‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Thursday, July 25, 2019

අන්ධකාරයේ අනාවැකිය

ග්‍රීක  පුරාවෘතයන් ගැන සොයා බලද්දී ඒ හා සම්බන්ධිත වූ පුරාණ මිත්‍යා විශ්වාසයන් සහ දේවකතා බොහොමයක් පිලිබඳ අපට දකින්නට අසන්නට ලැබේ. හර්කියුලිස්, ඇතිනා දෙවඟන , පර්සියස් තීසියස්. ඇතන්ස් යෝධයා මෙන්ම ග්‍රීක පුරාවෘත තුල ඇතුලත් නොවුවත් ෂිනා හෙවත් රණශුරි රැජිණ හර්කියුලිස්ගේ සමකාලින යුගයේ සිටි රණශුරියකි. මැය දරුණු ඝනයේ දුෂ්ට කාන්තාවක් ලෙස නම් වුවත් ෂිනා ටෙලි නාට්‍ය මාලාව නිෂ්පාදනය කල ජෝන් ශුලියන් සහ රොබර්ට් ටැපර්ට් යන නිෂ්පාදකවරුන් දෙදෙනා විසින් මැයව  දුෂ්ට චරිතයෙන් මුදවාගෙන අසාධාරණය වෙනුවෙන් පෙනී සිටින යුක්තිය මැනවින් ඉටු කරන චරිතයක් ලෙස ෂිනාව රසිකයින්ගේ දෑස් මානයට පුංචි තිරය හරහා ලං කරයි. මෙම කතාව ග්‍රීක සහ රෝම පුරාවෘත මිශ්‍රිත කතාවක් ලෙස ගත හැක.

ෂිනාගේ සහයට සිටින්නේ ග්‍රේබ්ලියල් නම් සුන්දර තරුණියක් වේ.මොවුන් දෙදෙනා එකතුවී විවිධාකාරවූ අභියෝගාත්මක වීර ක්‍රියාවන්හි යෙදෙන අතර අන්ධකාරයේ අනාවැකියට සම්බන්ධ වූ ක්‍රියාදාමයද ඉන් එකකි.මෙය තරුණ තරුණියන් අතර ජනප්‍රිය වූ අතර මෙම කතාව ස්ටෙලා හොවර්ඩ් රචිත ප්‍රොෆිසි ඔෆ් ඩාක්නස් නම් කෘතියේ ලංකික සාහිත්‍යවේදී කුමාර සිරිවධන මහතා විසින් පරිවර්තනයට ලක් කරන ලද අන්ධකාරයේ අනාවැකිය නමින් ලාංකීය පාඨකයා වෙත ලං කෙරුණි.

ග්‍රීක සහ රෝම පුරාවෘතයන් හි මිශ්‍රිත කතාවක් වීම හේතුවෙන් මුල් කෘතියේ යම් යම් දුබලතා දකින්නට ලැබෙන නමුත් කතාවක් ලෙස ගත් කල මෙය සාර්ථකයි කිව හැකිය.

මෙම කතාවට අනුව ෂිනා සහ ග්රෙබ්‍රියෙල් ගම්බද පිටිසර පළාතක ගමනේ යෙදෙමින් සිටියදී  ෂීනාට  ලෝකය විනාශ වීම පිලිබඳ අනාවැකියක් අසන්නට ලැබේ. එමෙන්ම මේ ගමනේදී ග්‍රේබ්ලියල්ගේ  ඇති අනාගතයේදී සිදුවන සිදුවීම් සිහිනයෙන් දකින්නට ඇති හැකියාවක් ඇති අතර, ඇයද මේ සිදුවීමට සම්බන්ද සමහර සිදුවීම් සිහිනයෙන් දකී. ඒ අතරම මගදී හමුවන ගම්මානයක සිටින 12 හැවිරිදි ඇලෙක්සන්ද්රා නම් කුඩා තරුණියක අනාගතය පිලිබඳ අනාවැකි කියන බවත් ඇය ෂිනා සහ ග්‍රේබ්රියල් පැමිණෙන බව පැවසු බවත් අසන්නට ලැබේ
එනම් යම් කිසි මාලිගාවක සිටින යහපත් තැනැත්තෙකු විසින් නිරයට ඇතුල්වන දොරටුව විවර කරන බවත් මළවුන්ගේ ලොව තුල ඇති අන්ධකාරය සහ දුෂ්ට භාවය මෙලොවට ඇතුලත් වන බව සහ එම විනාශය වැළක්විය හැක්කේ ෂිනා ට සහ ඇය සමගින් පැමිණෙන කතාවට බවත්ය..මෙහිදී ස්ටෙලා හොවර්ඩ් විසින් රසිකයින්ගේ සිතෙහි චිත්‍ර රූප මැවෙන පරිද්දෙන් කුතුහලය සහ ත්‍රාසය දනවමින් මෙම කතාව රචනා කර ඇති අතර මෙය ඓතිහාසික වීර කතා ශානරයට අයත්  කෘතියකි.එමෙන්ම අන්ධකාරයේ අනාවැකිය පොත තරුණ දරුවන් සඳහා උචිත වීර ක්‍රියාදාමයන්ගෙන් යුතු පොතකි.

Tuesday, July 23, 2019

ඔත්තුකාරි - චින්තා සුභෂිණී රණසිංහ

Image result for ඔත්තුකාරිඔත්තුකාරි කෘතිය ශ්‍රේෂ්ඨ කතෘ පාවුල් කොයියෝ විසින් රචනා කරන ලද අපුර්වතම කෘතියක් වන අතර මිථ්‍යාචාරයේ යෙදුනු ගුප්තවූ ලන්දේසි කාන්තාවක් වූ මාතාහරි වටා ගෙතුණු කතාවකි.ඇය කල එකම අපරාධය වුයේ ඇය නිදහස් නිවහල් කාන්තාවක් වීමයි.

මාතාහරි මුලින්ම පැරිසියට පැමිණෙන විට ඇය ඉතා දිළිඳු තැනැත්තියක විය.නමුදු මාස කිහිපයක් ගත වන විට නගරයේ ජනප්‍රියතම කාන්තාව වුයේ ඇය යි.නර්තන්ගනාවක් ලෙස ඇය ප්‍රේක්ෂකාගාරය මවිතයට උද්දාමයට සහ කම්පනයකට පත් කරන ලදී.නමුදු රටේ ඇතිවූ යුධ වාතාවරණයත් සමගින් ඇයව පාලකයින්ගේ සැකයට පාත්‍ර වූ අතර 1917 එම සැකසහිත බව නිසා ඇය නැවතී සිටි හෝටල් කාමරයේදී ඇයව අත්අඩංගුවට ගන්නා ලදී. මෙම අවධියේදී ප්‍රංශයේ යුද්ධය ඉතාමත් වියවුල් කාරී අවධියක් විය. ඇය ඉතාමත් දක්ෂ නර්තන හැකියාවකින් යුක්ත ගැහැනියක් වූ අතර සැමගේම සිත් ගත තැනැත්තියක විය.එම කියවම පසුව ඇයව රටවල් දෙකක ඔත්තු බැලවිම සඳහා යෙදවීමට හේතුවක් විය.එම හේතුවම ඇයගේ දුක්ඛදායි මරණයට හේතුවක් වීම ඇයගේ අවසනාවයි.

මෙම කතාව රචනා කිරීමේදී පාවුල් කොයියෝ විසින් ඇය ගේ ඉතිහාසය පිළිබඳව පුළුල් ගවේෂණයක යෙදුනු බව කියවේ.ඔහු විසින් ලෝක යුද්ධ සමයේ විසු සුවිශේෂී කාන්තාවක්ගේ ජීවිතය වටා ගෙතුණු සංසිද්ධිය නැවතත් පාඨක අපට සිහිපත් කර දුන්නේය.කොයියෝ විසින් මෙම කතාවට නිවැරදි හා ප්‍රසන්න රිද්මයක් ලබා දී ඇති අතර අවසානය දක්වා පාඨකයා ට කියවීමට රුචිකත්වයක් ඇතිවන පරිද්දෙන් රචනා කර තිබීම දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණයයි.පසුකාලීනව ඇයගේ චරිත කතාව ඔත්තුකාරිය නමින් චින්තා සුභාෂිණි  රණසිංහ මහත්මිය විසින් පරිවර්තනයට ලක් කරන ලදී.

මෙම කතාවේදී මාතාහරි මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම පිලිබඳ පැහැදිලි චිත්තරුපයක් රසිකයා ගේ සිතේ ජනිත කරවීමට කතුවරයා රැගත් උත්සාහය සාර්ථකය.

මෙම කතාවේදී දෘෂ්ටිකෝණයන් ඉතාමත් අපුරුවට වෙනස් කිරීමක් දක්නට ලැබේ.පළමුව මාතාහරිගේ දෘෂ්ටිකෝණයෙන් කතාව දක්නට ලැබේ.ඉන්පසුව ඇයගේ නීතිවේදියා වූ මොන්සියර් ක්ලුනෙට් ගේ දෘෂ්ටිකෝණයෙන් පාඨකයා වෙත කථනය කරයි.මෙහිදී ඇයට සිදුවුණු අසාධාරනකම් සහ ඇය අයුක්තියේ ගොදුරක් වූ ආකාරය පිළිබඳව මනා දැක්මක් පොත රසවිඳින පාඨකයා වෙත ගෙනහැර පානු ලබයි.  ඇය සිටි තත්වයේ දරුණු බවත් ,එය අවබෝධ කරගැනීමට ප්‍රමාද වීමත් ,ඇයගේ තිබු ප්‍රබල සම්බන්ධතාවන් සහිත පුද්ගලයින් ඇයව බේරා ගැනීමට එනතෙක් බලසිටිමත් ඇය පිලිබඳ සානුකම්පිත හැඟීමක් ඇති නොකිරීමට හේතුවක් වේ.

කාන්තා ලොව නිර්භීත ආත්ම ප්‍රතිරුපනය

Related image

ගොවියකුගේ දරුවන් 5 දෙනෙකු ගෙන් යුතුවූ පවුලක දෙවෙනියා බවට පත්වුණු ජෝති රෙඩ්ඩි ඉපදුනේ ඉන්දියාවේ නර්සිම්හුලා ගුඩේම්  ගම්මානයේය.ඇගේ පියාට දරුවන් 5 දෙනෙකුව නඩත්තු කිරීමට තරම් තම ජීවනෝපාය සමත්කම් නොදැක්වූ හෙයින් 9 වැනි වියැති ජෝති  සහ බාල දුවණිය හැනම්කොණ්ඩා  නගරයේ පිහිටි අනාථ නිවාසයකට බර දුන්නේය.ඔහු දරුවන් ඇතුලත් කරන ලද්දේ තම බිරිඳ මිට මාසයකට පෙර මිය ගියායයි බොරුවක් පවසමිනි.එය බොරුවක් බව දැනගෙන සිටියත් දරු දෙදෙනා නිහඬව සිටියේ ඔවුන්ට ඒ හැර වෙන කිරීමට කිසි දෙයක් නොතිබුණු නිසාය.

ළමා නිවාසය මොවුන්ට අපායක් වූ අතර ආහාරයට ගැනීමට සිදුවුයේ මිය ගිය මකුණන් සහ ගුල්ලන් සහිත බත්ය.වතුර බාල්දියක් ලබා ගැනීමට පැය ගණනක් පෝලිමේ සිටීමට ජෝතිට සිදුවූ අතර ඇය අනාථ නිවාසයෙහි පිරිසිදු කිරීම් වලට සහ අස් පස්  කිරීම් වලට උපකාර කිරීම හේතුවෙන් ඇය ගැන පැහැදුණු නිවාස පාලිකාව 10 වසරෙන් පසු ගුරු පුහුණු වෘත්තීය පාඨමාලා වක් සඳහා යොමු කරන ලදී.

නමුත් ඉන්පසු උදාවුයේ ඉතාමත් අභාග්‍ය සම්පන්න දෙයකි.ඇයගේ පියා පැමිණ අන්ද්‍රා බාලිකා පාසලට ඇතුලත් වීමට ලබා දුන් සියලු ලියකියවිලි ඉරා දමා ඇයට වඩා වසර 10කින් වැඩිමහල් වූ සෑම් රෙඩ්ඩි හා විවහා වීමට සුදානම් වන ලෙස තර්ජනය කළේය.ඔහු මැයට දුරින් නෑදා පුද්ගලයකු වූ අතර ගොවිතැනෙහි යෙදුනු පුද්ගලයකු විය.ඔහු හා කුඹුරු වල වැඩ කල අතර  සැමියාගේ අකමැත්තෙන් ජෝති කුඹුරු වැඩ අවසන් වී හවස් වරුවේදී අසල තිබු පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස රු 120ක පඩියට ඉගැන්වීමට පටන් ගත් අතර , ඒ මුදලින් තමන්ට අවශ්‍ය මුදල් උපයා ගත්තාය. ඒ අතර ජෝති විසින් මධ්‍යම රජයේ යෝජනා ක්‍රම ප්‍රතිස්ථාපනය කිරීමේ නේරු යුව කේන්ද්‍රයට ස්වෙච්ජා ගුරුවරියක් ලෙසද කටයුතු කළාය.

වසර 22දී ඇය උසස් පෙළ සමත්වී සරසවි වරම් ලැබූ අතර විශ්ව විද්‍යාලයක් වූ බි ආර් අම්බේඩකාර් විශ්ව විද්‍යාලයට උසස්වි අධ්‍යාපනය ලැබීමට ඇතුලත් වූ BA උපාධිය විශිෂ්ඨ අයුරින් සමත් විය.


“1992 දී මට විශේෂ ගුරුවරියක් ලෙස මාස 18ක රැකියාවක් ලැබුණේ වරංගල් සිට කිලෝමීටර් 70ක් දුරින් පිහිටි අමීන්පෙට්හිය. ඒ ගමනට මගේ වැටුපට වඩා වැඩි මුදලක් වැය වෙනවා. මම හැමදාම කෝච්චියේ සාරි විකුණලා වැඩිපුර සල්ලි හම්බ කළා. එක සාරියකින් ඇයට රු.20 ක ලාබයක් ලැබුණු අතර කාලයේ වටිනාකමද ඇයට ලැබුණි.m

1994 දී රු.398 ක වැටුපක් සහිතව විශේෂ ගුරුවරියක් ලෙස පාසලක සේවයට බැඳුණු අතර විශේෂ සහ සිත්ගන්නා සුළු බව නම් එම ගමනට නිවසේ සිය පැය දෙකක කාලයක් ගත වීමයි.  ගුරු පදවියෙන් ලැබූ මුදල ප්‍රමාණවත් වූ නිසා සැමියා මැයට බාධා නොකර නිහඬව සිටියේය.වසර 24 වන විට ඇය උපාධිය ඉන්දියාවේ කැකාටියා  විශ්වවිද්‍යාලයෙන් සම්පුර්ණ කර ගත් අතර රු 400ක වැටුපට ආණ්ඩුවේ පාසල ගුරු පත්වීමකට බැඳුණි.

1995 දී ඇය ස්ථාවරව රැකියාවකට පත්වී රු.2750ක වැටුපක් ලැබූ අතර කාන්තා ළමා සංවර්ධන නිලධාරිනියක ලෙසින් සේවය කරමින් පාසල් පරික්ෂක කටයුතුවල යෙදෙන්නට පටන් ගත්තාය. ඒ අතරම 1997 දී ඇය තම පශ්චාත් උපාධිය සම්පුර්ණ කිරීමද සිදුවූ සුවිශේෂිතම සිදුවීමකි.

ජෝඩි ට සමාජයෙන් ලැබුණු වටිනාකම උහුලා ගත නොහැකිවූ සැමියා දිනක නිවසින් හොරෙන්ම පිටමන් වී ගියත් ඇය එයින් නොසැලී  ජිවන ගමන යද්දී

  1998 ඇමරිකාවේ සිට වරංගල් දක්වා පැමිණි ඇයගේ ඥාති සොයුරියක ඇයට ඇමරිකාවට එන ලෙස ඉල්ලීමක් කලාය.ඇය වැනි කාන්තාවන්ට එහි පහසුවෙන් කළමනාකරණය කළ හැකි බව ඇගේ ඥාති සහෝදරිය ඇයට පැවසුවාය. එදා සිට  ජ්‍යෝති ඇමරිකාවට යාමට  මුදල්ඉතුරු කිරීමට පටන් ගත් අතර  මේ සඳහා ඇය අනෙකුත් ගුරුවරුන් සමඟ එක්ව අරමුදලක් ආරම්භ කළාය. 25,000 ක් දක්වා උපයා ගැනීමට ඇය මේ හරහා සමත් විය. මේ අතරතුර VCL Computers වෙතින් පරිගණක මෘදුකාංග ඉගෙන ගැනීමට ඇය දිනපතා හයිද්‍රාබාද් වෙත යාමට පටන් ගත්තාය. මෙයට ඇයගේ ස්වාමියා විරුද්ධ වූ නමුත් ඇයගේ දැඩි අධිෂ්ඨානශීලි බව ඇයගේ මාවත හෙළි පෙහෙළි කර කිරීමට සවියක් විය.

