‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, August 25, 2026

තනුවකට එහා ගිය යථාර්ථය




ආදරය යනු හුදෙක් දෙදෙනෙකු අතර ඇතිවන බාහිර ආකර්ෂණයක්මද? නැතහොත් එය එක් ආත්මයක් තවත් නොපෙනෙන අභ්‍යන්තර ආත්මයක් සොයා යන අසිරිමත් ගමනක්ද?

1990 දශකයේ ආරම්භයේදී සිනමාහල් වෙත ඇදී ආ ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට සාජන් යනු හුදෙක් මිහිරි ගීත පෙළකින් සහ සුන්දර ආදර කතාවකින් හැඩවුණු තවත් එක් බොලිවුඩ් සිනමාපටයක් පමණක් විය හැක. නමුත්, කාලයේ වැලිතලාවෙන් වැසී නොගිය ඒ අතිශය ජනප්‍රිය තනු අතරින් ඔබ මොහොතකට එම චරිතවල ගැඹුරු අභ්‍යන්තරයට එබී බැලුවහොත්, ඔබට පෙනෙනුයේ වෙනස්ම කතාවකි. එනම්, මිනිස් මනසේ ඇති රිදවීම්, හීනමානය, ආත්ම-පරිත්‍යාගය සහ ආදරයේ සැබෑ ස්වරූපය පිළිබඳව කෙරෙන අතිශය දුර්ලභ මනෝවිද්‍යාත්මක විග්‍රහයකි. 1991 අගෝස්තු මාසයේදී ලෝරන්ස් ද අල්මේදා (Lawrence D’Souza) ගේ සාජන් චිත්‍රපටය තිරගත වීමත් සමඟ එය ක්ෂණිකවම අති සාර්ථක වාර්තා තැබූ සිනමා පටයක් බවට පත් විය. නදීම්-ශ්‍රාවන්ගේ අපුර්ව සංගීතයෙන් පෝෂණය වූ මෙම චිත්‍රපටය සංජේ දත්, සල්මන් ඛාන් සහ මධුරී ඩික්සිත් යන නළු නිළියන්ගේ රංගන හැකියාවන් තවදුරටත් තහවුරු කළේය.

කෙසේ වෙතත්, එහි ජනප්‍රිය ගීත සහ 90 දශකයේ සාම්ප්‍රදායික ආදර කතාවට යටින්, මිනිස් මනෝවිද්‍යාව පිළිබඳ ඉතා සංකීර්ණ මානයක් සැඟවී තිබේ. එනම්, අසම්පූර්ණත්වයේ මානසික සංකීර්ණතා , මානසික ආරක්ෂණ යාන්ත්‍රණයන් පරප්‍රේරක බැඳීම් සහ නිහඬ කැපකිරීමේ වේදනාව පිළිබඳව කරන ලද ගැඹුරු විග්‍රහයකි.

මූලිකව සාජන් චිත්‍රපටය ගොඩනැගී ඇත්තේ එඩ්මන්ඩ් රොස්ටෑන්ඩ්ගේ ප්‍රකට Cyrano de Bergerac නාට්‍යයේ එන චිත්තවේගීය රාමුව සාහිත්‍යයත් මිනිස් ජිවිතයේ බැඳීම් සහ හැඟීම්  මුසු කරමිනි.

