වෛරය, ද්වේශය සහ සංවේගය
කතාවේදී ඇය සුගත්ගේ හදවතේ ඇති හැඟීම තේරුම් ගෙන සිටිය ද, සුගත් සහ දම්මි යන දෙදෙනාම එකිනෙකාට ඇති හැඟීම් ප්‍රකාශ කිරීමට අපොහොසත් වෙති. සන්නිවේදනයක් නොමැති විට, පුද්ගලයින් අතර වැරදි වැටහීම් ඇති විය හැකි ය. සුගත්ගේ නිහඬ බව දම්මිට ඔහුව සම්පූර්ණයෙන් තේරුම් ගැනීමට බාධාවක් වන්නට ඇත. එසේම, සුගත්ගේ අනාරක්ෂිත බව නිසා ඔහුට තම හැඟීම් ප්‍රකාශ කිරීමට ධෛර්යයක් නොලැබුණි. මෙම සන්නිවේදනයේ අඩුව නිසා ඔවුන් දෙදෙනාගේ ම ආදරය අවසානයේදී බිඳී යයි. මෙය සැබෑ ජීවිතයේදී බොහෝ සම්බන්ධතාවල බිඳවැටීමට හේතු වන මනෝවිද්‍යාත්මක සාධකයකි.
කතාවට අනුව ධම්මි සුගත්ට වඩා වසරක් පමණ වැඩිමහල් දැරියකි. එමෙන්ම ඇය නිහාල් සමග ඇති ප්‍රේම සම්බන්ධතාව අනුලා, පේමවති වැනි ළඟම මිතුරියන්ගෙන් පවා සඟවාගෙන සිටියා ය. එය හෙළි වුණේ විභාගය අවසන් වී මුහුදු වෙරළේදී “මම ඔයා ගැන බලං ඉන්නද?" යැයි සුගත් ඇසු පසුවය. එසේම ඇය ඉගෙනුමට එතරම් දක්ෂ දැරියක් නොවුවාය. ජේෂ්ඨ විභාගය අවසන් වී ධම්මි වෙරළට පැමිණියේ තමා තුළ පැවතුණේ ආදර සම්බන්ධතාවක් නොව සොයුරු පෙමක් යැයි කියන අදහසිනි. නමුත් සුගත් පැමිණියේ ඇයට ආදරය පවසන අදහසිනි.
“අපි මැරෙන තුරු වුවත් මේ විදියට ආශ්‍රය කරමු සුගත්.”
“ඔව් .... විවහා වෙන්න බැරි වුනොත් අපි එහෙම මැරෙන තුරා වුවත් මේ විදියට ඉමු.ඔයා නොලැබුනොත් , මමත් ඒක තමා කරන්න අදහස් කරගෙන ඉන්නේ.”
“ සුගත් ... මාව ඔයාට අයිති වෙන්නේ නැහැ සුගත්.”
මුහුද දෙබෑ වී මහා හඬක් නගිමින් කන් අඩි පිපිරී ගියා සේ ඔහුට දැනුණි.
“ඔයා දකින්නත් කලින් ඉඳලා මම වෙන කෙනෙක්ට ආලය කරනවා. ”
“ද... ද... දම්මි, ඔයා මට කවදාවත්... ආලය කළේ නැද්ද?”
“ නෑ සුගත් මම කවදාවත් ඔයාට ආලය කළේ නැහැ.”
“එහෙනම් මේ අවුරුදු තුනක් තුළ ආශ්‍රය?”
“ඒක ආදරය. ඒක කරුණාව... මම ඔයාට සහෝදරයෙකුට වගේ ආදරය කළා.”
“ඔයා හිතුවේ නැද්ද දම්මි, මගේ තිබුණේ සහෝදර ප්‍රේමයක් නොවන බව ?”
“මොනවා උනත් දැන් ඔච්චරයි මට කියන්න තියෙන්නේ. සුගත්, මට වෛර කරන්නෙපා. මම ඔයා අමතක කරන්නේ නැහැ.” කියු ඇය යෙහෙළියන් වෙතට දිව ගියා ය.
'ඈ මොන තරම් කෘර ලෙස මාව ප්‍රතික්ෂේප කලාදා?'