ඒ ගැන ඇය  පසුකාලීනව අදහස් ප්‍රකාශ කලේ 
“මගේ ස්වාමිපුරුෂයාගේ අකමැත්ත නොතකා, මම මගේ දරුවන් සමඟ මයිලරන් ගමෙන් පිට වී හනම්කොණ්ඩ නගරයට ගියෙමි. මම ටයිප් කරන ආයතනයකට බැඳිලා, ශිල්ප පාඨමාලාවක් කරලා, පෙට්ටිකෝට් එක කෑල්ලකට රුපියල් 1 බැගින් මැහුම් කරලා දවසකට රුපියල් 20-25ක් හොයාගත්තා. මම ජනශික්ෂණ  පුස්තකාලයාධිපති ලෙස රැකියාවක් ද ලබා ගත් අතර මගේ ඉගෙනීම දිගටම කරගෙන යාමට සෑම ඉරිදාවකම යන විවෘත පාසලකට සම්බන්ධ විය, ”රෙඩ්ඩි පැවසීය.

මේ වන විට ජෝදිට දරුවන් දෙදෙනෙකු සිටි අතර ඔවුන්  ළමා නිවාසයක නවතා ඇය 2000 මැයි දෙවෙනිදා B 1 විසා එකකින්  ඇමරිකාව බලා පිටත් විය.සැමියාගේ ඥාති සොහොයුරිය සමඟ ජීවත් වූ අතර පසුව ඇය පැය 12 ක රැකියාවක් කළ අතර එය ඩොලර් 60 ක වැටුපක් ලැබුණි. ගුජරාටි පවුලක ගෙවන අමුත්තෙක් විය. කැලිෆෝනියාවේ වීඩියෝ සාප්පුවකද ,ක්ෂණික ආහාර වෙළඳ සැලකද සේවය කරන ඇයට වර්ජිනියා සරසවියේ පරිඝනක මෘදුකාංග විද්‍යාවට සම්බන්ධ පාඨමාලාවක් අධ්‍යයනය කරන්නට පටන් ගත්තාය. එ සමගින්ම  ඇමරිකානු මෘදුකාංග සමාගමක සහය ඉංජිනේරුවරියක් ලෙසට ඇයට පත්වීමක් ලැබුනේ මේ අතරතුරදිය.

 තමන් බැඳුනු මෘදුකාංග සමාගමේදී ලද අත්දැකීම් ඇසුරෙන් 2011 වසර අවසානයේදී  කී සොෆ්ට්වෙයා සොලියුෂන් නමින් තමන්ගේම ව්‍යාපාරයක් ඇමරිකාවේ ෆීනික්ස් නගරයේ ආරම්භ කල අතර පළමු වසරේදීම ඩොලර් 168000ක ශුද්ධවූ ලාභයක් ඉපැයීමට සමත් විය.සාමාන්‍ය පෙළ සමත්වූ පසු තම දියණියන් දෙදෙනාව ළමා නිවාසයෙන් ගෙන්වා ගෙන ඔවුන්ව තම සමාගමේ සහය ඉංජිනේරුවන් දෙදෙනෙකු ලෙස බඳවා ගත්තාය.මේ වන විට කි සොෆ්ට්වෙයා සොලියුෂන් සමාගමේ සේවක සේවිකාවන් 100 කට අධික සංඛ්‍යාවක් සේවය කරන අතර වාර්ෂික අදායම ඩොලර් මිලියන 1.5කි.

මුල අමතක නොකළ ඇය තමන් ජිවත් වූ අනාත නිවාසය ද නඩත්තු කිරීමට පටන් ගත් අතර එහි සිටින තරුණියන් ව විවිධ පාඨමාලා කෙරෙහි යොමු කරමින් ඔවුන්ට ජිවන ගමන ඉදිරියට ගෙන යාමට උපකාර කරයි.ඇයට ඇමරිකාවේ නිවාස 4ක් සහ හයිද්‍රබාදයේ මන්දිරයක් හිමි ඇයට වරින් වර ඉන්දියාව වෙත පැමිණෙන මධ්‍යම ආණ්ඩුවේ නිලධාරින් හා එක්වී පාඨමාලා සම්බන්ධීකරණය කරනු ලබයි.

ඇය පළමු වසර තුළ ඩොලර් 1,68,000 ක ලාභයක් ලබා ගත් අතර එය ඉක්මනින් ඩොලර් මිලියනයක් බවට පත් විය. වර්තමානයේ ඇයගේ සමාගමේ පිරිවැටුම ඩොලර් මිලියන 15 ඉක්මවයි. ඇගේ ආයතනයේ සේවකයන් 100කට වැඩි පිරිසක් සේවය කරති. ඇයට ඇමරිකාවේ නිවාස හතරක් සහ හයිද්‍රාබාද් හි එක් බංගලාවක් ඇත.

 “මට තවත් බොහෝ දේ කිරීමට අවශ්‍යයි. වෙහෙස මහන්සි වී වැඩ කිරීමෙන් සහ බුද්ධියෙන් කාන්තාවන්ට පිරිමින්ට වඩා හොඳ ව්‍යාපාරිකයන් විය හැකිය, ”ඇය පැවසුවාය. “මට කාන්තාවන්ට කියන්න අවශ්‍ය වන්නේ ජීවිතයේ විවිධ අවස්ථා වලදී තම පියා, ස්වාමිපුරුෂයා සහ පුතුන් මත යැපීම වෙනුවට ආර්ථික වශයෙන් ස්වාධීනව සහ තමන්ගේම තීරණ ගන්නා ලෙසයි. 

ඔවුන් අධ්‍යාපනික උපාධි හුදු සහතික ලෙස තබාගෙන ඇමරිකාවේ මෙන් නොව විවාහයෙන් පසු රැකියාව නවතා දමයි. ඔබේ ඉරණමේ ස්වාමියා වන්න, මතක තබා ගන්න, දරුවන් රැකබලා ගැනීම ජීවිතයේ කොටසක්, නමුත් ජීවිතයක් නොවේ, ”ඇය පැවසුවාය. 

ජ්‍යෝතිගේ කතාව හැම අතින්ම විශේෂයි. ඇගේ කතාව කෙනෙකුට සිහින දැකීමට බිය නොවන්න, ධෛර්යය තබා ගැනීම, අවදානම් ගැනීමට කැමති බව උගන්වයි.

ජිවිතයේ සිදුවන කුඩා බිඳ වැටීමකදී පවා සිත් තැවුලට පත්වී ජීවිතය අමතක කරන කාන්තාවන්ට සේම තරුණියන්ට ද ජෝඩි විසින් ලබා දෙන්නේ නිර්භීත වූ ප්‍රතිරුපයකි.












Wednesday, July 17, 2019

නුවර මතක

නෙළුම් මල් මිටක් අරගෙන
පෝයට දළදා වඳින්න
Related imageගැටඹේ විහාරය ළඟ හිඳ
මහවැලි අසිරිය දකින්න

කුරුටු ගීතයෙන් හැඩවුනු
කලාගාරයේ ඉඳගෙන
ආසයි මට ඉගෙන ගන්න
ලෝකය දෙනෙතින් දකින්න

උඩරට මැණිකේ සමගින්
ආසයි මට නුවර එන්න
හන්තානට පායන සඳ
බලන්න හැකි දැයි කියන්න

හැරී පොටර්


Image result for harry potter j k rowling
ලෝ පතල ලේඛිකාවක් වූ ජේ කේ රෝව්ලින්ග් මහත්මිය විසින් ෆැන්ටසි හෙවත් ඉන්ද්‍රජාල සහ මායාවන් ඇතුලත් කර ගනිමින් රචිත හැරී පොටර් නව කතා මාලාව ළමුන් අතර පමණක් නොව වැඩිහිටියන් අතරද උන්මාදයක් ඇති කරවන ලදී.1995 දී හැරී පොටර් පළමු කතාව වන හැරි පොටර් සහ මායා ගල පොත ලියා නිම කල අතර 1997 ජුනි 26 වැනි දින බ්ලුම්ස්බරි ප්‍රකාශණයක් ලෙසින් එලි දැක්වුණි. මෙම කතා මාලාව කොටස් 7අකින් යුතු වන අතර එහි පිටපත් මිලියන හාරසිය පනහකට අධික සංඛ්‍යාවක් අලෙවි වී වර්තාවක්ද තැබූ බව විචාරකයින්ගේ මතය වේ.

මෙම කතා මාලාවේ විශේෂත්වය වන්නේ භාෂාවන් 68 කට පරිවර්තනය වීමයි.එමෙන්ම මේ ඔස්සේ නිෂ්පාදනය වුන චිත්‍ර පට ඇමරිකානු චිත්‍රපට ඉතිහාසයේ වැඩිම අදායම් වාර්තා තැබූ චිත්‍රපට අතරට එක් වන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 7.7ක අදායමක් ලබා ගනිමිනි.

පොතින් ඈත් වී සිටි බොහො පිරිසක් පොත් කියවීමේ උන්මාදයක් ඇති කරවීමෙහි ලා රසවින්දනයෙන් ඔබ්බට ගිය පිරිසක් ඇති කරලවිමට හැරී පොටර් කතා පෙළ හේතුවක් වූ බව නොඅනුමානය.සාහිත්‍ය වංශයේ මෙම කළ පෙරලිය ඇති කිරීමට හේතු වූ ජේ කේ රෝව්ලින්ග් ට එම විශිෂ්ට සේවය අගයමින් ස්කොට්ලන්තයේ ශා අන්දෘස් විශ්වවිද්‍යාලය මගින් ගෞරව උපාධියක් ඇයට පිරිනමන ලදී.2011 වර්ෂය වන විට එක්සත් රාජධානියේ 12 වන ධනවත්ම පුද්ගලයා බවට පත් වීමේ වරම් ලැබුණි. එමෙන්ම බ්‍රිතාන්‍ය රාජධානියේ Order Of the British Empire සම්මානයෙන් පිදුම් ලබන්නට තරම් ඇය වාසනාවන්ත විය.

හැරී පොටර් කතා මාලාව ඉංග්‍රීසි බසද අතික්‍රමණය කල අතර එහි සඳහන් බොහෝ වචන ඔක්ස්ෆෝර්ඩ් ශබ්ද කෝෂයට පවා ඇතුලත් වී තිබීම විශේෂත්වයකි.2005 වසරේදී මෙහි ඇතුලත් වන ක්විඩිච් ක්‍රීඩාව වර්තමාන ලෝකයට අනුගත වන ලෙස නිර්මාණය කරගනිමින් ක්‍රීඩා ලොව පෙරලියක් ඇති කළ අතර මේ වන විට ජාත්‍යන්තර ක්‍රීඩාවක් බවට එය පත් වී ඇත.ලෝක කුසලාන තරඟාවලියේදී ක්විඩිච් ජගත් කිරුළ ඕස්ට්‍රේලියාව විසින් හිමි කර ගන්නා ලදී.

2016 වසරේදී හැරී පොටර් වේදිකාවට ගොඩ විය.උණුසුම් ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද හැරී පොටර් ඇන්ඩ් ද කර්ස්ඩ් වයිල්ඩ් වේදිකා නාට්‍ය ඔලිවියර් සම්මානිත උළෙලේදී සම්මාන 9 කට වාර්තා තැබුවේ පෝටර් උන්මාදය අදටත් වියකි නැති බව පෙන්නුම් කරමිනි.

Saturday, July 13, 2019

වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා - ලසාර් ලගින්


Image result for වොල්කා සහ අතීතෙන් ආ අමුත්තා
වසර 12ක පමණ කුඩා දරුවෙක් එක දිනක තමන්ගේ නිවාස අසබඩ පිහිටි ගංගාව වෙත ගොස් සිටියදී ඔහුට පෞරාණික බදුනක් හමුවන අතර එය විවුර්ත කල විට එක්වරම පුරාණයේ විසුවායයි පවසන බහිරවයෙක් මතු වේ.එය අප අසා තිබෙන ඇලඩින් සහ පුදුම පහනේ සිද්ධිය මනසට සිහි ගන්වයි.ඔහු පවසන පරිදි ඔහුගේ නම වන්නේ හසාන් අබ්දුල් රහමන් ඉහ්බ් කහට්බ් වේ.

මෙම බහිරවයාගේ ගණනය කිරීම් වලට අනුව ඔහුගේ වයස වසර 3732කි.ඔහු සැමවිටම වොල්කා ඔහුගේ ස්වාමියා ලෙස සිතන අතර වෝල්කාගී සෑම සිතුම් පැතුම් ප්‍රර්තනාවන් ඉෂ්ට කිරීමට සුදානම් වන අවංක සේවකයෙක් බවට පත්වන්නේ ගන්තිරයේදී ඔහුගේ ජීවිතය බේරා ගැනීමත් සමගය.නමුත් වොල්කා මොහුගේ බලය සැමවිටම ප්‍රවේශමින් සහ කල්පනාවෙන් යුතුව පාවිච්චි කරන්නේ මොහු ගේ අනවශ්‍ය අවංක භාවය හේතු කොටගෙන කරන සමහරක් ක්‍රියාකාරකම් හේතුවෙන් වොල්කා කරදරයට පත්වීමයි.

මෙම කතාව රුසියානු දරුවන් අතර බෙහෙවින් ප්‍රචලිත වුනු කෘතියකි.මෙහි ප්‍රධාන පිටපත් දෙකක් මුද්‍රණය වූ අතර මෙහි නියම මුද්‍රණය 1938වසරේදී මුද්‍රණය කරන ලදී.සංශෝධිත මුද්‍රණය 1955දී එළිදක්වන ලදී. මෙම කතාව මායාවී වික්‍රමයන් සහිත පොත් ගණයට වැටේ. වොල්කා සහ අතීතයෙන් ආ අමුත්තා කෘතිය ළමයින්ට සේම වැඩිහිටියන්ටද සුදුසු අපුරුම කතාවක් ලෙස හැඳින්විය හැක.

එය විශේෂිත වූ මායාවන පිලිබඳ සඳහන් වන නිසාම දරුවන් අතර කීර්තිමත් ලෙස පතල වූ ළමා නවකතාවක් ලෙස හැඳින්විය හැක,මෙම බහිරවයා පැරණි සමාජයේ පැවති මිත්‍යා විශ්වාසයන් සහ විද්‍යාත්මක නොවූ දේවල් පිළිබඳව විශ්වාස ඇත්තෙකු විය.මෙම කතාව ඔස්සේ පුරාතන නැගෙනහිර සමාජයත් වර්තමාන තාක්ෂණික රුසියානු සමාජයත් එක්තැන් කල කතාවක් ලෙස ගැනේ. මෙම හේතු නිසාම බියකරු බව ත්‍රාසය සුහදශිලිත්වය මෙන්ම විනෝදය ද කැටිවූ අපුර්වතම කෘතියක් ලෙස කිව හැකිය.

මෙම කතාව ඌස්සේ රුසියානු සමාජය විසින් ග්‍රහණය කර ගත සංස්කෘතිකමය සහ දේශපාලනමය ජයග්‍රහණයන් සියුම්ව උපහාසාත්මකව මෙම කතාව පස්සේ පටක මනසට කාවද්දන අතර මෙය සෝවියට් රුසියානු අරාබි නිසොල්ලාසය ලෙස රුසියානු විචාරකයින් හඳුන්වා ඇත.එමෙන්ම මෙම බහිරවයා නුතන තාක්ෂණයට මුහුණ දීමට යාමෙන් ඇතිවන ඝට්ටනයන් සහ ප්‍රශ්න ඉතාමත් අපුරුවට කතාවේ අන්තර්ගත කර තිබීම සුවිශේෂී ලක්ෂණයයි.

