‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Sunday, August 9, 2026

අදෘශ්‍යමාන දේවදාර සෙවණැලි අතර සැඟවුණු අභිරහස

 


මනාලි හි පෞරාණික හදීම්බා දේවී දේවාලය

හිමාචල් ප්‍රදේශයේ හිමෙන් තැවරුණු කඳු පන්ති අතරින් හමන සිසිල් සුළඟත් සමඟ, පෞරාණික දේවදාර ගස්වල පත්ර අතරින් ගලා එන අද්භූත අද්භූත බවක් මනාලි හි ධුංග්‍රි වනාන්තරය පුරා පැතිර පවතී. ඒ අතිශය අලංකාර, නිහඬ වනපෙත මධ්‍යයේ පිහිටා තිබෙන්නේ හුදෙක් ගොඩනැගිල්ලක් පමණක් නොව, කාලයේ වැලි තලාවට යට නොවූ මහා භාරත යුගයේ ජනප්‍රවාද සහ හිමාචාලි වාස්තු විද්‍යාවේ අසදෘශ අභිමානයයි. ක්‍රි.ව. 1553 දී කුල්ලු හි බහදූර් සිං මහාරාජා විසින් කරවන ලද මෙම හදීම්බා දේවී දේවාලය (ධුංග්‍රි දේවාලය), සොබාදහමේ සෞන්දර්යයත්, දේව භක්තියත් එකට කැටි වූ පෞරාණික හිමාචාලි කැටයම් ශිල්පයේ අපූර්ව ජීවමාන සාක්ෂියකි.



මෙම පූජනීය භූමිය හා බැඳුණු ජනප්‍රවාද පෙළගැසෙන්නේ මහා භාරත කථා පුවතේ අමතක නොවන පරිච්ඡේදයක් ද සමඟිනි.

හදීම්බා යනු අතීතයේ මෙම වනාන්තරය භාරව සිටි රාක්ෂසියකි. පාණ්ඩවයන් වනගතව සිටි සමයේදී, භීම විසින් ඇගේ සහෝදරයා වූ හිඩිම්බ නමැති රාක්ෂසයා පරාජය කරන ලදී. භීමගේ සදෘශ නොවන ශක්තියට හා ධර්මිෂ්ඨ චරිතයට පෙම් බැඳි හදීම්බා, ඔහු සමඟ විවාහපත් වූ අතර පසුව මහා භාරත යුද්ධයේ සුවිශේෂී චරිතයක් වූ ඝටෝත්කච නමැති ප්‍රබල යෝධ පුත්‍රයාට උපත දුන්නාය. පාණ්ඩවයන් පිටව ගිය පසු, සිය රාක්ෂ ගති අතහැර දැමූ හදීම්බා, පෞරාණික දේවදාර ගස් සෙවණේ දැඩි ලෙස තපස් රැකීමට පටන් ගත්තාය. ඇගේ අසමාන ආත්මීය කැපවීම හා පවිත්‍රතාවය හේතුවෙන් ඇය ප්‍රදේශයට අධිපති  ආරක්‍ෂක දේවතාවියක් බවට පත් වූ බව විශ්වාස කෙරේ. බහදූර් සිං මහාරාජා විසින් මෙම අද්විතීය දේවාලය ඉදිකිරීමෙන් පසු, මෙවැනි අතිවිශිෂ්ට නිර්මාණයක් ලොව වෙනත් කිසිදු ස්ථානයක නැවත කිසිදිනෙක බිහි නොවිය යුතු යැයි සිතා, එය නිර්මාණය කළ ප්‍රධාන වඩුවාගේ දකුණු අත කපා දැමූ බවට අඳුරු ජනප්‍රවාදයක් ද ප්‍රදේශවාසීන් අතර පවතී.

සාමාන්‍ය ගල් දේවාලවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ස්වරූපයක් ගන්නා හදීම්බා දේවාලය, පගෝඩා ශෛලියේ හිමාචාලි වාස්තු විද්‍යාව මනාව නිරූපණය කරයි . පෞරාණික ලී පුවරුවලින් සාදන ලද තට්ටු හතරකින් යුක්ත වන මෙහි වහලයේ ඉහළම කොටස අලංකාර ලෝකඩ කේතුවකින් හැඩගන්වා ඇත. ප්‍රධාන ලී දොරටුව සහ බිත්ති පුරා සත්ව රූප, මල් මෝස්තර, ස්වාභාවික සංකේත සහ මහා භාරත පුරාවෘත්තයන් නිරූපණය වන ක්ෂුද්‍ර කැටයම් ඇතුළත් කර ඇත. දේවාලය අභ්‍යන්තරයේ සාම්ප්‍රදායික පිළිමයක් වෙනුවට දක්නට ලැබෙන්නේ හදීම්බා දේවිය තපස් රැකි බව කියවෙන ස්වාභාවික ගල් ගුහාවයි. එහි ඇති ගල් තලාව මත ඇගේ පාද සටහනක් ද කොටා ඇත.

මනාලි හි සීතල මීදුම අතරින් මතුවන හදීම්බා දේවාලය යනු හුදෙක් සංචාරක ගමනාන්තයක් පමණක් නොවේ. එය පෞරාණික ශ්‍රද්ධාව, ගැඹුරු අභිරහස සහ ස්වාභාවික සෞන්දර්යය මුසු වූ ජීවමාන අත්දැකීමකි. දේවදාර වෘක්ෂයන්ගේ මුමුණන සුළං රැල්ලට සවන් දෙමින්, ශතවර්ෂ ගණනාවක් පැරණි මෙම පූජනීය භූමියේ ඇවිද යාම, ඕනෑම සංචාරකයෙකුගේ මනස අතීතයේ රහස්‍ය ලෝකයකට ගෙන යන නොමැකෙන මතකයක් වනු නොඅනුමානය.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........