‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Saturday, July 11, 2026

ඉන්දියාවේ මුද්‍රණ කලාවේ ආරම්භය




ඉන්දියාවට moveable-type මුද්‍රණ යන්ත්‍රය පැමිණියේ අහම්බෙනි. මිෂනාරි කටයුතු ප්‍රචලිත කිරීම සඳහා මුද්‍රණ කලාවේ ඇති වටිනාකම ජේසුයිට් නිකායිකයන් මැනවින් දැන සිටියහ. උදාහරණයක් ලෙස, ශාන්ත ෆ්‍රැන්සිස් සේවියර් පියතුමන් 1549 දී ලියූ ලිපියකින් ක්‍රිස්තියානි මිෂනාරි සාහිත්‍යය ජපන් භාෂාවෙන් මුද්‍රණය කරන ලෙස ඉල්ලා තිබුණි. ගෝවේදී ද දේශීය භාෂාවලින් මුද්‍රණය කළ මිෂනාරි සාහිත්‍යයේ වටිනාකම පිළිබඳ අවබෝධයක් වර්ධනය වෙමින් පැවතුණි. කෙසේ වෙතත්, බලධාරීන් මුද්‍රණ යන්ත්‍රයක් සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. පෘතුගීසීන් විසින් 1510 දී  එනම් අඩ සියවසකට පමණ පෙර ගෝව යටත් කරගෙන තිබූ අතර, ඔවුන්ගේ දේශපාලන බලය ක්‍රිස්තියානි ආගම පැතිරවීමට ප්‍රමාණවත් යැයි සැලකිනි. ඒ අනුව, අවසානයේ ගෝවට පැමිණි මුද්‍රණ යන්ත්‍රය භාවිතා කළේ ඉන්දියාවේ නොව ඉතියෝපියාවේ මිෂනාරි කටයුතු සඳහාය.

ඉතියෝපියාවේ අධිරාජ්‍යයා විසින් පෘතුගාලයේ රජුගෙන් පොත්පත් පිළියෙල කිරීමෙහි දක්ෂ ශිල්පීන්ව  ඉතියෝපියාවට එවන ලෙස නැවත නැවතත් ඉල්ලීම් කර තිබුණි (Priolkar, 1958, පිටුව 3). 1556 දී එවකට පෘතුගාලයේ රජු වූ දොම් ජෝඕ (තුන්වන ජෝන්) විසින් මෙම ඉල්ලීම අනුමත කරන ලදී. 1556 අප්‍රේල් 30 දිනැති ජේසුයිට් පියතුමෙකු වන ෆාදර් ගැස්පාර් කලසාගේ ලිපියකට අනුව, ජේසුයිට් මිෂනාරිවරුන්ගේ පළමු කණ්ඩායම සහ මුද්‍රණ යන්ත්‍රයක් රැගත් නෞකාවක් 1556 මාර්තු 29 දින පෘතුගාලයේ ලිස්බන් නුවරින් ඉතියෝපියාව බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ඉතියෝපියාවේ කුලපතිවරයා වූ ෆාදර් ජෝන් නුනෙස් විසිනි. ඔවුන් අතර මුද්‍රණ කලාව පිළිබඳ දැනුමක් තිබූ ස්පාඤ්ඤ ජේසුයිට් සහෝදරයෙකු වන ජෝඕ ද බුස්ටාමෙන්ටේ ද වූ අතර, ඔහුට උපකාර කිරීම සඳහා පෘතුගීසි රජු විසින් "හොඳ චරිතයක් ඇති, දක්ෂ සහ පළපුරුදු ඉන්දීය මුද්‍රණ ශිල්පියෙකු" ද පත් කර තිබුණි (Priolkar, 1958, පිටුව 4).

එකල සූවස් ඇළ නොතිබූ බැවින්, පෘතුගාලයේ සිට ඉතියෝපියාව බලා යාත්‍රා කළ නැව්වල සාමාන්‍ය ගමන් මාර්ගය වූයේ කේප් ඔෆ් ගුඩ් හෝප් හරහා ගෝවට පැමිණ, එතැනින් ඉතියෝපියාවට යාමයි. මුද්‍රණ යන්ත්‍රය රැගත් නෞකාව 1556 සැප්තැම්බර් 6 වන දින ගෝවට ළඟා විය (Priolkar, 1958, පිටුව 2, 6-7). 1557 ජනවාරි මාසයේදී, කුලපතිවරයා ඉතියෝපියාව බලා පිටත්ව යාමට සූදානම් වෙද්දී, ගෝවේ ආණ්ඩුකාරවරයා මිෂනාරිවරුන්ගේ ගමන ප්‍රමාද කරන ලෙස ඉල්ලා සිටියේය. එයට හේතුව බොහෝ විට මිෂනාරිවරුන් සහ ඉතියෝපියාවේ අධිරාජ්‍යයා අතර පැවති සබඳතා එම කාලයේ තරමක් පලුදු වී තිබීම විය හැකිය (Priolkar, 1958, පිටුව 5). කුලපතිවරයා ඊට එකඟ විය.  අවාසනාවකට මෙන්, ඔහු 1562 දෙසැම්බර් 22 වන දින මිය ගිය අතර, "ඔහු හෝ ඔහු රැගෙන ගිය මුද්‍රණ යන්ත්‍රය කිසි දිනෙක ගෝවෙන් පිටව ගියේ නැත" (Priolkar, 1958, පිටුව 5).