මෙම කෘතිය මහින්ද සෙනරත් ගමගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබූ අතර මුල් කෘතියට අංශු මාත්‍රයකින්වත් හානි නොවන ලෙස පරිවර්තනය සිදු කිරීම සුවිශේෂීම ලක්ෂණය ලෙස මට හැඟේ.

Friday, July 12, 2019

දියතලාවේ සැඟවුණු අතීත යුද තතු

1914 කාල පරාසය වන විට පලමු ලෝක යුද්ධය හේතු කොට ගෙන ලොව රටවල් බොහෝ ප්රමාණයක් එකිනෙකට විරුද්ධව සටන් වදින්නට විය. මහා බ්රිතාන්ය සක්රීයවම එයට සහබාගි වූ අතර 1948 /04/01 දින රාජකීය ගුවන් හමුදාව (Royal Air force) පිහිටුවන ලදි. පළමුව බ්‍රිතාන්‍ය හමුදා සංකීර්ණය දියතලාවේ ගැරිසන් හි පිහිටවන ලදී.ඉන්පසුව 1900අගෝස්තු 8 වැනිදින බ්‍රිතාන්‍යයින් විසින් බ්‍රෝහියර් යුධ සිරකරුවන් රඳවා තැබීමට යුධ කඳවුරක් මෙහි ස්ථාපනය කරන ලදී.සිරකරුවන් 2500ක් සඳහා නිවාසද මුරකරුවන් සහ නිලධාරින් සඳහා නිවාස 1000ක්ද ගොඩ නගන ලදී.අනතුරුව පලවන ලෝක යුද්ධ සාමය වන විට මෙහි රඳවා තිබු සිරකරුවන් 5000 ස දක්වා ඉහළ ගියෝය.

දියතලාව යුධ කඳවුර බ්‍රෝයර් යුධ සමයේදී සිරකරුවන් රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගොස් තිබු අතර කන්කසන්තුරේ දක්වා සිරකරුවන් රැගෙන දුම්රිය ගමනාගමනයද සිදුවී තිබේ. යුද්ධය නිමවූ පසුවත් මෙම මධ්‍යස්ථානය යුධ හමුදා රෝහල් සංකීරණයක් ලෙස පවත්වාගෙන ගොස් ඇති අතර වර්තමානය වන විට මෙය විශාල ත්‍රිවිධ හමුදා යුධ පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යයි.එකල යුධ බටයින් සිරකර තැබූ ගොඩනැගිලි වර්තමානය වන විට හමුදා පුහුණු කඳවුරු සඳහා භාවිතා කරයි.

දෙවන ලෝක යුද්ධයෙන් පසු මෙය නැවතත් ආරම්භ කළ අතර ,හොංකො සහ සිංගප්පුරුවේ  හි ජිවත් වූ ජර්මන් ජාතික සිරකරුවන් මෙහි රඳවනු ලැබූ අතර ජර්මන් ජාතික භික්ෂුන් පිරිසක්ද සිටි බව කියවේ.පසුකාලීනව නයනපොනිකා සහ ගෝවින්ද භික්ෂුන් අනගාරික බ්‍රිතාන්‍ය පුරවැසිභාවය ලැබීමට සමත් විය.1941ජුනි මස මෙහි රඳවා සිටි බොහෝ නාවිකයින් කැනඩාවට යවන ලදී.

මුලාශ්‍ර
https://en.wikipedia.org/wiki/Diyatalawa
https://en.wikipedia.org/wiki/Diyatalawa_Garrison
අඟහරු අඩවිය 

Thursday, July 11, 2019

දිනකට පැයකට වඩා MP 3 අසනවද



අන්තර්ජාල යුගයේදී MP 3 ඩිජිටල් ශ්‍රවණ උපාංගයන් අතර ප්‍රධාන ස්ථානයක් ගනී.මෙය වර්තමාන සංගීතයට ආදරය කරන තරුණ පරම්පරාව අතරේ ශීග්‍රයෙන් පැතිර යන විනෝදාංශයක් බවට පත් වී ඇත,බස් රියේ ,දුම්රියේ සිටගෙන යන මගින් පවා සිටගෙන යාම අපහසුවක් සේ ගණන් නොගෙන ගීත වලට සවන් දෙමින් යනු අපට දැකිය හැක.

MP 3 player  එක දමාගෙන ඔබ දිනකට කොතරම් වෙලා ගීත අසනවද? එයට ඔබත් ඇබ්බැහි වී සිටි නම් මෙය ඔබට කෙරෙන අවවාදයකි.මෙම විනෝදාංශය ඔබගේ ශ්‍රවණ තත්වය දුර්වල වීමට ඇති හැකියාව දුර්වල වීමේ ප්‍රවණතාවයක්  ඇති බව ඇමරිකානු එක්සත් ජනපදයේ සිදුකල සමීක්ෂණයකින් හෙළිවී තිබේ.

මෙම සමීක්ෂණයට අනුව අවුරුදු 6-19 අතරේ දරුවන්ගෙන් 12.5 % කට මේ හඬ උස් ව ඇසෙන ශ්‍රවණ උපකරණ පැළඳීම හේතු කොටගෙන ශ්‍රවණ ඌනතා වලට මුහුණ දීමට සිදුව තිබේ.මේ ගැන අධ්‍යයනය කිරීමේදී MP 3 player හා Phone එක සම්බන්ධ කරන Ear Phone එකෙහි Ear Bad  නමින් හඳුන්වන කුඩා ස්පීකරය කණේ අභ්‍යන්තර ශ්‍රවණ ඉන්ද්‍රියවල අ හානිදායක බව සොයා ගෙන ඇත. තරුණ දරුවන්ගෙන් 3න් 2ක ප්‍රමාණයක් කණ අභ්‍යන්තරයෙහි කුරු කුරු ශබ්දය (ringing in the ears) ඇසීමේ ප්‍රවණතාවයෙන් පෙලිමක් හෝ ශබ්දය නොඇසිමේ තත්වයක්  දක්නට ලැබේ. නමුත් මේ පිළිබඳව සැලකිල්ලක් හෝ අවධානයක් යොමු කරන්නේ 8%ක ප්‍රමාණයක් පමණි.

බොහෝ සංගීතඥයින් පවසන ආකාරයට ඔවුන් මේ වන විට සාකච්චා කරනවා තරුණ පරම්පරාවට මෙම ශබ්ද අධික සංගීතයෙන් සිදුවන හානිය පිළිබඳව දැනුවත් කිරීමට.1989 වසරේදී Pete Townsend  නම් තැනැත්තා මෙම අධික ශබ්ද සංයෝගයක් ඇති සංගීතයට නිරාවරණය වීම හේතු කොට ගෙන අසාද්‍ය වී රෝහල් ගත කරන ලදී.

අපට කැසට් පටයකින්, සිඩි තැටියකින් ගබඩා කල හැකි ගීත ප්‍රමාණය ඉතාමත් සීමිතය.නමුත් MP 3 තාක්ෂනය ඔස්සේ ගීත 300කට අධික සංඛ්‍යාවක් ගබඩා කිරීමේ පහසුකම වර්තමානය වන විට දක්නට ලැබේ.මේ ඔස්සේ සංගීතයට ප්‍රිය කරන තරුණ තරුණයින් පැය ගණනක් තිස්සේ ගීත එකින් එක ඇසීමට පෙළඹේ.  Ear Buds  නම් ස්පිකර් වලින් ඇති වන හානිය නම් එමගින් ශබ්දය සෘජුවම කණේ කර්ණ  නලයටම සම්ප්‍රේෂණය කරන අතර බාහිර පරිසරයෙන් එන ශබ්ද අවහිර කිරීමයි,

බ්‍රෙස්ටන් හි ළමා රෝහලෙහි වෛද්‍ය බ්‍රයන් ජුලියෝ ට අනුව ඩෙසිබල් 85ක ශ්‍රවණ පරාසයකට පැය 80ක කාලයක් කන විවුර්තව තැබුවහොත් ශ්‍රවණ හානි සිදුවීමට ඉඩ ඇත.

MP 3 නිසා ඔබගේ ශ්‍රවණය දැනටත් දුර්වල වී ඇත්ද?

1කිසිවකු පවසන දේ නැවත පවසන ලෙස ඔබ කියනවද?

2.අන් අය සමග කතා බහේ යෙදෙන විට ඔවුන් කතා බහ කරන යම් යම් දේ ඔබට නොඇසෙන බවක් දැනෙනවද?

3.ඔබ රුපවාහිනිය අධික ශබ්දයෙන් අසනවද අන් අයට එය බාධාවක් වන ලෙස?

මෙම ක්‍රියා ඔබේ ශ්‍රවණ තත්වය දුර්වල වීමේ ඉඟියක් විය හැක.

මේ පිලිබඳ අධ්‍යනය කරන විද්වතුන්ගේ අදහස වන්නේ ඔබ සංගීතයට මෙන්ම ඔබේ ශ්‍රවණ ඉන්ද්‍රියට  ආදරය කරන්න උත්සහ කරන්න.

මුලාශ්‍ර -cbsnews.com

නිලක්ෂි බණ්ඩාර
11/07/2019

Wednesday, July 10, 2019

සන්ධාරණ

සන්ධාරණ  චිරන්ජි රණතුංග සොයුරිය විසින් රචිත වෙනස්ම ආකාරයක සංසිද්ධීන් රැසක් එකතුවූ කුතුහලය රාගය, සෙනෙහස ප්‍රේමය කැටිවූ අපුර්වතම නව කතාවක් ලෙස හැඳින්විය හැකිය.මෙම කතාව ඔස්සේ වලව්වක ආශ්‍රිතව ජිවත් වූ චිත්‍රපාලි නම් රාවණා පරපුරට අයත් දෙමවුපියන් අහිමිව තම සොයුරා සමගින් ජිවත් වූ තරුණියක වටා ගෙතුණු කතාවක් වේ.

මෙම කතාවේ ප්‍රධාන චරිතන්ගයන් වන්නේ චිත්‍රපාලි , වලව්වේ ලොකු මැණිකේ වූ ටිකිරි කුමාරි හාමි සහ පොඩි පුතා වූ සනත් හාමුය. වලව්වේ ලොකු හාමු වුවත් ටිකිරි කුමාරි හාමි වලව් මානසිකත්වයෙන් දුරුවූ චරිතයක් වන අතර ඉතාමත් නිහතමානි , අසාධාරණයට විරුද්ධ කම් පාන යහපත් චරිතයක් ලෙස පාඨක මනසට ලං කිරීම මෙහි විශේෂ ලක්ෂණයකි.ඇය විසින් චිත්‍රපලිට  අධ්‍යාපනය ලබා දී තමන්ගේම දරුවකුට සලකන්නක් මෙන් ආදරයෙන් සෙනෙහසින් ඇය පිලිබඳ වගකීම ගත්තාය.චිත්‍රපාලි ගී ජිවිතේ  සෑම සතුටුදායක මෙන්ම දුක්ඛදායක අවස්ථාවන් වලදී මවක මෙන් ඇය  පසුපස හිඳිමින් ඇයට ශක්තිය දුන්නේ ටිකිරි කුමාරි හාමිය.මොවුන් දෙදෙනා අතර තිබුණු අව්‍යාජ අන්‍යොන්‍ය  සෙනෙහස සහ බැඳීම කතාව පුරාවටම අපට දැකගැනීමට කතුවරිය සලස්වයි.

මෙලෙස සතුටින් සාමයෙන් ගතවුණු මොවුන්ගේ ජිවිත ටිකිරි කුමාරි හාමිගේ දෙවෙනි පුත් වූ සනත්ගේ ආගමනයෙන් සම්පුර්ණයෙන්ම කඩා වැටුණු අතර මොවුන්ගේ ජිවිත වෙනස්ම වූ විපර්යාසයකට ලක් වීමට ගත වුනේ දින කීපයකි.වලව් මන්නක්කරකම ඉහවහා ගිය සනත්ගේ කෙළිලොල් ජීවිතයේ තවත් ගොදුරක් වීමට චිත්‍රපලිට  සිදුවූ අතර පුරුෂාධිපත්‍ය එරෙහි වීමට නොහැකි වූ ඇයට තමන්ට වූ අසාධාරණය ඉවසමින් ජිවත් වීමට සිදුවිය.අවසානයේදී සනත් ඇයව විවහා කර නොගෙන පලා යන අතර වලව්වේ මෙහෙකරුවකු වූ අහිංසක ජයබා විසින් චිත්‍රපලිගේ  ජීවිතය සහ ලැබෙන්නට සිටි දරුවාගේ අනාගතය බාර ගෙන ඇයව සෙනෙහසින් රැක ගනී. 

පසුව සිදුවූ සිද්ධීන්ගෙන් අනතුරුව ජිවිතයේ සියලු කඩා  වැටීම් අමතක කරමින් පිටරට සිට පැමිණි සුදු ජාතික තරුණියන්ගේ උපකාරය සහ ශක්තියත් ගෙන තම ජීවිතය චිත්රපාලි විසින් ගොඩ නගා ගනියි. එතැන් සිට කතාව  කියවීම ඔබට බාර කරමි. කාන්තාවන් දුර්වල සත්ව කොට්ටාශයක් යැයි සලකන පිරිමින්ට කාන්තාවන්ගේ ශක්තිය තම ජිවිත තුල සිදුවන හැලහැප්පීම් ,වැටීම් ඔස්සේ ම ගොඩ නංවාගෙන නැගී සිටිය හැකි බව සාක්ෂාත් කරවන කෘතියක් ලෙස මෙම කෘතිය මම නම් කරමි.

මෙතෙක් රචනා කරන ලද සියලුම කතාවන්ට වඩා වෙනස්ම ආකාරයක කතාවක්  සන්ධාරණ කෘතිය චිරන්ජි සොයුරියගේ ලේඛන කලාව වෙනස්ම මානයකට ගෙන ගිය සාර්ථක කතාවක් ලෙසට දැක්විය හැක.

Sunday, July 7, 2019

අක්‍රිට් ජ්ස්වාල්

Image result for akrit jaswalඅක්රිට් ජ්ස්වාල් යනු ඉන්දියාවේ චන්දිනගර්හි වීර ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යාව පිළිබඳව පශ්චාත් උපාධිය උදෙසා අධ්‍යයනය කරනු ලබන සිසුවෙකි.මොහුගේ සුවිශේෂිත්වය වනුයේ මොහු තවමත් වයස 17ක කුඩා දරුවකු වීමයි.මොහු ලොව වඩාත්ම හපන් දරුවා (The Worlds Smartest Boy ) යන අන්වර්ථ නාමයෙන් පිදුම් ලද අතර එයට හේතුව වුයේ වයස අවුරුදු7 දී සිය අසල්වැසි නිවසේ සිටි සය හැවිරිදි දිළිඳු දැරියකගේ පිලිස්සී ගිය අතක් සම්බන්ධව සිදු කරන ලද ශල්‍යකර්මයයි.

එම සැත්කම සිදු කර ඇත්තේ තම නිවසේ වන අතර සත් හැවිරිදි අක්රාට් ට වෛද්‍ය විද්‍යාව පිලිබඳ කිසිම හැඟීමක් හෝ පරිණත බාවයක් නොතිබීම විශේෂත්වයයි.නමුදු නිරීක්ෂණයෙන් ලද අත්දැකීම් ඔස්සේ මෙම ශල්‍යකර්මය සිදු කල බව ඔහුගේ පවුලේ උදවියගේ අදහසයි.මොහුගේ මවට අනුව මොහු වයසට වඩා මුහුකුරුව ගොස් තම හැකියාවන් ප්‍රදර්ශනය කරන්නෙකි.මාස 10ක් පමණ වන විට සොයුරු සොයුරියන් අභිබවා ගොස් බහ තෝරා ඇති අතර අවුරුදු 5 දී විශ්ව සාහිත්‍යධර විලියම් ශේක්ස්පියර්ගේ සාහිත්‍ය කෘතීන් රස විඳීම ආරම්භ කර ඇත. එමෙන්ම අවුරුදු 5 දී ඔහු අත්දෙකින්ම ලිවීමේ හැකියාව තිබී ඇත.

එමෙන්ම ඔහු කායික විද්‍යාව කෙරෙහි මනා ඇල්මක් දැක්වීමද විශේෂත්වයක් වේ.එම හේතුව නිසාම පවුලේ හිතවත් වෛද්‍යවරුන් විසින් රෝහල් වලට කැඳවා ගෙන ගොස් ඔහුට ශල්‍යකර්ම නිරීක්ෂණය කිරීමට අවස්තාව දී ඇත.