ශාරීරික ආබාධයකින් පෙළෙන අනාථ දරුවෙකු ලෙස කුඩා කල ලැබූ කටුක අත්දැකීම් නිසා අමන් තුළ දැඩි  හීනමානයක් ගොඩනැගේ. ඔහු තමා දෙස බලන්නේ සමාජයට අසම්පූර්ණ සහ සාම්ප්‍රදායික ආදරයකට නුසුදුසු අයෙකු ලෙසය. එය මනෝ විද්‍යාවේදී ඇඩ්ලරියානු හීනමානය ලෙස හඳුන්වයි. මෙම මානසික හුදකලා බවින් මිදීම සඳහා, අමන් ඉතා ප්‍රබල මානසික ආරක්ෂණ ක්‍රමවේදයක් භාවිතා  කරයි. එනම් සම්ප්‍රේරණය යි.එහි ප්‍රතිපලයක් ලෙස සාගර් නම් කවියා උපදියි. තමන්ගේ සැබෑ හැඟීම් සෘජුව ප්‍රකාශ කිරීමට නොහැකි වන අමන්, තමාගේ යටපත් කළ ආදරණීය හැඟීම් සාගර් යන අන්වර්ථ නාමය ඔස්සේ කවි බවට පරිවර්තනය කරයි. සාගර් හරහා අමන් තමාගේ ශාරීරික බාධාවලින් මිදෙයි. ඔහුගේ පන්හිඳ, අනුකම්පාවට හෝ ප්‍රතික්ෂේප වීමට බියෙන් තොරව ඔහුගේ ප්‍රේමය ප්‍රකාශ කළ හැකි ආරක්ෂිතම ස්ථානයක් බවට පත්වේ.

අකාෂ්ගේ පවුල විසින් තමන්ව හදාගැනීම නිසා අමන්ගේ සිත තුළ ඔවුන් කෙරෙහි මහත් වූ ණයගැතිභාවයක් පවතී. අකාෂ් ද පූජාට පෙම් කරන බව දැනගත් විට, අමන්ගේ  හැඟීම වන්නේ හුදෙක් පරිත්‍යාගයක් කිරීම පමණක් නොවේ.  තමන්ගේ සැබෑ අනන්‍යතාවය සැඟවීම ඔස්සේ එම ණය ගෙවා දැමීමේ දැඩි උත්සාහයක ඔහු නිරත වීමයි.

බාහිරින් බලන විට අකාෂ් යනු සෙල්ලක්කාර, චාටු බස් කියන, ජීවිතයේ බරපතලකමක් නැති තරුණයෙකි. කෙසේ වෙතත්, ඔහුගේ චරිත විකාශනය තුළින් ගැඹුරු මානසික පරිණාමයක් පෙන්නුම් කරයි. ආකාශ් තමාගේ ශක්තිමත් බවත් සැහැල්ලු චරිතයත් භාවිතා කරන්නේ තමා තුළ ඇති ගැඹුරු සංවේදීතාවයන් හෝ වගකීම් වසා ගැනීමටය. අමන් සහ අකාෂ් අතර ඇත්තේ  කොන්දේසි විරහිත සහෝදර බැඳීමකි. සාමාන්‍ය සිනමා කෘතිවල මෙන් නොව, අකාෂ් සහ අමන් අතර ප්‍රේමය නිසා ඊර්ෂ්‍යාවක් ඇති නොවේ. ඔහු අමන් දකින්නේ තමාගේ නියම මාර්ගෝපදේශකයා ලෙසය.

 පූජා ආදරය කරන්නේ අමන්ගේ කවිවලට බව ආකාශ් දැනගත් විට, ඔහු තුළ මහත් මානසික වෙනසක් සිදුවේ. බොරුවක් මත ජීවත් වීම ප්‍රතික්ෂේප කරන ඔහු, සහෝදර ප්‍රේමය සහ සත්‍යවාදී බව වෙනුවෙන් තමාගේ ආත්මාර්ථකාමී ආශාවන් කැප කරයි.