ඉන්දියාවේ මුද්‍රණය කළ පළමු පොත

ගෝවට පැමිණීමෙන් පසු මුද්‍රණ යන්ත්‍රය ස්ථාපනය කර කෙටි කලකින් එයින් මුද්‍රණ කටයුතු සිදු කිරීම ආරම්භ කරන ලදි. 1556 ඔක්තෝබර් 19 වන දින "තර්ක ශාස්ත්‍රය සහ දර්ශනය" පිළිබඳ නිබන්ධන මුද්‍රණය කරන ලදී. මේවා බොහෝ විට පොත් ආකාරයෙන් නොව, පල්ලිවල දොරටුවල ඇලවීම සඳහා වූ  කොළ ආකාරයෙන් තිබෙන්නට ඇත. 1557 දී ශාන්ත සේවියර් පියතුමන්ගේ ඩොට්‍රිනා ක්‍රිස්ටා (Doutrina Christa)පොත මුද්‍රණය කරන ලද අතර - මෙය ඉන්දියාවේ මුද්‍රණය කළ පළමු පොත ලෙස සැලකේ. මෙම මුද්‍රිත පොතෙහි පිටපත් කිසිවක් ලෝකයේ කොතැනකවත් නොමැති වුවද, එය සැබවින්ම මුද්‍රණය වූ බවට සමකාලීන වාර්තා මගින් නිශ්චිත සාක්ෂි සපයයි.

ඉන්දියානු “ප්‍රෝටෝටයිපොග්‍රැෆිකස්” (Prototypographicus)

ජෝඕ ද බුස්ටාමෙන්ටේ ඉන්දියාවේ මුද්‍රණ කලාවේ පියා ලෙස සැලකේ. ඔහු ගැන වැඩි විස්තර නොදනී. ඔහු උපත ලැබුවේ 1536 පමණ ස්පාඤ්ඤයේ වැලෙන්සියාවේදීය. ඔහු 1556 දී ජේසුයිට් නිකායට බැඳුණි. 1563 දී ඔහුගේ නම ජෝඕ රොඩ්‍රිගස් ලෙස වෙනස් වූ අතර 1564 දී ඔහු පැවිදි විය. ඔහු 1588 අගෝස්තු මාසයේදී මිය ගියේය (Priolkar, 1958, පිටුව 9).

මුද්‍රණ යන්ත්‍රය ස්ථාපනය කිරීමට උදව් කිරීමට පෘතුගීසි රජු විසින් පත් කරන ලද, "දක්ෂ සහ පළපුරුදු" එම ඉන්දීය මුද්‍රණ ශිල්පියාගේ නම හෝ කිසිදු තොරතුරක් නොදනී. වාර්තා තබා ගැනීමේදී ඉතා සූක්ෂම වන ජේසුයිට් ලේඛකයන් කිසි විටෙකත් ඔහුගේ නම සඳහන් කර නැත.

ඉන්දීය අක්ෂර මාලාවක පළමු අක්ෂර (Types)

මුද්‍රණ අක්ෂර සකස් කරන ලද පළමු ඉන්දීය අක්ෂර මාලාව දෙමළ භාෂාවයි (Priolkar, 1958, පිටුව 11).

මේ සඳහා ගෞරවය හිමිවන්නේ බුස්ටාමෙන්ටේ සමඟ ගෝවට පැමිණි දක්ෂ කම්මල්කරුවෙකු සහ ඔරලෝසු සාදන්නෙකු වූ ජෝඕ ගොන්සාල්වෙස්ටය (Priolkar, 1958, පිටුව 9). සමකාලීන මූලාශ්‍රවල සඳහන් වන්නේ 1576 දී පෙරු ලුයිස් නමැති "බ්‍රාහ්මණ පරිවර්තකයෙකු" "දෙමළ මුද්‍රණය සංවිධානය කිරීම සඳහා" ගෝවට යැවූ බවත්, බොහෝ විට ඔහු දෙමළ අක්ෂර සම්බන්ධයෙන් ගොන්සාල්වෙස්ට උපකාර කිරීමට පැමිණි බවත්ය (Priolkar, 1958, පිටුව 11).

ගොන්සාල්වෙස් 1577 දී ගෝවේදී දෙමළ අක්ෂර සකස් කළේය. තවත් ජේසුයිට්වරයෙකු වන ජෝඕ ද ෆාරියා ඔහුගෙන් එම ශිල්පය ඉගෙන ගෙන, ක්විලෝන්හිදී (වර්තමාන කේරළයේ කොල්ලම්) එම අක්ෂරවලම වැඩිදියුණු කළ අක්ෂර සකස් කළේය.

1578 දී, ගොන්සාල්වෙස් සහ ෆාරියා විසින් සකස් කරන ලද අක්ෂර භාවිතයෙන් ක්විලෝන්හිදී ඩොට්‍රිනා ක්‍රිස්ටා පොතේ දෙමළ පරිවර්තනයක් මුද්‍රණය කරන ලදී. එම පොතේ පිටපතක සඳහන් වන පරිදි, මුල් පේළි අට ගෝවේදී සකස් කළ අක්ෂර භාවිතා කර මුද්‍රණය කර ඇති අතර, ඉතිරි පේළි ක්විලෝන්හිදී සකස් කළ අක්ෂර භාවිතා කර මුද්‍රණය කර ඇත. මෙය ඉන්දීය භාෂාවකින් මුද්‍රණය කළ පළමු පොත බවට පත් විය.

ඉන් පසු සියවසක පමණ කාලයක් පුරා ජේසුයිට්වරුන් මෙම ක්ෂේත්‍රයේ එකම ක්‍රියාකාරීන් විය. 18 වන සියවසේදී දකුණු ඉන්දියාවේ ප්‍රොතෙස්තන්ත මිෂනාරිවරුන් විසින් සහ 19 වන සියවසේදී බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනය විසින් නූතන මුද්‍රණ කලාව තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී.

මුලාශ්‍ර
Eaten by fish by Rohini  Chowdhury

පරිවර්තනය නිලක්ෂි බණ්ඩාර.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........