වෛද්‍ය විද්‍යාව සම්බන්ධ පොත පත කියවීම අක්රට් ගේ විනෝදාංශය වන අතර තම උසස් අධ්‍යාපනය සිදු කර ගෙන යන්නේ ව්‍යවහාරික විද්‍යා අංශයෙනි. නිදහසේ සිටින වෙලාවල් වලදී ම්හු වැඩිපුරම කියවීමට ලක් කරන කෘතීන් අතර Grays Anatomy ,Physiology Cancer යන කෘතීන් ද්විත්වය ඇතුලත් වේ.මොහු දිනකට පැයක් තම අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර අවස්තාව ලැබෙන විදියට ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදෙන බව ඔහුගේ මව පවසා ඇත.ඔහු පවසන්නේ ඔහුගේ දෙමවුපියන් විසින් ඉගෙනුම පිලිබඳ පීඩනයක් ඔහුට දී නොමැති අතර සැමවිටම ඔහුගේ නිදහස අගයන බවයි.

මෙම අසාමාන්‍ය බුද්ධියකින් හෙබි දරුවාගේ බුද්ධි බලය (IQ ) 146ක් බව කියවේ.එය ඔහුගේ වයසෙහි ඉන්දියාවේ සිටින කිසිඳු දරුවෙකුට නොමැති බුද්ධි බලයකි.
.අක්රට්ගේ සිහිනය වනුයේ පිළිකා රෝගීන් ගේ පිළිකා තත්වය මර්ධනය කිරීම උදෙසා ඖෂධයක් සොයා ගැනීමය.ඒ සඳහවා අක්රට්ගේ පියා නිසි බලධාරීන්ගේ සහය පැතුවත් එය සාර්ථක නොවීම හේතු කොටගෙන මානසිකව සහ කායිකව බිඳ වැටුණු ඔහු නිවසද ප්‍රතික්ෂේප කිරීම කණගාටුවට හේතුවකි.

ලන්ඩන් නුවර Imperial Lege මෙම දරුවාට ලන්ඩනයට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. නමුත් දරුවාගේ තේරීම වුයේ ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලය වීමයි.මහාචාර්ය මුස්ටාටා ඩයම්ගොස් (Mustata Diamgoz ) මොහුට උපකාර කිරීමට ඉදිරිපත් වූ අතර ඔහුගේ බුද්ධිමත් භාවය විමසීමේ පරීක්ෂණයකට භාජනය කරන ලදී.එහි අංකිත සහ කථන පරීක්ෂණ වලින් මොහු විශිෂ්ට ලෙස ජය ලැබූ අතර මාදිලි ගැලපීම යන පරීක්ෂණයෙන් අසමත් වීම සමාර්තයකු  ලොවට හඳුනා ගැනීමට තිබු අවස්තාව ලොවටම අහිමි කර ගැනීමකි.ඔහුගේ අනුසශකය වූ මුස්ටටා ඩයම්ගොස්  පවසන්නේ මොහුගේ විශිෂ්ට බව පිළිබඳ කීමට වචන නැති බවයි.ඔහුගේ හැකියාව පිලිබඳ කිසිඳු සැකයක් තමන්ට නැති බවයි.

ඉන්දියාවේ ධර්මශාලා පාසලේ අධිපති බි ආර් රාහි මහතා විසින් ඔහුගේ අධ්‍යාපන කටයුතු වලට අනුග්‍රහය සපයන අතර මේ වන විට අක්රාට් විද්‍යා උපාධියක් සඳහා චන්දිග්ර්හ් පාසලේ අධ්‍යාපනය ලබමින් සිටි.වයස 12 දී ඉන්දියානු විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබූ ලාබාලතම විද්‍යර්තියා බවට පත්විය.

මේ වන විට පිළිකා රෝගය නැසීම උදෙසා පර්යේෂණ පවත්වන මේ කුඩා දරුවා Oral Gene Therapy  නම් න්‍යායක් පිළිබඳව සොයා බලමින් සිටි.

මුලාශ්‍ර -(Akrit Jaswal the child surgeon from Wikipedia the free encyclopedia)
             (www.srikumar.com/) 
              (sisj.in/blog/arkit-jaswal-the-seven-year-old-surgeon/)






Thursday, July 4, 2019

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -

සත් වෙනි සඳේ රෑ - අශ්විනි කාරියවසම් -
Image result for සත්වෙනි සඳේ රෑOn The Night Of The Seventh  Moon - Victoria Halt

ආදරය යනු උත්තරීතර බන්ධනයකි.. ජිවිතයට සැනසීමක් ගෙන දෙන ඖෂධයකි.මැක්ස්මිලියන් සහ හෙලෙනාගේ සියලු දේශ සිමා බන්ධන පැමිණියත් බාධක කම්කටොලු පැමිණියත් එම සෑම බාධකයක්ම ජයගෙන තම ජීවිතය ගොඩ නංවා ගත් ඓතිහාසික ප්‍රේම වෘතාන්තය සත්වෙනි සඳේ රෑ ඔස්සේ පාඨකයා වෙත ලං කිරීමට වික්ටෝරියා හෝල්ට් ගත් වෑයම අනර්ඝනිය වේ.මෙම වෘතාන්ත්තය අශ්විනි කාරියවසම් විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

මෙම කතාව ගලාගෙන යන විට කතුවරිය විසින් රසවිඳින පාඨකයාගේ හැඟුමන් සසල කරවමින් රචනා කර තිබීමත් සිතට කාවදින අයුරින් කතාව ඉදිරිපත් කිරීමත්  සුවිශේෂී ලක්ෂණය වේ.කතාව කියවාගෙන යද්දී ආසියානු පරිසරයක ජිවත් වන අපට නුපුරුදු පරිසරයක් වුනත් එම සුන්දර පරිසරය පුරා ගලාගෙන යන සෞන්ද්‍රයත්මක භාවය චිත්තරූප මවමින් මුළු පොත පුරාම ගලාගෙන යන ආකාරය දක්නට ලැබෙන ලක්ෂණයි.

මෙය වික්ටෝරියානු යුගයේ කතාවක් වන අතර සෑම තැනකදීම වික්ටෝරියානු කතා ශෛලිය එම සම්ප්‍රධායික අංගයන් දැකිය හැක. මෙම කතාව ඔස්සේ රාජ්‍යයන්හි රජවරුන් සහ උප ප්‍රන්තයන්හි නායකයින් අතර ඔටුන්න උදෙසා ඇති වන්නාවූ ඝට්ටනයන් විස්තරාත්මකව පිළිඹිබු කරන අතර එයට මැදිවන මැක්සිමිලියන් ගේ සහ හෙලෙනාගේ ආදරය සොඳුරු ව කතාවට උපයුක්ත කර ඇත.

ජර්මනියේ ඩෑමෙන්ස්ටිෆ්ට් කන්‍යාරාමය වටා පැතිරී ඇති අඳුරු කේතුධර වනාන්තරය පිළිබඳව කතුවරිය ඉදිරිපත් කරන්නේ සුරංගනා ලොවකට අපව මනසින් ගෙන යමිනි. කාල වනාන්තරය නම් වූ එය ජර්මනියේ පිහිටි කඳු වැටිවලින් සමන්විත වූ සිසිලස දෙන වන ලැහැබ් වලින් ගහණ වූ පරිසරයකි.හෙලන්ගේ මව මෙම ප්‍රදේශයේ උපත ලද කාන්තාවක් වන අතර ඇය හෙලන් කුඩා කලදී මෙම ප්‍රදේශයේ පිහිටි මන්දිර , එම මන්දිර වල පිහිටි නයිට්වරුනේ ශාලාවන්, එම ශාලාවන් වල පවතී සොඳුරු ප්‍රියසදයන් පිළිබඳව මනසට එබ්බුවේය. එලෙසම ප්‍රකට සංගීතඥයෙකු වූ ෆ්රාන්ස් ෂුබර්ට් පිළිබඳව කතා කලාය .ඔහු මිනිස් සිතෙහි ඇතිවන ගැඹුරු සිතුවිලි හැඟීම් සොබාදහම හා සම්බන්ධ කරමින් සොබාධර්මයේ සුන්දරත්වය විහිදුවා දැක්වීමකින් තම සංගීත නිර්මාණයන් ලොවට එලි දැක්වූවෙකි.

එලෙසින්ම කුඩා කඳුකර වල ජිවත් වන සුරංගනාවන්, කුරුමිට්ටන් හා බැඳුනු ඉපැරණි පුරාවෘත්තයන් හෙලෙනාගී ජිවිතයට සමීප කලේ ඇයගේ  මව විසිනි.පසුකාලීනව දෙමව්පියන්ගේ අවසරයත් සමගින් ඇය මෙම පයින් වනාන්තරය මැද [ඉහිටි ඩෑමෙන්ස්ෆිට් කන්‍යාරාමයට උසස් අධ්‍යාපනය ලැබීම උදෙසා ඇතුලත් වුනේ තම ජිවිතයේ වෙනස්ම පිටුවක් පෙරලීමට ගත් පියවරක් ලෙසිනි.

එකල එම රාජ්‍යයෙහි සත්වෙනි සඳේ රෑ නමින් චාරිත්‍රයක් උත්සවාකාරයෙන් පවත්වනු ලබන අතර එය ලෝකි නම් දඟකාර භාවයේ දෙවියන් සැමරීම උදෙසා පවත්වනු ලබන්නකි. එය දේශීය උත්සව වලින් එකක් වන අතර ඉල්ස් සමගින් එම උත්සවය නැරඹීමට යන ඇයට වරක් තමාට හමුවූ සිග්ෆ්‍රිඩ් නැවතත් ලෝකෙන්බර්ගයෙහි සිටුවරයා වූ මැක්සිමිලන්  ලෙස හමුවේ.පසුව ඔහු හා ඇතිවන ඉක්මන් විවාහයෙන් පසු ඇතිවන සංසිද්ධීන්, ඇය අනුමාන කරන පරිදි  ඇයගේ මිය යන දරුවා පිළිබඳව ඇතිවන අඳුරු මනසින් යුතුව ඇය නැවතත් එංගලන්තයට ගියත්, දෛවයේ හාස්කමකින් මෙන් නැවතත් ජර්මනියට යන ඇයගේ ඉදිරිය කුමකින් කුමක් වේද යන්න කියවන ඔබට බාරය.

මෙම කතාව විවිධ චරිතයන්ගෙන් පිරුණු එම චරිත වල ඇතිවන විවිධ සංසිද්ධීන් තුලදී ඔවුන් විසින් දක්වන ලද සියුම් ප්‍රතිචාරයන්ගේ විවිධ බව සාර්ථක නව කතාවක් බව ට ඇති මනා උදාහරණය වේ.එම චරිතයන් පොත කියවා අවසන්වූ පසුත් අපේ මනසට බැඳෙමින් මෙලොව මෙම ආත්මයන් සැරිසරන බව අපගේ සිතට දනවයි.ආදරය විරහව කුතුහලය,භයංකරත්වය සිතට දනවමින් ගලාගෙන යන අපුර්වතම කෘතියක් ලෙස හැඳින්විය හැක.



Tuesday, July 2, 2019

දෙවියන්ගේ අඩවිය

"... මාතුබි කියන්නේ අරාබි බසින් සඳ එලියට .ඇයට, මාතුබි කියන නම දෙන්න ඇත්තේ ඇයගේ තාත්තා.නමුත් ආගමික අන්තවාදය සහ ජාතිවාදය කරපින්නා ගත් තාත්තාගේ ජිවිතයට සඳ එළියක් වෙන්න ඇයට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඇය ... සමුනොගෙනම තාත්තගේ ජිවිතයෙන් ඈතට... ඈතට ... මවත් සමග පාවී යනවා.මේ සිද්ධිය අපට කියවන්නට ලැබෙන්නේ ඇමරිකානු ජාතික බෙටි මහමුදි විසින් 1986 දී රචනා කරන ලද ඇයගේ චරිතාපදානය වූ "Not Without my Daughter"  නව කතාවෙනි.මෙම ග්‍රන්ථයෙන් ඇමරිකානු ජාතික කාන්තාවක් , විජාතික  , වෙනත් ආගමක පුද්ගලයකු හා විවහා වීමෙන්  ඔහුගේ සහ පවුලේ සාමාජිකයින්ගේ අනේකවිධ වද හිංසනයට  මුහුණ දුන් සංවේදනාත්මක කම්පනය පිලිබිබු වේ.

මෙම නව කතාව Pulitzer සම්මානය සඳහා නම් කෙරුණු අතර 1991 දී චිත්‍රපටයටද නගන ලදී.මෙය භාෂා රාශියකට පරිවර්තනය වූ නවකතාවකි. ඇමරිකාවේ අධ්‍යාපනය ලබා ඇමරිකානු පුරවැසියකු වශයෙන් වෛද්‍ය වෘතියේ යෙදෙන ඉරාන ජාතික කඩවසම්  මොහොම්මදී  මුදී, බෙටි නමැති ඇමරිකානු කාන්තාව  විවහා කර ගනියි.මෙම කතාවේ කතා නායිකාව වන බෙටි දික්කසාද වූ  මවකි.විවාහයෙන් පසු බෙටි සහ මුදි සතුටින් ජිවත් වන අතර ඉරානයේ සිට පැමිණෙන මුදිගේ බෑනා කෙනෙකු මොවුන්ගේ නිවසේ නවාතැන් ගන්නා අතර ඔහු ඇමරිකානු විරෝධියෙකි.

ඔවුන්ට සිවු හැවිරිදි දියණියක් සිටි. පවුලේ අය බැලීම සඳහා කෙටි කලකට ඉරානයට යාමට මුදී ,බෙටීට යෝජනා කරයි.බෙටි මෙයට විරුද්ධ වන අතර සති දෙකකින් ඔවුන් නැවත ඇමරිකාවට කැඳවාගෙන එන බවට ඔහු කුරාණයේ අත තබා බෙටිගේ මව ඉදිරියේ දිවුරා පොරොන්දු වෙයි.සති දෙකක් ගතවු පසු මුදි පවසන්නේ ඔවුන්ගේ ඉතිරි ජිවිත කාලය ඉරානයේ ගත කළ යුතු බවයි.

ආගමික අන්තවාදය සහ ආගම් භක්තිය අතර ඇති ගැටුම ලේඛිකාව මෙම දිවුරුම මතින් උද්දීපනය කරයි. එමෙන්ම කාන්තා හිංසනය සහ ළමා හිංසනය සමග  කතාවෙහි ඉතුරු කොටස ගලා යයි.මෙම තත්වය ලොව ඕනෑම සමාජ ස්ථරයක  කාන්තාවකට සිදුවිය හැකිය. ප්‍රංශ රුපවාහිනී නාලිකාවක සේවය කළ ජින් පියරේ (Jean Piyare ) මෙම සිද්ධිය  පිලිබඳ පවසන්නේ (1993) මෙය ඇමරිකානු - ඉරාන සීතල යුද්ධයේ ප්‍රතිපලයක් බවයි.ඇමරිකාවද මෙකල ඉරානයට දැඩි ලෙස තහංචි පනවමින් කුඩම්මාගේ සැළකිලි දැක්වූ යුගයක් විය.

මෙකල ඉරානය, අයෙතුල්ලා කුමේනි යටතේ දේශපාලනික වශයෙන් විශාල පරිවර්තනයකට භාජනය විය.මුදි මෙම දේශපාලනික ජාත්‍යාලය ඉස් මුදිනින් පිළිගත් අයෙකු විය.සමහර විචාරකයින්ට අනුව මෙය ඇමරිකානු ඉරාන යුද්ධයේ පළි ගැනීම බෙටි මත පැවරීමකි.මුදිගේ පවුලේ අයත් සමගින් ජීවත් වූ නිවස බෙටිට සහ දරුවාට සිර ගෙදරක් වූ අතර ඔවුන්ට කෘමින් සහිත අපිරිසිදු අහාර කෑමට පවා සිදුවිය.බෙටි නිර්භීත උපායශීලි කාන්තාවක් වූ අතර අරාබි භාෂාව සහ සංස්කෘතිය අධ්‍යයනය කර මුදිගේ විශ්වාසය දිනා ගනී.