ඔහු තුළ වෛරයක්, ද්වේශයක්, සංවේගයක් උපන්නේය.
සුගත්ගේ සිත අභ්‍යන්තරයේ ඇතිවන ඝට්ටනය
එමෙන්ම පරම්පරනුගතික අදහස් නිසා සහ සමාජ සම්මත ඔස්සේ ජිවත් වීමට උත්සහ ගැනීමත් සමග එකිනෙකාගේ ජිවිත කෙරෙහි ඇති කරන බලපෑම ඉතා සංවේදී අයුරින් ගොළු හදවතින් ප්‍රකාශනය කෙරේ. සුගත් කෙරෙහි යටි සිතේ ඇතිවන ප්‍රේමය ඉවතලා වෙනත් කෙනෙකු සමඟ විවාහ වීමට ධම්මි ගත් තීරණය ඇගේ සිතේ ඇති කැමැත්තට එරෙහිව ඇගේ දෙමව්පියන් විසින් ගත් තීරණ ඔස්සේ ඇතිවන පීඩනයත් සමග දෙමව්පියන්ගේ සමාජ අනුකූලතාව වෙනුවෙන් තම හැඟීම් මරා දමමින් තම සතුට කැප කරන සාම්ප්‍රදායික සමාජයක යථාර්ථ පිළිබිඹු කරයි. සුගත්ගේ ඒකපාර්ශවික ආදරය අහිමි වීම, ඔවුන් දෙදෙනා පිළිබඳ ඔහු දුටු සිහින බිඳවැටීම ඔස්සේ සුගත්ගේ සිතේ අභ්‍යන්තරයේ ඇතිවන ඝට්ටනය ගොළු හදවතින් සංවේදී ආකාරයෙන් පාඨක මනසට ලංකර ඇති ආකාරය ලගන්නාසුලු ය.
දම්මි සහ සුගත් හැදී වැඩුණු පරිසරය වෙනස් ය. දම්මි දෙමව්පියන් නෑදැයින් මැද හැදුණු වැඩුණු අතර සුගත් පුංචි අම්මා, බාප්පා සහ ආච්චි අම්මා ළඟ හැදුණු වැඩුණු දරුවෙකි. දම්මි අවස්ථාවල ඔරොත්තු දෙන ආකාරයේ චරිතයකි. සමහර අවස්ථාවලදී ඇය කපටි තරුණියක යැයි අපට සිතේ. මන්ද ඇය මසකට වරක් දෙකක් පමණ අමනාපයෙන් මෙන් සුගත් ව මග හරී. එසේ කළේ සුගත් සමග ඇසුර නිහාල්ට ද්‍රෝහී වීමක් ලෙස සිතු විටය. එමගින් සුගත්ට වන මානසික පීඩනය ගැන ඇය නොසිතුවා ය. ඇයට එවන් පීඩනයක් දැනුණේ නැත. මෙවැනි අවස්ථාවලදී ජයතිස්ස කිවේ ඇයට වෙනත් පෙම්වතෙක් ඇතැයි සිතෙන බවයි. නමුත් එය පිළිනොගන්නා තරමටම සුගත් ඇයට පෙම් කළේය. සුගත්ගේ වර්තමානය සහ අනාගතය තම බිඳ වැටුණු සිහින පිළිබඳ පසුතැවිල්ලෙන් සහ ඔහුගේ ඒකපාර්ෂවික ප්‍රේමයේ නොස්ටැල්ජියාවෙන් පිරී ඇත, ඔහු දම්මිව අහිමි වීමේ වේදනාව සහ ඔහු ඔවුන් වෙනුවෙන් ප්‍රර්ථනා කළ ජීවිතය සමඟ සටන් කරයි.
