සමහර ඉපැරණි නිර්මාණ දෙස බලා සිටින විට සිතෙන්නේ ඒවා මිනිස් දෑතින් නොව, දෙවියන්ගේ අඟිලි තුඩුවලින් නිමැවුණු ඒවා කියාය. එවැනි අසිරිමත් හැඟීමකින් මනස වෙළාගන්නා, ශතවර්ෂ ගණනාවක ඉතිහාසයක අභිරහස් සහ භක්තිය කැටි කරගත් මිනිස් ඉංජිනේරු විද්‍යාවේ සහ ආධ්‍යාත්මිකත්වයේ මහා කිරුළක් බඳු තැනක් වේ නම් ඒ කාම්බෝජයේ සීම් රීප් (Siem Reap) හී පිහිටි ඇන්කෝර් වාට් (Angkor Wat) මහා දේවාල සංකීර්ණයයි. ඛමර් (Khmer) වාස්තු විද්‍යාවේ අග්‍රගන්‍ය නිර්මාණය ලෙස සැලකෙන මෙම ඓතිහාසික පුදබිම, හුදෙක් ගොඩනැඟිල්ලක් පමණක් නොව, මිනිස් ආත්මයේ නොමැකෙන ශ්‍රද්ධාව ගලින් සිතුවම් කළ සදාකාලික කාව්‍යයකි.
ඇන්කෝර් වාට් දේවාලය සැලසුම් කර ඇත්තේ හින්දු විශ්ව විද්‍යාවට අනුව දෙවියන්ගේ වාසභූමිය මෙන්ම විශ්වයේ කේන්ද්‍රය ලෙස සැලකෙන මහා මේරු පර්වතය) භෞතිකව ප්‍රතිනිර්මාණය කරමිනි. මෙම සැලසුම හඳුන්වන්නේ "දේව-පර්වතය" යන සංකල්පයෙනි. මුළු මහා ප්‍රාසාද සංකීර්ණය වටා අඩි 650ක් පළලැති දැවැන්ත දිය අගලක් පිහිටා ඇති අතර, එයින් සංකේතවත් කරන්නේ මේරු පර්වතය වටා ඇති විශ්ව මහා සාගරයන්ය. මෙහි මධ්‍යම අභයභූමියේ ඇති නෙළුම් පොහොට්ටුවක හැඩය ගත් ප්‍රධාන කුළුණු පහ මගින් මේරු පර්වතයේ ශිඛර පහ නිරූපණය කෙරේ.
නැගෙනහිර ගැලරිය දිගේ ඇවිද යන ඕනෑම අයෙකුගේ නෙත් නතර වන්නේ ලොව සුප්‍රසිද්ධම බිතු කැටයමක් වෙතය. ඒ, අමෘතය ලබා ගැනීම සඳහා වාසුකී ) නාග රාජයාව යොදා ගනිමින් අසුරයන් 88 දෙනෙකු සහ දේවතාවන් 92 දෙනෙකු එක්ව සිදු කරන "කිරි මුහුද කැළඹීමේ" අසිරිමත් පුවතයි.
එපමණක් නොව, ඇන්කෝර් වාට්හි බිත්ති පුරා දේවතාවියන් සහ දිව්‍ය අප්සරාවන් 2000කට ආසන්න පිරිසකගේ සියුම් කැටයම් දැකගත හැකිය. වඩාත්ම මවිත කරවන කරුණ නම්, මේ සෑම කැටයමකම සිටින රූප එකිනෙකට වෙනස් කොණ්ඩා මෝස්තර, ආභරණ සහ මුහුණේ ඉරියව්වලින් සමන්විත වීමයි. මෙම ගෘහ නිර්මාණ ශිල්පීන් සතු වූ නක්ෂත්‍ර දැනුමද මවිතකරය. සෑම වසරකම වසන්ත විෂුවය මාර්තු 21 දිනට ආසන්නව) සිදුවන අවස්ථාවේදී, බටහිර පියගැටපෙළ මත සිට බලන්නෙකුට සූර්යයා හරියටම ප්‍රධාන නෙළුම් කුළුණ මුදුනින් පායා එන අපූර්ව දර්ශනය දැකගත හැකිය. මෙය දොළොස්වන සියවසේ මුල් භාගයේදී II වන සූර්යවර්මන්රජු විසින් ඉදිකරන ලදී. එලෙසම විෂ්ණු දෙවියන් වෙනුවෙන් කැප කරන ලද රාජ්‍ය දේවාලය සහ දේශපාලන කේන්ද්‍රස්ථානය විය. 12 වන සියවසේ අගභාගයේදී VII වන ජයවර්මන් රජු යටතේ මහයාන බුදුදහම වෙත පරිවර්තනය විය.
කාලයාගේ ඇවෑමෙන් බොහෝ පැරණි දේවාල වනාන්තරයට බිලිවී අභාවයට ගියද, ඇන්කෝර් වාට් කිසිදිනෙක පාළුවට හැරියේ නැත. එහි පැමිණි බෞද්ධ භික්ෂූන් වහන්සේලා මෙම ස්ථානය සුරක්ෂිත කරමින් තම ආගමික වතාවත්වලට අනුකූලව හැඩගස්වා ගත් නිසා අදටත් එය ලොව විස්මිතම තත්ත්වයකින් ආරක්ෂා වී පවතී. ඇන්කෝර් වාට් යනු හුදෙක් ගල් කුට්ටි මත කළ කැටයම් සමුදායක් නොව, මිනිස් ශ්‍රමයේ, විද්‍යාවේ සහ ආගමික සහජීවනයේ නොමියෙන ස්මාරකයකි. එහි පියගැටපෙළක් පාසා ඇසෙන්නේ, මිනිසා මෙලොව හැරගියද ඔවුන් සොබාදහම සහ දේවත්වය සමඟ කළ ආත්මීය ගනුදෙනුව කිසිදා මැකී නොයන බව කියාපාන නිහඬ ස්වරයයි.
මුලාශ්‍ර
UNESCO World Heritage Centre
APSARA National Authority
The Civilization of Angkor

No comments:
Post a Comment
ඔබෙ දිය පොදත් එක් කරන්න.........