ඉස්ලාමික මුලධර්මවාදින් විසින් බටහිර රටවල මානව හිමිකම් කාන්තා නිදහස ලෙස සලකන කරුණු ඉරානයේ දී ප්‍රතික්ෂේප කරන බව කතුවරිය පවසයි.දෘඩ අන්ධ භක්තිවාදය මගින් ඉරාන සමාජයේ කාන්තාවගේ වීරත්වය සහ ඉදිරි ගමන මොට කරවයි.

1984-1986 අතර ඉරානයේ ජිවත් වූ අත්දැකීම් ඇගේ කෘතියෙන් හෙළි කරයි.ඇය සතු සියලු ලියකියවිලි සහ විදේශ ගමන් බලපත්‍රය පවා මුදි භාරයට ගනී.ඉරානයට පැමිණෙන කාන්තාවන්ට එරට සිරිත් විරිත් වලට හැඩගැසීමටත්  , ඉස්ලාම් ආගම වැළඳ ගැනීමට සිදුවූ අතර සිදුවූ අතර සම්පුර්ණයෙන්ම සිරුර ආවරණය වූ (Chador ) ඇඳුම ඇඳීමට සිදුවිය. විදේශ ගමන් බලපත පවා නොමැතිව , ඉරානයෙන් පිට වීමට නම් ඇය විදේශ තානාපති කාර්යාලවල සහය ලැබිය යුතු අතර අවශ්‍ය මුදල් සොයා ගත යුතුය.ඉරානයේ සිට තුර්කිය හරහා දැඩි සීතලෙන් ගැහෙමින් කඳු ශිඛර පසු කරමින් ඇය ගුවන් ගමන සඳහා පකිස්ථානයට යා යුතුය.මේ සදහා ඇය ගෝත්‍රික ජනයාගේ සහයද ලබා ගත යුතු අතර .ඇයගේ මෙම උත්සාහය සාර්ථක වේද ?

ප්‍රවීණ ලේඛිකා අනුලද සිල්වා විසින් සිංහලයට පරිවර්තනය කරන ලද මෙම නව කතාව පළ නොකරන ලෙස ඇයට සිමා බාධක පවා පැනවිය.මුස්ලිම් අන්තවාදය බටහිර මෙන්ම පෙරදිග රටවලද ව්‍යාප්ත වන මෙවැනි යුගයක ඔබ විසින් දෙවියන්ගේ අඩවිය කියවිය යුතු නව කතාවක් බවයි මගේ හැඟීම.

Image result for දෙවියන්ගේ අඩවිය






Monday, June 17, 2019

ප්‍රකම්පනය- මනොරි ලියනවඩුගේ



ප්‍රකම්පණය  යනු කිවිඳියක සේම රචිකාවියක ලෙසින්  මුහුණු පොතේ ක්‍රියාකාරී සාමාජිකාවක් වන  මනෝරි ලියනවඩුගේ මහත්මිය විසින් නිර්මණය කරන  ලද අපුරුතම නව කතාවකි.මෙය නව කතාවක් ලෙසද, මනෝවිද්‍යාත්මක කරුණු ඇතුලත් පර්යේෂණ කෘතියක් ලෙසද හැඳින්විය හැකිය.මෙම නිර්මාණය  රසවිඳින පාඨකයා කියවීමෙන් ඔබ්බට ගොස් නිරීක්ෂණ යකට ලක් කිරීමට සමත්  ප්‍රේමය, වෛරය සහ කුතුහලය දනවමින් ගලාගෙන යන ජිවන  වෘත්තාන්තයක් යයි කිවහොත් නිවැරදිය. මෙහිදී භාවිත කරන ලේඛන ශෛලිය රසවිඳින්නාගෙ සිත පොතින් මොහොතකට වත් අහකට නොගෙන කියවාගෙන යාමට තරම් පොතට ඇඳ බැඳ ගන්නා සුළු රසවත් ශෛලියකි. එමෙන්ම මෙහි ඇති පුරුෂ චරිතය කුතුහලය , භීතිය සන්ත්‍රාසය දනවන මුසුවූ විශේෂයෙන් ම කාන්තාවක් තුල විවහා ජිවිතයේ ත්‍රස්ත්‍රජනක අත්දැකීමක් ඇති කරන්නකි.

උපමා රූපක ,පරිකල්පන , ව්‍යන්ගර්තය වැනි නව කතාවක ගැබ් විය යුතු සාහිත්‍යාංග සුළු වශයෙන් ගැබ් වී ඇතත් ,මෙම නව කතාව ඉහත සඳහන් කරුණු නිසා පාඨක සිත ඇඳ බැඳ ගැනීමට සමත්ව ඇත.මනෝරි මහත්මියගේ මෙම ග්‍රන්ථය  පිලිබඳ දුටු විවේචන අතර එක් සිත් ඇඳ බැඳ ගන්නා සුළු විවේචනයක් දුටුවෙමි. විවේචනය කල මහත්මිය පවසා ඇත්තේ " මේ පොත කියවන මට බියක් දැනුණේ ... මේ යකා ඇඳ යට සිටීදැයි කියාය." මෙම වදන් වලින් විශේෂයෙන්ම තරුණ කාන්තාවක් තුළ  සැමියා පිලිබඳ  ඇතිවූ ත්‍රාසය පිළිඹිබු කරවයි.

ආදරණිය පවුලක , ආදරය සෙනෙහස ලබමින් ඉතා සතුටින් සැහැල්ලුවෙන් ජිවත් වන පබා හෙවත් පබසරා තම ප්‍රථම ප්‍රේමය වැළඳ ගන්නේ තම ජිවිතයම අඳුරු අගාධයකට පෙරලේ යැයි නොසිතමිනි.අවුරුදු 19 දී ඇය විවහා ජිවිතයට ඇතුලත් වන්නේ තමන්ට වඩා වසර ගණනාවක් වැඩිමහල් තම පෙම්වතා පිලිබඳ පුර්ණ විශ්වාසය තබමිනි.ස්වාමියා මිය ගිය පසු තම දරුවන් 5 දෙනාව තම ඇස් දෙක සේ රැක බලාගනිමින් තනිවම ජිවත් වන පබසරාගේ අම්මා තම දියණියගේ තීරණයට එකඟ වන්නේ ඇගෙ සතුට තමන්ට හැමදෙයටම වඩා වටිනා නිසාවෙනි.

මෙය කුටුම්භයක තනිවන සමාජයේ අත්දැකීම් අඩුවෙන් අත්විඳි තරුණියක හා පවුල් සංස්ථාවේ ඇතිවන ඝට්ටනයන් පිලිබඳ වූ සමාජ විග්‍රහයක් ලෙසත් හැඳින්විය හැකිය.මෙහිදී  ස්වාමි පුරුෂයා තරුණියට වඩා වසර ගණනාවකින් වැඩිමහල් වීමද , ඇයට අවබෝධ කර ගැනීමට බාධකයක් සේ දැකිය හැකිය.එමෙන්ම කාන්තා සහ ගෘහස්ත හිංසනය පිළිබඳව ඉතාමත් සුක්ෂමව පාඨක හදවතට පබසරා පිලිබඳ අනුකම්පාවක් ජනිත කරවමින් විග්‍රහා කර  තිබීම මෙහි සුවිශේෂී ලක්ෂණයකි.මෙවැනි පවුල් සංස්ථාවේ ඇතිවන ගැටුම් සඳහා වැඩිහිටියන් ද වගකිව යුතු බව ලේඛිකාව පවසන්නීය.

.වර්තමාන සමාජයේ ගෘහස්ත හිංසනය ලක්වන පබසරා වැනි තරුණියන් කොතෙකුත් ඇත්ද ? නමුත් ලෝකයට  තම කඳුළු සඟවමින් මේ සෑම දුකක්ම දරා ගනිමින් ජිවත් වීමට වෙර දරන සමාජයෙන් හුදකලා වූ  ළඳුන්ට මීට වඩා සාධාරණයක් සමාජයෙන් මෙන්ම නීතියෙන් ද , ඉෂ්ට විය යුතු බව මනාව පෙන්නුම් කරන "ප්‍රකම්පණය" සත්‍ය වශයෙන්ම මනෝවිද්‍යාත්මක සමාජ විග්‍රහාත්මක කෘතියක් සේ අගය කළ හැකිය.

ගැහැණිය සහ පිරිමියා යන විරුද්ධ ලිංගිකයන් තම සිතේ ඇතිවන්නා වූ ආකර්ෂණය හේතු කොටගෙන කුටුම්භයක් ලෙසින් එකට ජිවත් වීමට පටන් ගත්තත් ඔවුනොවුන්ගේ සිත්හි ඝට්ටනය වන විවිධ ආකල්පයන්, විවිධ විෂමතාවයන් සහ එකිනෙකාට තෙරුම්  නොයන නොගැලපීම් හේතුවෙන් කාන්තා හිංසනය, පවුල් ප්‍රචණ්ඩත්වය දක්වා කුඩා ගැටළු වර්ධනය වීම බොහෝ පවුල් සංස්ථාවල දක්නට ලැබෙන කනගාටුදායක කරුණකි.

පබසරාගේ සැමියා වූ ප්‍රියංජන විසින් තමා කුඩා කල පියා විසින් මවට කරන ලද පහරදීම් දැක සිතෙහි ඇති කරගත්තා වූ බිය, පසුකාලීනව විෂාදය සහ මානසික අවපිඩනයක් දක්වා වර්ධනය වී, ඉන්  එහා බැඳුනු හීනමානය මොහුගේ යටි සිතේ තැන්පත්වීම හේතු කොටගෙන මෙම අසාමාන්‍ය තත්වයට පත්වී ඇත.විෂාදය වැනි මානසික රෝග  ඖෂධ මගින් තරමක් දුරට පාලනය කිරීමට හැකියාව තිබුනත් මෙය ඔහුට ජානමය සහ සමාජීය බලපෑමක් ලෙස බලපෑම් සිදු කරන නිසා එහි අනිටු ප්‍රතිපල අත්විඳින්නට සිදුවන්නේ පබා වැනි අවිහිංසක තරුණියන්ටය.

මෙම විවාහය සිදු කිරීමේදී  ප්‍රියංජන ගේ දෙමවුපියෝ මේ සියල්ල පබාගෙන් සහ ඇයගේ පවුලේ අයගෙන් සඟවා තබා ගැනීම ඔවුන් කල විශාල වරදකි.ඔවුන්ගේ දියණියක් මෙවැනි තත්වයකට පත්වුවහොත් ඔවුන් සිතන්නේ කුමක්ද?ඔවුන් ගන්නා පියවර කුමක්ද ?

ප්‍රියංජනගේ දෙමව්පියෝ  විසින් සුදු පැලැස්තර අලවමින් ඔවුන්ගේ පවුල් ජීවිතය දිගටම ගෙන යන ලෙස උපදෙස් දීමට යොමුවෙති.එය කොතරම් අසාධාරණද ?අවසානයේදී පබා ගන්නා තීරණය කුමක්ද?ඇය විවහා ජිවිතයට සමු දෙනවාද ? 

ප්‍රකම්පණ  නව කතාව විවහා දිවියට පිවිසීමට අපේක්ෂා කරන තරුණියන් සහ දියණිවරුන් සඳහා බෑණා වරුන් සොයන දෙමවුපියන් විසින් කියවිය යුතුම අපුර්වතම කතාවකි.ආදරය කර , කලක් ගත කර අවබෝධයෙන් යුතුව විවාහපත් වන තරුණ ජෝඩුවලට පවා වෙන් වීමට සිදුවන අවස්ථා ඇත.මෙම නිර්මාණයෙන් මනෝරි මහත්මිය තරුණියන්ට කදිම උපදෙසක් දෙයි.

"කිසිවිටක කෙනෙකුගේ බාහිර පෙනුමින් හෝ හැසිරීමෙන් නිගමනයකට නොපැමිනෙන්න.නොරැවටෙන්න.ඔවුන් පිලිබඳ පැතිරෙන කට කතා විශ්වාස නොකරන්න.නමුත් සොයා බලන්න."

"හැකි තරම් ඔබගේ යැපීම් මාර්ගය ඔබම සලසා ගන්න" (පිටුව 299,300)








Thursday, June 13, 2019

ඩාවින්චි කේතය

ඩෑන් බ්‍රවුන් රචනයට ලක් කරන ලද ද ඩාවින්චි කෝඩ් කෘතිය ලොව පුරා ආන්දෝලනයට ලක් කල කෘතියක් වන අතර මෙය 2000 වසරේදී සාහිත්‍ය ලොවට එක් කරන ලදී.මෙම නව කතාවට උපයුක්ත වන තේමාව වනුයේ ප්‍රයෝරි ඔෆ් සයන් හෙවත් පැරණි සහෝදරත්ව සමාජයක් හා ඔපුස් ඩිඅයි නම් කිතුනු නිකාය හා ඇතිවන දරුණු ගැටුමක්ය.

ද ප්‍රයෝරි ඔෆ් සයන් 1099 වසරේදී පිහිටවනු ලැබූ ප්‍රංශය කේන්ද්‍ර කර ගත පැරණි සංසදයක් වන අතර  මෙය යුරෝපය වටා පැතිර තිබුණි.මෙම සංගමය පිලිබඳ සිදු කළ සොයා සොයා ගැනීම් වලදී පැරිස් නුවර පිහිටි ප්‍රංශ පුස්තකාලයේ තිබී ඩොසියර් සික්‍රට්ස්  නම් ලේඛනය සොයා ගැනුණු අතර එහි අන්තර්ගතව තිබී ඇත්තේ මෙම ප්‍රයෝරි සංසදයට ඇතුලත්වුණු පිරිසගේ නම් ලැයිස්තුවයි .මෙම සංසදය හඳුන්වා ඇත්තේ මේලෝකයේ විනාශ නොවී පවතින පැරණිම සංසද වලින් එකක් ලෙසටය.මෙහිදී හඳුනා ගත් පරිදි ලොව සාහිත්‍යට, ඉතිහාසයට සේම විද්‍යාවටද විසල් සේවයක් කළ ලෝපුජිත පුද්ගලයින් රැසක් මෙහි සාමාජිකයින්ව සිටි බව හෙළිවුණ අතර අයිසැක් නිව්ටන්, ලියනාර්ඩෝ ඩාවින්චි, වික්ටර් හියුගෝ මින් කිහිප දෙනෙක් වූ අතර ලියනාඩෝ ඩාවින්චි මෙම සංගමයේ 15010- 1519 අතර කාලයේ නායකයා ලෙසද කටයුතු කර ඇති බව හෙළිදරව් විය.

ද ප්‍රයෝරි ඔෆ් සයන් සංගමයට විරෝධය පෑවේ පල්ලිය ආශ්‍රිත ආගමික නායකයින් වන අතර වතිකානුවේ පල්ලියේ සිටි ආගමික පුජකවරුන් කොටසක් සමුහ කතිකා කොට ප්‍රයෝරි ඔෆ් සයන් සගමයට විරුද්දව ඔපුස් ඩී අයි නම් කතෝලික නිකායක් නිර්මාණය කරන ලදී. බ්‍රේන් වොෂ් හෙවත් මොලය සේදීම, තමන්ටම වද හිංසා පමුණුවා ගැනීම යන කරුණු කාරණා නිසා මෙම නිකාය දැඩි ලෙස ආන්දෝලනයට ලක්වුන බව ප්‍රකට කරුණකි.

ඩෑන් බ්‍රවුන්
ඩාවින්චි කේතය කෘතිය සමගින් ලොව සුපතල කතුවරයකු බවට පත්වූ අතර  මෙම කතාවේ පිටපත් මිලියන ගණනින් අලෙවි වීමද සුවිශේෂී කරුණකි.

මෙම කතාවේ ප්‍රධාන චරිතයන් ලෙස ජැක් සෙනියරේ මහාචාර්ය රොබට් ලැන්ඩන් සහ සොෆී නෙවෙයු වන අතර ප්‍රංශයේ පැරිස් ලුවර් කෞතුකාගාරයේ භාරකරු වන්නේ ජැක් ය. දිනක් මොහු රොබට් සහ සොෆි ව හමුවන්නට නියමිතව තිබියදී අත්භූත ප්‍රහාරයකින් මිය ගොස් තිබුණි.නමුදු මිය යන්නට ප්‍රථම ඔහු විසින් සංකේත භාවිතා කරමින් තම සිරුර අසල පණිවිඩයක් තබා තිබුණු අතර එහි අවසානයේ පවසා තිබුනේ රොබට් ලැන්ඩන් ව හමුවන ලෙසටයි.ඒ ඔස්සේ විවිධ අභියෝගයන්ට ලක් වෙමින් ප්‍රංශ පොලිස් නිලධාරි ෆාචේ ඇතුළු පිරිසගෙන් සැඟව යමින් සෙනියෙරේ ගේ මිනිපිරිය වූ සොෆි හා එක් වී රොබට් එම කේත පල්ලි ඇතුළු සොහොන් ගැබ් ඇතුළු විවිධ ස්ථාන වලට ගොස් පරික්ෂා කරමින් කේත වල අන්තර්ගතයන් නිරීක්ෂණය කරමින් එම පණිවිඩ විශ්ලේෂණයට බඳුන් කරමින් මුළු කතාව පුරාම ගවේෂණය කරයි.