රාගයෙන් තොර ප්‍රේමය
කාලය යනු වෙනස් වන පුනරාවර්තන චේතනාවක් පමණක් බවත් එයට අතීතාවර්ජන වෙනස් කළ නොහැකි බවත් තාරුණ්‍යය ගෙවුන ද තම අතීතය අනාගතයටත් ගෙන එන බවත් සුගත්ගේ සිතුවිලි සහ හැඟීම් ඔස්සේ මොනවට පිළිඹිබු වන්නකි. සුගත්ගේ අතීතය පිළිබඳ පරාවර්තන පිළිබඳවත් මිනිස් ජීවිතයේ අස්ථිර ස්වභාවය මෙන්ම සිතුවිලි ජීවිතයට සිදු කරන බලපෑම අපුර්ව ලෙස ලිවීමෙන් ගොළු හදවත ඔස්සේ පාඨක හදවත කරුණාසේන ජයලත් ස්පර්ශ කර ඇත. මොවුන්ගේ සිතුවිලි රාගයෙන් තොර වූ අහිංසක සිතුවිලිවලින් යුක්ත විය. වර්තමානයේ ජාගර ලෙස ලිංගිකත්වය සොයා යන තාරුණ්‍යයට වඩා සුගත්ලාගේ අතීතය කොතරම් සුන්දරද? ඔවුන්ගේ යොවුන් ප්‍රේමයේ හැඟුම් බෙදාගැනීම කොතරම් අවිහිංසකව සිදුවන්නේද? නවකතාවෙන් සුගත් සහ දම්මි පාසල් වියේ සිට යොවුන් වියට පිවිසෙන ආකාරය පෙන්වයි. මෙම වයසේ දී ඇති වන මානසික වෙනස්කම්, ලිංගිකත්වය පිළිබඳව ඇති වන හැඟීම් සහ අන් අය සමඟ සබඳතා ගොඩනැගීමේ දී ඇති වන අභියෝගයන් මනාව පෙන්නුම් කරයි. එලෙසම එකල සමාජයේ ප්‍රේමය ප්‍රකාශ කිරීම හෝ විවෘතව කතා කිරීම එතරම් සුලභ නොවීය. මෙම සමාජීය සම්මත සුගත් බඳු සංවේදී චරිතයකට තමාගේ හැඟීම් ප්‍රකාශ කිරීමට බාධාවක් වන්නට ඇත.
අකුරු ග්‍රහණය කරගත් සෙලෝලයිඩ් පටය
'ගොළු හදවත' යනු සිංහල සාහිත්‍යයේ නව යොවුන් ප්‍රේමය ඉතා යථාර්ථවාදීව නිරූපණය කළ මුල්ම කෘතිවලින් එකකි. පාඨකයන්ට තමන් අත්විඳින ප්‍රේමයේ හැඟීම් ගොළු හදවත ඔස්සේ තමන්ගේ ම හැඟීමක් ආකරයෙන් විඳීමට ලැබේ. මෙහි දී සුගත්ගේ හැඟීම් සහ සිතුවිලි කතාවේ කේන්ද්‍රස්ථානය වන අතර මිනිස් හදවතේ සිරව ඇති අභ්‍යන්තරික වේදනාව සහ ආදරය ඉතා සමීපව පාඨකයින්ට අත්විඳීමට අවස්ථාව සලසා දෙයි. වර්තමානයට වඩා අතීතයේ දී එකිනෙකා අතර ඇතිවන ගැඹුරු බැඳීම්වල අපුර්වත්වය සුගත් වටා සිටින පිරිස ඔහුව තනි නොකරමින් ඔහුට ශක්තියක් වන ආකාරයෙන් මනාව පෙන්නුම් කරයි.

1968 දී ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් මෙම කෘතිය චිත්‍රපටයක් ලෙස අධ්‍යක්ෂණය කරන ලදී. මෙම නවකතාව 1962 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේ හොඳම නවකතාවට හිමි සම්මානය දිනා ගැනීමෙන් එහි සාහිත්‍යමය අගය තහවුරු විය. සුගත් ලෙස වික්‍රම බෝගොඩත්, දම්මි ලෙස අනුලා කරුණාතිලකත් රඟපෑ මෙම චිත්‍රපටය, නවකතාව මෙන්ම විශාල ජනප්‍රියත්වයක් ලබා ගත්තේය.