පූජාගේ චරිතය හරහා සපියෝසෙක්ෂුවැලිටි  හෙවත් පුද්ගලයෙකුගේ බාහිර පෙනුමට වඩා ඔහුගේ බුද්ධියට, භාෂාවට සහ ආත්මයට ආකර්ෂණය වීමේ මානසිකත්වය නිරූපණය වේ.  කවියා දැකීමටත් පෙර, පූජා පෙම් කරන්නේ සාගර්ගේ ලියුම් සහ කවිවල ඇති චිත්තවේගීය ගැඹුරටයි.ආකාශ් තමන් සාගර් ලෙස පෙනී සිටින විට, පූජාට යම් නුහුරු බවක් දැනේ. ලියුම්වල සිටි සංවේදී කවියා සහ ඇය ඉදිරියේ සිටින සැහැල්ලු තරුණයා අතර ඇති පරස්පරතාව ඇයට සහජයෙන්ම දැනේ.   සත්‍යය එළිදරව් වූ විට, පූජාගේ තීරණයෙන් ඔප්පු වන්නේ ඇගේ ආදරය කිසිවිටෙකත් මතුපිටින් පෙනෙන දෙයක් නොවන බවයි. අමන්ව ඇය එකහෙළා පිළිගැනීම මගින්, අමන් තුළ තිබූ ජීවිත කාලය පුරා පැවති ප්‍රතික්ෂේප වීමේ බිය නැති වී යයි.

සාජන් සිනමා පටය සදාකාලික නිර්මාණයක් ලෙස පවතින්නේ එය විශ්වීය මිනිස් දුබලතාවන් නිරූපණය කරන බැවිනි.  එනම් තමන් "අසම්පූර්ණයි" යන බිය, තමන්ගේ සැබෑ අභ්‍යන්තරයට යමෙකු ආදරය කරයිද යන ගැටලුව සහ යහපත උදෙසා කෙරෙන පරිත්‍යාගය අතර ඇති වන අභ්‍යන්තර අරගලයයි. මෙම සංකීර්ණ මානසික සත්‍යයන්, හදවතට දැනෙන සංගීතය සහ විශිෂ්ට රංගනයන් තුළ කැටි කර ඉදිරිපත් කිරීම නිසා සාජන්යනු හුදු ආදර කතාවකට එහා ගිය, අනුකම්පාව, ආත්ම-පිළිගැනීම සහ සැබෑ ආදරය පිළිබඳව පාඩමක් කියාදෙන සිනමා පටයකි.

සිනමාපටයේ අවසාන දර්ශනයෙන් පසු තිරය කළුවී ගියද,  සාජන් අපගේ හදවත් තුළ ඉතිරි කරන්නේ සදාකාලික මතකයක් පමණක් නොවේ.  එය අපෙන් ප්‍රශ්නයක් අසයි. "අප පෙම් කරන්නේ කෙනෙකුගේ බාහිර පෙනුමටද, නැතහොත් ඔහුගේ හෝ ඇගේ සැබෑ අභ්‍යන්තර ආත්මයටද?"

අමන්ගේ නිහඬ පරිත්‍යාගයත්, ආකාශ්ගේ නිර්ව්‍යාජ සහෝදර ප්‍රේමයත්, පූජාගේ බුද්ධිමය ආකර්ෂණයත් එකට කැටි වූ මෙම සිනමා කාව්‍යය, අඩසියවසකට පසුව වුවද අපට කියාදෙන්නේ එකම සත්‍යයකි. එනම්, බාහිර රූපය යනු තාවකාලික වෙස්මුහුණක් පමණක් බවත්, සැබෑ ආදරය යනු කිසිදු කොන්දේසියකින් තොරව අනෙකාගේ අභ්‍යන්තර ආත්මය වැළඳ ගැනීම බවත්ය.

ඉතින්... සාජන් හුදෙක් සිනමාපටයක් ලෙස පමණක් පවතින්නේ නැත. එය අප සැමගේම මනසේ යටපත් වූ ආදරණීය හැඟීම් අවදි කරන නොමියෙන මනෝවිද්‍යාත්මක සුවපත් කිරීමකි!

අසම්පූර්ණත්වයේ මානසික සංකීර්ණතා (inferiority complexes),
මානසික ආරක්ෂණ යාන්ත්‍රණයන් (emotional defense mechanisms)
 පරප්‍රේරක බැඳීම් (parasocial attachment) 

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........