මෙම කතාව ත්‍රිලර් හෙවත් ත්‍රස්තජනක කතා කොටසට අයත් වන අතර ලියනාඩෝ ඩාවින්චි විසින් චිත්‍රණයට පාත්‍ර කරන ලද නිර්මාණයන් සහ සංකේතයන් පිලිබඳ පුළුල් විග්‍රහයක් සහිතව මෙම කතාවේ අන්තර්ගත කර තිබීම සුවිශේෂිත්වයයි.එම කළා නිර්මාණයන් ඔස්සේ අර්ථයන් සඟවන ලද සංකේත මගින් පණිවිඩ ලබා දීම මෙහිදී නිරතුරුවම කුතුහලය පාඨක මනසේ රඳවමින් තිබීම දක්නට ලැබේ.එමෙන්ම අන්තර්ජාලය භාවිතා කරමින් මෙම සිතුවම් සහ නිර්මාණ පිලිබඳ විස්තර සෙවීමෙහි යෙදෙන්නට පුළුවන් නම් මෙම කතාව තවත් කුතුහලය දනවමින් රසවත්ව විඳින්නට හැකි අපුරුවතම කෘතියක් බවයි මාගේ හැඟීම.

ලාංකීය සාහිත්‍ය කලාවට මහඟු සේවයක් සිදු කරමින් සිටින කුමාර සිරිවර්ධන මහතා විසින් ඩෑන්  බ්‍රවුන් විසින් රචිත ද ඩාවින්චි කෝඩ් කෘතිය ඩාවින්චි කේතය නමින් මුල් කෘතියේ රසවත් බව, කුතුහලය දනවන හැඟීම් එලෙසින්ම පවත්වාගනු ලබමින් මුල් කෘතියටකිසිදු හානියක් නොකරමින් ලාංකීය පාඨක ජනයා වෙත ගෙන ඒමේ පුරෝගාමිත්වය ලැබුවේය.

Monday, June 10, 2019

ජමිලා නව කතාව චිංගිස් ආයිත්මාව් විසින් රචනා කරන ලද අපුර්වතම නව කතාවක් වන අතර එය එකල සෝවියට් රුසියානු ජන සමාජයේ පැවති සමාජ ක්‍රමය පිළිබඳව සිදු කරන ලද පුළුල් විවරණයකි.වැඩවසම් සහ ධනේශ්වර රදල පන්තියට එරෙහිව නැගී සිටින චරිතාංග වල ඇතුලත් වූ අධ්‍යාත්මික බලය පිලිබඳ කළ සමාජ විග්‍රහයක් ලෙස ජමිලා කතාව පෙන්නුම් කළ හැක. මෙම කතාව 1958 දී Nova j Mir  මාසික රුසියානු භාෂා සඟරාවේ කොටස් වශයෙන් පලවිය,ඊට සමකලිනවම කිර්ගිස්තානු භාෂාවෙන් " Melody "  යන තේමාව යටතේ 10 වැනි ප්‍රකශනය ලෙස මුද්‍රණයට පත්විය.පසුව මෙය 1959 දී රුසියානු සහ කිර්ගිස්තානු භාෂාවෙන් ජමිලා යන නමින් පොතක් ලෙස පලවිය.ජමිලා කතාව  ඔහුගේ කෘතිය වන අතර  1963 වසරේ දී   ලෙනින් ලෙනින් සම්මානයෙන් පිදුම් ලද්දේය.මෙය ලොව සුන්දරතම පෙම් කතාව ලෙසද විචාරකයින්ගේ මතයට ලක්වුණි.

ලුවිස් ආර්ගන් විසින් 1959දී ප්‍රංශ භාෂාවට පරිවර්තනය කරන ලද ජමිලා කෘතිය පුළුල් ලෙස අලෙවි වූ අතර 1961 වර්ෂයේදී කිර්ගිස් භාෂාවෙන් ඔපෙරාවක් ලෙසටද නිර්මාණය කරන ලදී.ජමිලා වනාහි යුගයක වෘතාන්ත්තයකි.මෙහිදී කතා නායකයා වන ජමිලාගේ  ස්වාමි පුරුෂයාගේ සොයුරා වන සෙයිට් ගේ ඇසින්   ජමිලා සහ අබාධිත සෙබළකු වූ දනියාර්ගේ අසම්මත ප්‍රේමය විනිවිද දකිනාකරයක් විග්‍රහ වේ.මෙම කතාව සෙයිට් තරුණ වියේදී අඳින ලද චිත්‍රයක ඇති දර්ශනය අතිතවලෝකනය කරන ආකාරයකින් පාඨකයා හමුවට ගෙන ඒ. සිය සොල්දාදු සැමියා යුධ බිමට ගිය පසු හුස්ම හිරකරවන තරම් වූ නීරස තනිකමකින් වේලෙන ජමිලා ගේ ලෝකය වර්ණවත් කරන්නේ දනියාර් විසිනි. යුද්ධය නිසා අබාධිත වූ සෙබළුන් , තනි වූ බිරියන් සහ දරුවන් සෙයිට්ගේ ගමේ පිහිටි ගොවිපලෙහි සේවය කල අතර, ජමිලා සහ දනියාර් ඇතුළු කණ්ඩායම ගොවිපලහි  සිට නෙලා ගත් ධාන්‍ය ගෝනි දුම්රිය පලට රැගෙන යාමට යොදා සිටියහ.

 දනියාර් යනු හුදකලාව ප්‍රිය කල නිහඬ ආඩම්බරකාර පුද්ගලයෙකි.එම ආඩම්බරකාර බවම ජමිලාගේ සිත ඔහු කෙරෙහි ඇඳ බැඳ තැබීමට සමත්විය.එයට එකල පැවති සමාජ ක්‍රමයද ඉවහල් විය.එලෙසින් දනියාර් ජමිලාගේ අධ්‍යාත්මය ස්පර්ශ කිරීමට සමත් වූ අතර තම සැමියාට පවා තෙරුන්ගත නොහැකි වූ ජමිලා වේගයෙන් දනියාර් වෙත ඇදී යයි.නමුදු මෙතැනදී ඇයව වරදකාරියක් නොකිරීම මෙම කතාවේ එන සුවිශේෂිත්වයයි.

ඒ බව පිටු 67 හි එන

" ගීතය බලාපොරොත්තු රහිතව නැවතුණි.ජමිලා හිටිහැටියේ දනියාර් වැළඳගෙන සිපගත් බැවිනි.ඈ වහාම ඔහුගෙන් ඈත් වී ගල් ගැසුණාක් මෙන් ගැලෙන් ඉවතට පැන්නාය.දනියාර් අස්ථාවර ලෙස තෝන් ලණුව අදිත්ම අශ්වයෝ නැවතුනහ.ජමිලා දනියාර්ට පිටුපා සිට ගත්තාය.පසුව සැනෙකින් ආපසු හැරුණු ඈ හිස ඔසවා ඔහු දෙස බැලුවාය. ඇගේ දෙනෙත් කඳුලෙන් පිරී තිබුණි." යන සඳහනෙනි.

"ගැහැණියකගේ වාසනාව ළමයින් හදා වඩා ගැනීමත්, ගෙදර දොර අරපිරිමැස්මෙන් කටයුතු කිරීමත්, යැයි මහලු නැන්දම්මා ජමිලාට උගන්වන්නිය. යුද්දයට ගිය ජමිලාගේ සැමියා එවන ලියුම් වල ඇගේ නම සඳහන් වන්නේ ඕනවට එපාවට මෙනි." ( පිටුව )


සැමියාගේ සහ බිරිඳගේ දුරස්ථ බවක් තිබු බව මෙයින් ලේඛකයා හෙළි කරයි.මේ හේතුව ජමිලා අසම්මත ප්‍රේමයක පැටලීමට හේතු පාඨය වේ.

සෙයිට් සහ ජමිලා ධෛර්ය සම්පන්න තාරුණ්‍යයෙන් යුක්ත වු අතර විස්තීරණ පවුලක සාමාජිකයෝ වූහ.ඔවුන් බොහෝ විනෝදයෙන් කල් ගත කරයි.සෙයිට් සහ ජමිලා දනියර් රැවටීමට ක්‍රීඩාවක් කරයි.එක්දිනක මෙය දුරදිග යන අතර දුම්රිය පලෙන් පිටවී යාමට පෙර දනියාර්ගේ කරත්තයේ රාත්තල් 280ක අධිබරැති  ධාන්‍ය පාර්සලයක් තබති.මෙය එසවීමට ගොස් දනියාර් පිඩාවට පත්වේ.. නමුදු ඔවුන්ව පුදුමයට පත් කරමින් ඔවුන් දුම්රියපළට පැමිණෙන විට දනියාර් විසින් ඉතාමත් අමාරුවෙන් එම ධාන්‍ය ගෝනිය ගෙනවිත් තබන බව දකියි.මෙහිදී දනියාර්ගේ නිර්භීත බව මනාව පිළිඹිබු කරනු ලබයි.


 ගොවිපලේ කණ්ඩායම් නායකයා විසින් සම්මතයට පටහැනිව අශ්වයෙක් දක්වන ලෙසට ජමිලාටද අණ කරයි.මුලදී සෙයිට්ගේ මව මෙයට විරුද්ධ වුවත් , පසුව කැමති විය.

"ජමිලාගේ අළුත් රැකියාව කෙලවර වන්නේ කොතැනින්ද යන්න එදා මව හෝ මව නොදැන සිටියෙමි." 19 පිටුව.
ජමිලා කුඩා කල සිටම සිය පියාගේ අසුන් පැන්නිමෙහි යෙදී සිටියේ කුමක් නිසාදැයි කීම අපහසු බවත් ,එයට හේතුව පවුලේ එකම දරුවා ඇය වීම නිසාත් විය හැකියැයි සෙයිට් පවසයි.ඇය අසල්වැසි ගැහැණුන් සමග සාමයෙන් කටයුතු කිරීමටත් , අසාධාරණ ලෙස ඇයට සලකන විට දබර කර ගැනීමටත් පසුබට නොවුවාය.
ජමිලාගේ මෙම ගතිගුණ ඇගේ නැන්දණිය පවසන්නේ මෙසේය.

"උඹලගේ නිහඬ ගැහැණු ඇත්ත වශයෙන්ම පිට අය රවටනවා.බොරු ශාන්ත බවක් පෙන්නනවා.හරියට කුණු බිත්තරය වගෙයි.එලියට සුදු පාටයි.සිනිදුයි.ඇතුලේ ගඳ උහුලන්න බැහැ."
සාධික් විසින් ගම්මානයේ සම්ප්‍රධාය පෙන්නුම් කරන සලකුණක් ලෙස මෙහිදී කතුවරයා ගෙන ඇත.සාධික් විසින් ජමිලා ඔහුගේ බිරිඳ ලෙස නොව ඔහුට අයත් වූ වස්තුවක් ලෙසින් මෙම කතාව තුළ හොබවා ඇත.

මෙහිදී ලේඛකයා ජමිලාගේ චරිතය උපමා රූපක මගින් නිරුපණය කරයි.සමාජ තත්වය විමසීමේදී මෙහිදී ජමිලා සම්ප්‍රධායික කිර්ගිස් කුටුම්භයේ පරිවර්තනය පෙන්නුම් කරයි.ජමිලාගේ හැසිරීම අනික් කිර්ගිස් තරුණියන්ගේ හැසිරීමට වඩා වෙනස් බව රචකයා පෙන්වයි.සමහර අවස්ථා වලදී දඟකාර කොල්ලකු මෙන් දුවපනිමින් හැසිරුණු ජමිලා වැඩිහිටියන් ඉදිරියේ පවා හඬ නගා ගීත ගායනා කලාය.සෙට්ස් සමගින් ඔට්ටු සෙල්ලම් කලාය.ඇය සිහින් බොකුටු හිසකෙස් සහිත සිහින් රූමත් තරුණියක් වුවාය.

" විශේෂයෙන් ම යුධ පෙරමුණේ සිට පැමිණි සෙබළු ජමිලා දෙස මහත් ඕනෑකමින් බැලුහ.ඇයද ඔවුන් සමග විහිලු කලද ,සීමාව ඉක්මවා යන අයට දඬුවම් කළාය."

ඇය අසල තරුණයින් සිටින විට සෙයිට් බාධා කළේය.
" ජමිලා මගේ අයියාගේ බිරිඳ බව මතක තියා ගනිල්ලා." 22 පිටුව
පිරිමින් යුධ පෙරමුණට යාම නිසා අයිලයේ පිරිමින් ටික දෙනෙකු පමණක් ඉතුරු වුන අතර ඔවුන් කාන්තාවන් පහත් කොට සැළකු ආකාරය රචකයා පවසන්නේ

" ඉඟියක් කල විගස ඕනෑම ගැහැණියක් ඔවුන් සමග එනු ඇතැයි පවසමිනි ." වර්තමානයේ මෙන්ම අතීතයේදීත් යුද්ධය නිසා කාන්තාව බොහෝ පිඩනයට ලක් විය.ඔවුන්ගේ දුර නෑයකු වන ඔස්මොන් ජමිලා පසුපස යාමද තවත් මෙවන් සිද්ධියකි.යුද්ධයේ බියකරු බව මෙන්ම මිනිසුන් හුදකලා තත්වයට පත්කරන ආකාරය ගැන ජමිලා මෙසේ පවසන්නීය.

ඇය බැස යන හිරු දෙස ඕනෑකමින් බලා හිඳ ,සුසුම් හෙලා මෙසේ කීවාය.

"මිනිස් සිතක් ක්‍රියාකරන හැටි ඔස්මොන් සහ මිනිසුන් දන්නේ කොහොමද? කිසිවෙක් ඒ ගැන දන්නේ නැහැ.ඒ ගැන දන්නා මිනිසෙක් මෙලොව නැතුවා වෙන්න පුළුවනි ". (පිටුව 24)

අයිලයේ පැවති ගතානුගතික සිරිත් විරිත් ලේඛකයා විස්තර කරයි.යුධ පෙරමුණේ සිටි ජමිලාගේ සැමියා සධික් පියාගේ නමට ලිපි එවයි.පළමුවෙන්ම ඔහු වයස්  අනුව වැඩිහිටියන්ගේ සුවදුක් අසන අතර අවසානයේදී ජමිලාගේ සුවදුක් අසයි. දෙමාපියන් සහ පවුලේ වැඩිහිටියන් අයිලයේ අසල ජිවත්වන විට බිරිඳට ලියුම් ලිවිම අශෝභන ක්‍රියාවක් ලෙස ඔවුහු සැලකුහ. රැඩිකල් තරුණියක වූ ජමිලාගේ සිතුවිලි දරදඬු කොට අසම්මත ප්‍රේමයක් දක්වා දුර යාමට මෙම ගතානුගතික සමාජීය සිරිත් විරිත්ද හේතු වන්නට ඇත.

යුධ බිමේ සිට සධික් එවන ලියුම් බෑගයක දමා අම්මා ප්‍රවේසම් කරන අතර , වෙව්ලන කටහඬින් මෙසේ පවසයි.
"අනේ මගේ දයාබර පුතුනේ ,නුඹලාගේ ලියුම් අපි ආරක්ෂා කර ගන්නවා.එක වචනයක් පමණක් ලියා එවපල්ලා ! ජීවත්ව ඉන්නවා කියා ලියාපල්ලා."
යුධ බිමේ සිටින පුතුන් ගැන මෙම කිර්ගිස්තානු ජාතික මව දුක් වන ආකාරය ,අපට මෙන්ම විශ්ව සාධාරණිය සත්‍යයකි.එය කුරිරු යුද්ධයේ ප්‍රතිපලයකි.