'මෙම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරන ලද්දේ අසහාය සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් විසිනි. 'ගොළු හදවත' චිත්‍රපටයේ සංගීතය විශේෂ වන්නේ ප්‍රධාන වශයෙන්ම එහි "ගීත ඇතුළත් නොකර සංගීතය" (Score/Instrumental Music) පමණක් භාවිත කර ඇති බැවිනි. එකල බොහෝ සිංහල චිත්‍රපටවල ගීත බහුලව භාවිත වූ යුගයක, කේමදාස මාස්ටර් විසින් 'ගොළු හදවත' සඳහා රචනා කරන ලද පසුබිම් සංගීතය, චිත්‍රපටයේ කතාවේ හැඟීම් සහ චරිතවල අභ්‍යන්තර ගැටුම් ඉස්මතු කිරීමට අතිශයින්ම උපකාරී විය. අප්‍රකාශිත ප්‍රේමය . විරහ වේදනාව, අපේක්ෂා භංගත්වය සහ යොවුන් වියේ හැඟීම් ඉතා සියුම් ලෙස ප්‍රේක්ෂකයාට සමීප කිරීමට කේමදාසයන්ගේ සංගීතය සමත් විය.
වචන නොමැතිව වුවද, සංගීතය මගින් චරිතවල මනෝභාවයන් මනාව නිරූපණය කරන ලදී. එලෙසම ගොළු හදවත' චිත්‍රපටයේ තේමා සංගීතය අතිශයින් ජනප්‍රිය වූ අතර, එය චිත්‍රපටයේ හැඟීම්බර ස්වභාවය මනාව කියා පායි. එය අදටත් ශ්‍රී ලාංකීය සිනමා සංගීතයේ විශිෂ්ටතම නිර්මාණයක් ලෙස සැලකේ.කේමදාස මාස්ටර් තම සංගීත නිර්මාණ තුළින් සංධ්වනි සංගීතය වැනි බටහිර සම්ප්‍රදායන්ගෙන් ආභාෂය ලබා ගනිමින්, එය සිංහල සිනමාවට ගැළපෙන පරිදි අද්විතීය ආකාරයකට ඉදිරිපත් කළේය.
සිනමාව මගහැරි ගොළු ගීත
''ගොළු හදවත' චිත්‍රපටයේ ගීත නොතිබුණ ද, නවකතාවේ කතා තේමාවට සමාන අර්ථයක් සහිත "නුහුරු නුපුරුදු රහස පිළිබඳ" සහ "ආදරෙයි මම ආදරෙයි" යනාදි ගීත පසුව ජනප්‍රිය විය. කෙසේ වෙතත්, චිත්‍රපටය තුළ භාවිතා වූයේ සම්පූර්ණයෙන්ම කේමදාසයන්ගේ වාද්‍ය සංගීතයයි.ප්‍රේක්ෂකයන්ට ගීතවලින් තොරව වුවද, නිර්මාණයට ගැබ් කරන සංගීතය පාදක කොටගෙන එය කතාවක් හා චරිතවලට හැඟීම් එක් කිරීමට දායක විය හැකි ආකාරය අත්විඳීමට අවස්ථාව ලබා දුන්නේ ය.
නුහුරු නුපුරුදු රහස පිළිබඳ
මිහිර ආදරයයි කියා…
පවුරු බැදගෙන සිතක වැජඹුණු
රසවතී නෑ කොයි ගියා…
ගොළු හදවත' කෘතිය යනු හුදෙක් ප්‍රේම කතාවකට වඩා වැඩි යමක් පෙන්වා දෙන්නකි. එය යොවුන් මනසේ සංකීර්ණත්වය, සමාජයේ බලපෑම සහ නොපැවසූ හැඟීම්වල ඇති ගැඹුර ඉතා සංවේදී ලෙස විදහා දක්වයි. මානව මනසේ සංකීර්ණතා, ප්‍රකාශ නොකළ හැඟීම්වල බලපෑම සහ සන්නිවේදනයේ වැදගත්කම ගැඹුරින් විශ්ලේෂණය කරන මනෝවිද්‍යාත්මක කෘතියකි. එය පාඨකයාට තමන්ගේම හැඟීම් සහ සම්බන්ධතා පිළිබඳව නැවත සිතා බැලීමට පොලඹවයි.එම නිසාම, අදටත් එය ශ්‍රී ලාංකීය සාහිත්‍යයේ නොමැකෙන සලකුණක් තබා තිබේ.
08/01/2025
No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........