ඉන්දියාවේ නිපදවූ පළමු චිත්‍රපටයේ ඉතිහාසය යනු විස්මය, අවදානම, කැපවීම සහ ඉන්දියාව රිදී තිරයට ගෙන ආ යුතු යැයි දැඩිව විශ්වාස කළ එක් මිනිසෙකුගේ අසමසම සිහිනයක කතාවකි. ඉන්දියාව තමන්ගේම චිත්‍රපට නිෂ්පාදනය කිරීමට පෙර, විදේශීය ආභාෂය ලබා ගත්තේය.
1870 අප්‍රේල් 30 වන දින උපත ලැබූ දුන්දි රාජ් ගෝවින්ද් ෆාල්කේ, හෙවත් දාදාසාහෙබ් ෆාල්කේ, 'ඉන්දියානු සිනමාවේ පියා' ලෙස සැලකේ. ඔහු චිත්‍රපට නිර්මාණකරුවෙකු වීමට පෙර මුද්‍රණ ශිල්පියෙකු, ඡායාරූප ශිල්පියෙකු, ඉන්ද්‍රජාලිකයෙකු සහ කලාකරුවෙකු ලෙස විවිධ වෘත්තීන්හි නිරත විය. කෙසේ වෙතත්, 1911 අප්‍රේල් මස එක් සන්ධ්‍යාවක ඔහු තුළ ඇති වූ සිනමා උනන්දුව වෙන කිසිදු වෘත්තියකට සමාන කළ නොහැකි විය.
ද ලයිෆ් ඔෆ් ක්‍රයිස්ට් (The Life of Christ - 1902) නමැති ප්‍රංශ චිත්‍රපටය දිනකට දෙවරක් නැරඹීමෙන් පසු ෆාල්කේ චිත්‍රපට නිර්මාණය කිරීමට පෙලඹුණි. ඔහු තම රැකියාවෙන් ඉවත් වී ලන්ඩනයට ගොස් චිත්‍රපට නිෂ්පාදනයේ තාක්ෂණික කරුණු ඉගෙන ගත්තේය. ඉන්දියාවට පැමිණි පසු, තම මූලධන අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ඔහු සිය රක්ෂණ ඔප්පු උකස් තැබූ අතර ඔහුගේ බිරිඳ සිය ආභරණ පවා විකුණුවාය. ෆාල්කේ කළ කාර්යය අතිශය අසාමාන්‍ය වූ අතර ඔහු තිර රචනය, අධ්‍යක්ෂණය, නිෂ්පාදනය, වේශ නිරූපණය, සංස්කරණය සහ චිත්‍රපට සැකසීම යන සියලු කාර්යයන් සිදු කරන ලදී, චිත්‍රපටයේ කැමරාකරණය ( Trymbak B. Telang ) ට්‍රයිම්බක් බී. විසින් සිදු කළේය.
ඔහු තම චිත්‍රපටය සඳහා තෝරා ගනු ලැබුවේ ඉන්දියානු පුරාවෘත්තයක එන සත්‍යවාදී රජෙකු වන 'රාජා හරිශ්චන්ද්‍ර' ගේ කතාවයි. දාදාසාහෙබ් ෆාල්කේ ප්‍රධාන චරිතය සඳහා මරාති වේදිකා නළුවෙකු වූ දත්තාත්‍රය දමෝදර් දබ්කේ තෝරා ගත්තේය. නමුත් හරිශ්චන්ද්‍රගේ බිරිඳ වන 'තාරාමතී' චරිතය නිරූපණය කිරීමට කාන්තාවන් සොයා ගැනීම අපහසු විය. මන්ද එකල කාන්තාවන් රඟපෑම අසභ්‍ය වෘත්තියක් ලෙස සැලකුණු බැවිනි. කාන්තාවන් සොයා ගැනීමට නොහැකි වූ තැන, ෆාල්කේ හට එම චරිත සඳහා පිරිමින් යොදා ගැනීමට සිදු විය. හරිශ්චන්ද්‍රගේ බිරිඳගේ චරිතය සඳහා අවන්හලක කුක් කෙනෙකු ලෙස සේවය කළ අන්නා සලුන්කේ රඟපෑවේය. ඔහුගේ පුත් භාල්චන්ද්‍ර හරිශ්චන්ද්‍රගේ පුත්‍රයා ලෙස රඟපෑවේය. මුම්බායිහි දාදාර් හි චිත්‍රපට ශාලාවක් පිහිටුවා ගත් අතර, එළිමහන් දර්ශන පූනේ අසල ගම්මානයක රූගත කරන ලදී.
මෙම චිත්‍රපටය පළමුව 1913 අප්‍රේල් 21 වන දින බොම්බායේ ඔලිම්පියා රඟහලේදී ප්‍රදර්ශනය කළ අතර, 1913 මැයි 3 වන දින ගිර්ගාඕ හි කොරොනේෂන් සිනමා ශාලාවේදී ප්‍රදර්ශනය ආරම්භ විය. මෙය වාණිජමය වශයෙන් විශාල සාර්ථකත්වයක් අත්කර ගත් අතර ඉන්දීය චිත්‍රපට කර්මාන්තයේ පදනම බවට පත් විය. කෙසේ වෙතත්,මෙම ආරම්භය පහසු නොවීය. ප්‍රචාරණය කළද, පළමු දර්ශනය සඳහා ලැබුණේ ඉතා මන්දගාමී ප්‍රතිචාරයක් පමණි. ෆාල්කේ තම චිත්‍රපටය අත්හැරීමට හෝ ප්‍රවේශ පත්‍ර මිල අඩු කිරීමට අකමැති විය. ඉන්පසු ඔහු ගුජරාටි භාෂාවෙන් දැන්වීමක් පළ කරමින්, සැතපුම් දෙකක් දිගැති ඡායාරූප දර්ශනයක් නැරඹීමට ආරාධනා කළේය. ඔහු නගරයේ මංසන්ධිවලදී නළුවන් ලවා චිත්‍රපටයේ සමහර දර්ශන රඟපෑමට ද සැලැස්වීය. මෙම උපක්‍රමය සාර්ථක වූ අතර ප්‍රවේශ පත්‍ර අලෙවිය ඉහළ ගියේය.
'රාජා හරිශ්චන්ද්‍ර' චිත්‍රපටය දින දොළහක් පුරා ප්‍රේක්ෂකයන්ගෙන් පිරී ඉතිරී ගිය අතර පසුව පූනේ, කොළඹ, ලන්ඩන් සහ රංගූන් යන නගරවලද තිරගත විය.
ෆාල්කේ විසින් තිර රචනය, නිෂ්පාදනය, අධ්‍යක්ෂණය සහ බෙදාහැරීම සිදු කළ මෙම නිහඬ චිත්‍රපටය වාණිජමය වශයෙන් සහ විචාරක අතින් ඉමහත් ජයග්‍රහණයක් ලබා ගත්තේය. දාදාසාහෙබ් ෆාල්කේගේ 'රාජා හරිශ්චන්ද්‍ර' ඉන්දියාවේ පළමු වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සැලකේ. වසර 110කට පසු අද පවතින දැවැන්ත ඉන්දියානු සිනමාව ආරම්භ වූයේ එකම එක මිනිසෙකුගේ සිහිනයකින් සහ රිදී තිරය මත වැටුණු ආලෝක ධාරාවකිනි.
මුලාශ්‍ර jagranjosh වෙබ් අඩවිය.
පරිවර්තනය
නිලක්ෂි බණ්ඩාර.

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........