ජමිලා සංගීතය බොහෝ සෙයින් ප්‍රිය කල කාන්තාවක් විය.මෙය ගම්මානයේ සිටි මුස්ලිම් කතුන් බොහෝ සෙයින් විවේචනයට ලක් කල අතර සෙයිට් සහ දනියාර් උදෙසා සුන්දර ගීත ජමිලා විසින් ගායනා කරන ලදී.කතාව සුන්දරව ගලාගෙන යද්දී දනියාර්ගේ ගීතයෙන් මත් වන සෙයිට් දනියාර්ව වර්ණනා කරන්නේ මෙලෙසිනි.

"ඔහු කිසිවකට හද පත්ලෙන් ආලය කර ඇත.එය සප්‍රණික පුද්ගලයෙකුට ආලය කිරීමක් නොව ,පොදුවේ ජිවිතයට හා මවුබිමට ආලය කිරීමක්.ඔහු එම ආලය සඟවාගෙන ,එමෙන්ම තම ගීත වලට ආදරය කරමින් එයින් ජිවන ශක්තිය ලබා ගත්තේය.කොතරම් හොඳ කටහඬක් තිබුනද , උදසිනත්වයෙන් පෙළෙන්නෙකුට එලෙස ගායනා කළ නොහැක."

මෙම ගීත ගායනය මගින් කථිකයා තුළ ඇතිවන බලපෑම මනාව පෙන්නුම් කරන අතර ප්‍රධාන චරිතයන්ගේ සිත් තුල සමාන්තරව ගලායන හැඟීම් වල  ඇතුලාන්තය පෙන්නුම් කරයි. ඒ බව

"ඔහුගේ ගීතය දුක්මුසු රාගයකින් පිරි තිබීම මගේ පුදුමයට හේතු විය.ඔහුගේ එම හැඟීම හැඳින්විය යුත්තේ කෙසේද යන්න මම එදා නොදැන සිටියෙමි.එය කෙසේ විග්‍රහ කළ යුතුද යන්න මම දැනුදු නොදනිමි.මිනිසාගේ අතිශයින්ම අභ්‍යන්තර හැඟීම් ඇවිස්සෙන,කැළඹීම් තවත් මිනිසෙකුට කාවද්දන බලයක් තිබුනේ ඔහුගේ කට හඬේහිද නැතිනම් අධ්‍යාත්මයේ හිද යන්න කිව නොහැක " (පිටු 55)

ස්ටෙප්ස් තෘණ භුමියේ හුදකලා බව ජමිලා සහ දනියර්ගේ ආදර කතාවට සොඳුරු තෝතැන්නක් සදා දෙන අතර ,මෙම පසුතලය ඔවුන්ගේ ප්‍රේමයට විශ්ව සාධාරණීකරණයක් මතුකර දක්වයි. මෙම කතාවේ තේමාව වන්නේ කාන්තා නිදහසයි.

අධ්‍යාත්මික සැනසීමක් ලැබිය නොහැකි ලෝකයක හුදකලාභාවයෙන් පිරුණු චරිත සමාජ සංස්ථාව මත අතරමන් වන ආකාරය ඉතාමත් අපුර්ව අයුරින් රචකයා පාඨක මනසට ජමිලා තුලින් ලංකරන ආකාරය විශිෂ්ට වේ.ජමිලා කෘතිය තුලින් මානව සමාජයට ඥානමය සහ භාවමය සාධකයන් ඔස්සේ ලබා දෙන දායකත්වය මැනවින් විස්තර කර තිබේ.මේ වෘතාන්තය කියවන පාඨකයාගේද මනස සමාජගත සවිඥයෙන් පරිපුර්ණ වීම මේ කතාව ඔස්සේ දැනෙන සුවිශේෂී ලක්ෂණයයි.මෙය රටක උන්නතිය සඳහාද දායකත්වයක් සපයන බව නොරහසකි.




Sunday, June 9, 2019

දිවියට සමුදීමට ජපනුන් තෝරා ගත් ඔකිගහරා වනාන්තරය


සුන්දර සකුරා මල් පිපෙන කලකට හිමෙන් වැසෙන පුජියාමා කඳු පාමුල මිනිසුන් සියදිවි නසා ගන්නා වන පෙතක් පිළිබඳව ඔබ අසා ඇත්තේද? 

පුදුමයකි.... මහායාන බුදු දහමෙන් හික්මවනු ලැබූ බොන්සයි ,එකෙබෙනා වැනි මල් කලාවන්ගෙන් සිත් මොහොනය  කරවන, කබුකි නො වැනි කලාවන්ගෙන් පිරි ජපානයට යන ඔබට මෙය අමිහිරි අත්දැකීමක් වනු ඇත.

ලෝක සංවිධානයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ජපානයේ ජනගහනයෙන් ලක්ෂයකට 25.8% සියදිවි නසා ගැනීමට උත්සහ කරන අතර , ලෝකයේ සංවර්ධිත රට වලින් වාර්තා වන සියදිවි නසා ගැනීම් වන්දහා ඉහලම ප්‍රතිශතයක් දක්වන රට ජපානයයි. ජපානය යනු සියදිවි නසාගැනීම් අතින් ලොව මුලින්ම සිටින රටකි.

එරට වැසියන්ගේ නිගමනයට අනුව දිවි නසා ගැනීම යනු යම් සංසිද්ධියක වගකීමක් දැරීමය.ජපානයේ ඉතිහාසයේ අසන්නට ලැබෙන හරාකිරි හෙවත් සෙපුක්කු ක්‍රමයද බඩ කපාගෙන දිවි නසා ගැනීමේ ප්‍රසිද්ධ ක්‍රියාවලියකි.එලෙසම ජපානයේ මිනිසුන් විසින් දිවි නසා ගැනීම උදෙසා යන වනාන්තරයක් ජපානයේ පිහිටා ඇති බව බොහෝ දෙනා නොදත් කරුණකි.ෆුජියාමා කන්දට වයඹින් කිලෝමීටර් 35ක් පුරා පැතිරී ඇති මෙම වනාන්තරය ලොවටම වටිනාවූ හරිත නිම්නයකි.විවිධ ජෛව විවිධත්වයකින් යුතු පරිසරයක් වන මෙය ගිනි කන්දෙන් පටවන ලවා සහ ලෙන් ලාවා මිශ්‍රිත පසින් මිශ්‍රිත වුන පරිසරයක් පිහිටා තිබේ.

පැරණි ජනප්‍රවාද වලට සහ මිත්‍යා විශ්වාසයන්ට අනුව මිනිසුන් පවසන්නේ යුරි නම් නරක භුතත්මයක් මෙම වනයේ සැරිසරන බවයි .කොම්පාසු (Compass) මෙම වනාන්තරය පාලනයකින්  තොරව ක්‍රියාකරන බවට මිත්‍යාමත පැතිර පවතියි. 1956 දක්වාම මෙම ප්‍රදේශය ජපානයේ ආරක්ෂක අංශ පුහුණුවීම් කටයුතු සඳහා භාවිතා කර ඇත. 


මෙම වනාන්තරය පුරාවම අමුතුම ගුප්ත බවක් සහ පාළු බවක් රැඳී තිබෙන අතර ලොව විවිධ රටවලින් මිනිසුන් තම ජීවිතය නැති කර ගැනීම සඳහා මෙම වනාන්තරයට පිවිස ඇත.  
2010 වන විට ලැබෙන දත්ත අනුව දිවි නසාගැනීම් 54ක් සිදුවී තිබේ.වසරක් තුළ සියදිවි නසා ගැනීමට 200 කට අධික සංඛ්‍යාවක් උත්සහ කර ඇත.මාර්තු මාසයේ දී මෙම ප්‍රමාණයේ වැඩිවීමක් ඇති අතර ,  ජපන් පොලිසිය මෙම ව්‍යවසනය ප්‍රචලිත  නොකිරීම සඳහා නියම දත්ත ප්‍රකාශ නොකිරීමට වග බලාගෙන ඇත.

මෙම වනන්තරය විවිධ ජාතීන්ගේ ගීත, ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රාශියකට පාදක වී ඇත.ජපානයේ මනෝ විද්‍යා චිකිත්සක ආයතනයේ අධ්‍යක්ෂ යෝශිනොරි චා " Why do People Suicide " නමැති ග්‍රන්ථයට අනුව මෙම මරණ වලට හේතු රාශියක් අනාවරණය කර ඇත. 

අපදා වලට ලක්වීම , සුපුරුදු නිවාස වලින් ඉවත් වීමට සිදුවීමෙන් ඇති වූ දිගුකාලින  අවපිඩනය , ප්‍රධාන හේතුය. වසරකට කීප වරක් භූ කම්පන වලට ලක්ව ආපදා විඳීම මෙම ක්‍රියාවලිය හේතු පාදක වී ඇත. දිවි නසා ගත් ඇය අතර බොහෝ දෙනෙකු ස්ථිර වැඩක නොයෙදුණු යයි.පවුල් ප්‍රශ්න හා ආර්ථික අපහසුතා තවත් හෙතුන්ය.සමහර රටවල  සිය දිවි නසාගැනීමට නීතියෙන්හෝ ආගමෙන් ඉඩක් නැති අතර, ජපානයේ "ඉතිහාසය පුරා සියදිවි නසා  ගැනීමට ආගමෙන් තහනම් කර නැති බව චාඕ පවසයි.

මෙම වනාන්තරයට ඇතුළු වන ස්ථානයේ වෙළඳසැලක් පවත්වාගෙන යන අතර මනුෂ්‍ය හිතකාමී පුද්ගලයකු පවසන්නේ වනාන්තරය නැරඹීමට පැමිණ , ඔහුගේ වෙළඳසලට පිවිසෙන පිරිස අතරින් සියදිවි නසාගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයින් ඔහු හදුනා ගත් බවයි.පසුව කතා කොරට , තේකොප්පයකින් සංග්‍රහ කර ,ගිලන් රථ සේවයට බර දී , මොවුන්ගෙ දිවි ගලවා ගත් බව  ඔහු පවසයි. මොවුන්ගෙන් බොහෝ දෙනා තමන්ගේ දුක කියා ගැනීමට  නොහැකි පුද්ගලයින්ය. 
 
ජපන් වැසියන්ට අනුව මෙම වනාන්තරයට පිවිසීමත් සමගම ඔවුන් හා බාහිර ලෝකය සමග ඇති සියලුම සම්බන්දතා බිඳ වැටෙන අතර ෆුජි කන්දේ යමහල් විවරණය මගින් ඇතිවන්නා වූ භූ විෂමතා වෙනස හේතුවෙන් ඇතිවන ලාවා සහිත පසේ ඇතිවන චුම්භක බලයක් මේ ක්‍රියාවන්ට හේතුවන බවයි පැවසෙන්නේ.

මිනිසුන් මෙය Suicide Forest නමින් හඳුන්වන්නේ ද මෙලෙස වාර්ෂිකව සිදුවන දිවිනසා ගැනීම් වල වර්ධනය නිසාවෙනි.මෙම වනාන්තරයට ඇතුල් වෙන දොරටුවේ  " ජිවිතයේ කියන්නේ ඔබගේ දෙමවුපියන්ගෙන් ලැබුණු වටිනා ත්‍යාගයකි.ඔබේ දෙමව්පියන්ව සිහියට නගා ගන්න .ඔබේ  සාමාජිකයින්ව මතකයට නංවා ගන්න.ඔබ තනිවෙලා දුක් විඳින්න අවශ්‍ය නැ.අවට දුරකථන කුටි අවශ්‍යතරම් තිබෙනවා.අපට කතා කරන්න.ඔබේ උදව්වට අපි එන්නම්. ලෙසින් පණිවිඩයක් දැන්වීමක් ලෙසින් සකසා තැන්පත් කර ඇත.

පුද්ගලයෙකුට ජීවිතය නසා ගැනීමට ආගමෙන් වත් , නීතියෙන් වත් ඉඩක් නැති මුත් 
මේ සිදුවන සියලුම සිදුවීම්  දිහා ඔකිගහරා වනාන්තරය තම ගුප්ත නෙත් යොමු කරමින් බලා සිටින්නේ ය.

Saturday, June 8, 2019

මාරි කොරෙලි

Image result for marie corelli biographyමාරි කොරේලි 1855 ලන්ඩන් නගරයේදී උපත ලද අතර ඇයගේ සත්‍ය නම වුයේ මාරි මැකෙය .චාර්ල්ස් මැකේ ඇයගේ නිත්‍යානුකුල නොවන පියා බව සඳහන් වේ.ඇය තමාගේ උපත පිලිබඳ සඳහන් කිරීමට පසුබට විය.

ඇය ඉංග්‍රීසි සාහිත්‍යයේ නොමැකෙන නාමයක් තැබූ කතුවරියක වූ අතර රෝමාන්තික අතිනට්‍යමය කෘතීන් 20කට අධික සංඛ්‍යාවක් රචනා කරන ලදී. මාරි කොරෙලි යනු ඇය  ලේඛන කලාවේදී ආරුඪ  කර ගත් නාමය විය.ඇයගේ පලවෙනි කෘතිය වුයේ 1886දී රචනා කරනු ලැබූ A Romance Two Worlds  කෘතියයි.කෙනෙකුගේ මානසික ගණුදෙනුව හා සබැඳි අත්දැකීම් ඇයගේ කතාවල ප්‍රධාන තේමාව විය.

ඇයගේ පළමු ප්‍රසිද්ධියට පත් කෘතිය වුයේ Barabbas-A Dream of the worlds Tragedy කෘතිය වන අතර එය 1893දී රචනයට පාත්‍ර විය. එය කුරුසියට ඇණ  ගැසීම හුදී ජනයාගේ හැඟීම් දනවන සංවේදනාත්මක සංසිද්ධිය තේමා කොට ගත්තකි.1895 දී රචනා කරන ලද A Sorrows of Satan කෘතියද ආගමික සංසිද්ධීන් මත ගොනුවූ සාතන්ගේ බලය ක්‍රියාත්මක වන උද්වේගකර නාට්‍යයක් වැනිය.අඩු සහ පහත රුචිකත්වයක් ඇති අයට ඇයගේ මෙම සාර්ථක නිර්මාණ දිරවා ගත නොහැකි විය.පසුකාලින ජීවිතයේදී ඇය විවේචනාත්මක චරිතයක් විය.

1890දී ලන්ඩන් නගරයේ,ඇමරිකාවේ මෙන්ම විවිධ ජනපද වල  සාහිත්‍ය රසිකයින් අතර ඇයගේ නවකතා බෙහෙවින් ප්‍රචලිත වූ අතර මිලියනයක් පමණ රසික රසිකාවියන් ඇය වටා එක් විය.ඇයගේ කතා වික්ටෝරියා රැජිනගේ පටන් දුප්පත් තරුණියන් දක්වා පිරිසක් අතරේ සුපතල වූ අපුරුම කතාවූ අතර .මෙම නවකතා අතිවිශාල ප්‍රපංචයක හොඳම අලෙවි වාර්තා තැබූ කෘතීන් විය.විචාරකයින් විසින් ඇයගේ නවකතා තුල ඇති කරුණු අත්හැර දමා හෝ පහත්කොට සලකා ඇති අතර ,ඇයගේ සාර්ථකත්වය උපරිම තලයට පත්වූ අතර ලන්ඩනයේ වඩාත්ම අලෙවි වාර්තා තබන ලද කතුවරිය ඇය වුවාය.

1924 වර්ෂයේදී ඇයගේ අභාවයෙන් පසු පුවත්පත් වල සිරස්තලය හඬනගා ප්‍රකශ කලේ "මාරි කොරලි කවුද? "Who is Mari Corelli ) යන්නයි.ඇයගේ අතීතය මීදුමින් වැසුණු අඳුරු සිද්ධියක් වන අතර එය සත්‍ය සෙවීමට අපහසු කාර්යයක් විය.එමෙන්ම ඇයගේ උපත පිළිබඳවද විවිධ මතිමතාන්දර පවතී.මන්ද ඇය හදා වඩා ගත් දරුවකු බවටද මතකයක් පැවති හෙයිනි.

ඇය ඉතාමත් වේගවත්ව ජනප්‍රිය වූ අතර ඇයගේ සමකාලින ලේඛකයන් වුයේ ආතර් කොනන් ඩොයිල් , එච් ජි වේල්ස් , රුගියාඩ් කිප්ලින්ග් වැනි රචකයින්ගේ කෘති වලින් අලෙවි වූ මුළු පිටපත් සංඛ්‍යාවට වඩා වැඩි පිටපත් සංඛ්‍යාවක් මාරි කොරෙලිගේ නව කතා අළෙවි විය.

ඇය තමාගේ නිර්මාණ පිලිබඳ කියා ඇත්තේ
" සැබවින්ම මා සිතන දෙය මා කිවයුතු නොවේ.මට කිව හැක්කේ මට දැනෙන, මට හැඟෙන දේ පමණකි."මාරි කොරෙලි ඇයට දැනෙන වචන 203392 කට කැටි කොට පිටු 599 කින් යුතු
තෙල්මා නව කතාව 1887දී ප්‍රකාශයට පත් කළාය.

ස්ත්‍රිය පිළිබඳව මාරි දරන ආකල්පය සෑහෙන තරම් දුරට තෙල්මා නව කතාවෙන් අනාවරණය කරන අතර, අධ්‍යාපනයෙන් දැනුවත් බැවින් සහ බුද්ධියෙන් යුතුව කාන්තාව සමාජය වෙත පා නැගිය යුතු බව අනාවරණය කරනු ලබයි.ඇයට අනුව

"තමාගේ විමුක්තිය ලබා ගැනීමට පුර්ෂයා සමග කලකෝලාහල කිරීමත් ,යුද්ධයට එළඹීමත් නුසුදුසු බව පවසන ඇය කාන්තාව ලන්දක බැඳුනු මකුළු දැළක් වෙමින් ඒ මත පුරුෂයා රඳවා ගත යුතු බවත් පාලනයට නතු කර ගතයුතු බවත් පවසයි.නමුත් එම මකුළු දැළ මැස්සන් රඳවා ගැනීමට භාවිතා නොකළ යුතුය. "

මෙම ගත්කතුවරිය කිසිදිනෙක විවහා ජිවිතයට ඇතුලත් නොවූ අතර , විවාහය පිළිබඳව පැවසු අදහස තුළ සදාකාලික සත්‍යයක් ගැබ්වී ඇත. "මා විවහා නොවුයේ මට විවාහයක් අවශ්‍ය නොවූ නිසාය ".සැමියකු හිඳීමේ අරමුණ ඉටු කරන්නාවූ සුරතල් සතුන් තිදෙනෙක් මා ළඟ සිටිති.

ඔවුන් නම් " සෑම උදැසනක ම ගොරවන බල්ලෙක්
                   සවස් කාලයේ තොරතෝංචියක් නැතිව දොස් තබමින් දොඩවන ගිරවෙක් සහ දිනපතා රෑ බෝවී ගෙදර එන පූසෙක්.
ඇය විවහා නොවීමේ හේතුව විස්තරාත්මකව පවසනවාට වඩා සම්ප්‍රධායික විවාහය පිළිබඳව ඇය දැරූ මතය කෙතරම් අගනේද?කෙතරම් අර්ථාන්විතද ?+

විචාරකයින් විසින් ඇය වික්ටෝරියානු යුගයේ අසාමාන්‍ය ලේඛිකාවක් ලෙස හඳුන්වා දෙන ලදී.1924 අප්‍රේල් 21 වැනි දින මෙම අද්විතීය ලේඛිකාව මෙලොවින් සමුගත්තාය.ඇයගේ මරණය ඇසු දහස් සංඛ්‍යාත ජනතාව නිවෙස අසලට රැස්වුහ.  ස්ටේපන්ෆොර්ඩ් හි පිහිටි ඇයගේ නිවාසහි ජිවත් වූ බර්තා ඇයගේ හිතෙෂිවන්තිය වුවාය. ඇය විසින් රචනා කල කෘතීන්, ලිපි ලේඛන සහ නිර්මාණ ,අත්පිටපත් සහ නිර්මාණ සියල්ල ශේක්ෂ්පියර් කෞතුකාගාරයට බාර දුන් අතර අද විට මෙහි පාලනය ඇත්තේ ඔවුන් සතුවය.

Related image








Friday, June 7, 2019

අරණකට පෙම් බැඳ



Image result for අරණකට පෙම් බැදමෙය විභුතිභුෂණ බන්ධෝපාධ්‍ය විසින් රචනා කරන ලද අග්‍රගණය කෘතියක් වේ. මෙහි මුල් කෘතිය අරණ්‍යයක් නම් වන අතර මෙය වංග බසින් සිංහලයට පරිවර්තනය කරනු ලැබුවේ චින්තා ලක්‍ෂමී සිංහාරච්චි මහත්මිය විසිනි.මෙම කතාව රචනා කිරීමට කතෘ අදහස් කොටගෙන තිබුනේ 1937ට වසර 10කට කලිනි.

මෙය ඉන්දියාවේ 1937 - 1939 කලවකවනුවට අයත් සීමාව පිලිබඳ ලියවුණු ග්‍රන්ථයක් වන අතර කතාවට පසුබිම් වී ඇත්තේ ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ භගල්පුර් නම් සිමාවේ පිහිටි සුන්දර වතුකරයක් වටා ගෙතුණු සංසිද්ධියකි.මෙම ප්‍රදේශය බුදුන් වහන්සේ විසු බුද්ධගයාවට ආසන්නව පිහිටා ඇත. මෙම ග්‍රන්ථය රචනා කිරීමට වසර කීපයකට පෙර එනම් 1924 ජනවාරි මසදී  භාගල් පුර්හි වනයේ පිහිටා තිබු වතු යායේ විභුතිභුෂණ වතු කළමනාකරුවකු ලෙස වසර 6ක් සේවය කර තිබුණි.ඔහු එම වනයේ සුන්දරත්වයට වශීකෘත වී සිටි අතර මෙම වතු යය පිහිටි ප්‍රදේශය නම් කර තිබුනේ අජමාබඩ් නොහොත් ලොබ්ටුලියා හි බයිහර් ප්‍රදේශය නමිනි.

මෙම කතාව සොබා සෞන්දර්ය හා ජිවත් වෙමින් තම ජීවිතය සන්සුන්ව ගෙන යන යාමට තැත් කරන අහිංසක මිනිසුන්ගේ කතාවී.සොබා දහමට ඇති සෙනෙහස ආදරය මෙම කතාව තුලින් පාඨක මනසට උපයුක්ත කරන්නාවූ පසුබිම වීම මෙම කතාවේ ඇති සුවිශේෂිත්වයයි.මෙම කතා නායකයා සොබා දහමට ඇළුම් කරන්නක් මෙන්ම එම පෙදෙසෙහි වාසය කළ අහිංසක මිනිසුන්ගේ ජිවන අරගලයද මනාව දුටු අයකු වේ.ඔවුන් සේම මොහුද එම ජිවන අරගලයෙහි කොටස්කරුවකු බව මෙම කතාවේ මුල් භාගයේදී හෙළිවන කරුණකි.සොබා සෞන්දර්යයෙන් ගත් උපමා රූපක භාවිතය මෙම කතාවට පාඨකයා ගේ සිත ඇඳ බැඳ තබා ගැනීමට මුලිකම හේතුව වේ.අරණකට පෙම් බැඳ කතාව රස විඳින්නාව නිසංසල නිශ්ශබ්ධ වූ වන අරණක් පෙත සිතින් රැගෙන යන අතර අවධානයෙන් මෙම කතාව රසවිඳින තැනැත්තාට මනෝ ලෝකයේ සිට මෙම වනාන්තරය පුරා සක්මන් කල හැක.

"සඳේ පුර පක්ෂය බැවින් වැලි තලාව සඳ රැයින් බබලන මෙහි අනන්තය දිගන්තය තෙක් විහිදී ගිය වනාන්තරයක් මැද පවතින පාලු නිසසල පරිසරය දුවිලි මල් පිපි මුළු මිටියවතම සුවඳවත් කරන අතර එය මිටියාවත පුරා මල් පලසක් එළුවා වැන්න.මෙබඳු සුරංගනා ලෝකයක් නිර්මාණය වන්නේ දිගන්තය තෙක් විහිදී ගිය  වනාන්තරයක් මැද පවතින පාළු නිසංසල පරිසරයක් පමණි.ජිවිතයේ එක් වරක් හෝ එවැනි සඳ පහන් රැයක් දැකිය යුතුමය.එවැන්නක් නොදුටු අය දෙවියන්ගේ නිර්මාණ අතර වූ අපුරු දෙයක් දැන හඳුනා ගැනීමට අසමත්වුවෝ වෙති.

මෙම සුන්දර වනය සත්‍යචරන් ව වශීකෘත කරන අතර දිනෙන් දින ඔහු වනයට ඇබ්බැහි වේ.ඔහු සහ ඔහුගේ සහයක යුගල ප්‍රසාද් සොබාදහමට ප්‍රේම කරන අනගි යුවලක් වූ අතර ඔවුන් දෙදෙනා විසින් මෙම වනාන්තරයේ දුර්ලභ වූ බොහෝ පැලෑටි,මල් පැල, ඖෂධ පැලෑටි ආදිය  සොයාගෙන විත් වැවුහ.කතාව ආරම්භයේදී මෙම හුදකලාවට සත්යචරන් වෛර කලමුත් පසුව දිනෙන් දින පහු වනයට පෙම් කරන්න පටන් ගත්තේය.අනුක්‍රමයෙන් ඔහුට වනයෙන් දවසක් හෝ පිටවී සිටීමට බැරි තරමටම ඔහු මනසින් සහ කායිකව මෙම සොඳුරු වන ගුලට ඇබ්බැහි වීමට පටන් ගත්තේය. නමුදු අවාසනාවකට ඔහුට ඔහුගේ පාලකයින්ගේ අණට අකමැත්තෙන් වුවද එකඟ වී මෙම සුන්දරත්වය විනාශ කිරීමට සිදුවීම මෙම කතාවේ අභාග්‍යසම්පන්න සිදුවීම වේ.මන්ද ඔහු මෙම වතු යායේ කළමනාකරු වීමයි.තියුණු පොරෝ තල වැදී මෙම වනයේ පිහිටා තිබුණු යෝධ වෘක්ෂයන් පොලවට කඩා වැටුණි.දුලබ ඝනයේ පැලෑටි පොලවට පතිතවී විනාශවී ගියහ.

මෙම කතාව ඔස්සේ එම මිනිසුන් තම ජිවන ගමන පවත්වාගෙන යාමට දරන තැත මනාව චිත්ත රූප දනවමින් පෙන්වන ආකාරය ඇසට කඳුළු නංවයි.දරිද්‍රතාවය,එම ගම්මාන වල ජිවත් වූ මිනිසුන්ගේ සරළ බව අහිංසක බව රාජ්පුත් වරුන්ගේ දරදඬු ක්‍රියාකාරකම් සහ ඔවුන්ගේ බලපුර්ණත්වය ,එම මිනිසුන්ගේ ක්‍රියාකාරී ජීවිතය පිලිබඳ මනා වැටහීමක් මෙම කතාව ඔස්සේ රසිකයාගේ මනසට උපයුක්ත කරනු ලබයි.

ආදරය

බෝ පෙම් පිරුවත්
ඔබ එතැයි සිතමින්
පියමං වී ගොස් ඔබ
නොකියාම දුරකට
සිත් අහසේ පුංචි තරුමල්
ගොන්නක් පුබුදුවා
යනෙන මාවතේ
කටුකොහොල් පිරිලා
සොයන්නෙමි පිළිතුරක්
ඔබත් නැති ජිවිතේ

හදේ පතුලටම කැන
උදුරමින් ආදරේ අක්මුල්
වසන්තය පැමිණේද
පසෙකලා සිසිර ඉම

දිවියේ දිගු ගමන ඇරඹුම
සේම අවසානයේ
නුඹ එළඹී මං ලකුණු
හද ගැඹුරේ නිධන් වී
පාරවයි සිත

නිලක්ෂි බණ්ඩාර
07/06/2019

Wednesday, June 5, 2019

වික්ටර් හාරා


වික්ටර් ලිඩියෝ මාර්ටින්ස් හාරා 1932 සැප්තැම්බර් 28 වැනි දින චිලි නුවර සන්තියාගෝ වට ආසන්න දුක් කම්කටොලු වලින් හෙබි පවුලක උපත ලැබිය.දරිද්‍රතාවයේ අධික බව නිසාවෙන්ම වයස අවුරුදු 6ක් පමණ වන විට මොහු අසල පිහිටි ගොවිපලක සේවයට බැඳුනේය. වික්ටර්ගේ පියා නූගත් කම්කරුවකු වූ අතර මත්පැනට තදින්ම ඇබ්බැහි වුණු පුද්ගලයෙකු විය.එම හේතුව නිසාවෙන්ම නිවසේදී දරුණුව හැසිරුණු ඔහු වික්ටර්ගේ මව වූ අමන්දා ගෙන් වෙන් වුනි. අමන්දා තරමක් දුරට අධ්‍යාපනයෙන් ඉදිරියට ගිය තැනැත්තියක වූ අතර සංගීතයට බෙහෙවින් ප්‍රිය කළාය.ඇය සන්ගිතයටමෙන්ම වයලින් වාදනය ටද ,පියානෝ වාදනය ටද  දස්කම් පෑ අතර ගම්මාන වල පැවති ගැමි විවහා උත්සව වලට ගොස් තම දස්කම් පෙන්වූවාය.

වික්ටර්ට  අවුරුදු 15ක් පමණ වන විට මව මෙලොව හැරදා ගිය අතර ,ඔහු ගණකාධිකාරිවරයකු වීමට ඉගෙන ගැනීමට උත්සහ කලත් ආර්ථික අපහසුතා හේතුවෙන් එයද මගහැරී ගියේය.ඉන්පසු කතෝලික පුජකයකු වීමට උත්සහ දරුවත් සෙමනේරියේ කටයුතු පිලිබඳ ඇතිවූ කලකිරීම හේතුවෙන් එයින්ද පිටත් වුණි.ටික කලක් හමුදාවට බැඳී සිට ඉන් අනතුරුව තම ගමට පැමිණියේ මවගේ අභාෂයෙන් ඔහුට උරුම වූ සංගීත හැකියාව උරගා බැලීමටය.
Related image
ඉන්පසු චිලි විශ්ව විද්‍යාලයේ සංගීත කණ්ඩායමට ඇතුලත් වූ ඔහු අධි ශිෂ්‍යත්වයක් ලබා ගායනය හා රංග කළාව හැදෑරීමට පටන් ගනී.වික්ටර් තරුණයන් අතර ප්‍රසිද්ධ වුයේ ලා බියාටා ගීතය සමගිනි. ඔහු තමන්ගේ නිර්මාණ උදෙසා පැබ්ලෝ නෙරුඩා යුපැන්කි යන නිර්මාණකරුවන්ගේ අභාෂය ලබා ගත අතර 1957 දී පැබ්ලෝ නෙරුඩා හා සම්බන්ධ වේ.1950 අග භාගයේදී ඔහු කුන්කුමෙන් යන සංගීත කණ්ඩායම හා එක්වී තම සංගීත කටයුතු ඉදිරියටම කරගෙන ගියේය.දිනෙන් දින තම හැකියාවන් දියුණු කර ගත් ඔහු නුඑවා කැන්සියොන් යන ලතින් ඇමරිකානු සංගීත ව්‍යාපාරයට එක්වුණි.එතැන් පටන් ගතවූ වසර 15 තුලදී චිලි දේශයේ ස්පාඥ බසින් ගීත ගයනා කරන සුප්‍රසිද්ධම ගායකයා වුයේ වික්ටර් හාරාය.

මොහුගේ ගීත ලොව විශාලතම සංධිස්ථානය  වුයේ පොටෝ මොන්ට් ගැන ප්‍රශ්න වැලක් ගීතයයි.එයට හේතුපාදක වුනු සිද්ධිය වුයේ 1969දී එම රටේ සිටි ස්වදේශීය අමාත්‍යවරයා විසින් මරාදමන ලද ගොවින් පිරිසකගේ ජිවන වෘතන්තයයි.ලතින් ඇමරිකානු ජන සංගීතය හා මුසු වුනු ඔහුගේ ගීත තරුණ වාමාංශික අදහස් වලින් පිරි ගිය අතර 1970 දී එකල චිලි දේශයේ ජනාධිපති වූ සැල්වදෝර් අයියන්දෙගේ මැතිවරණ කටයුතුවලටද සහය දුන්නේය.ජෝන් නමැති තරුණියක හා හාද වන ඔහු ඉන්පසු ඇය හා එක්වී රට අභ්‍යන්තරයේ වාමාංශික සංස්කෘතික පුනරුදයක් ඇතිකරලිමෙහි බලපොරෝර්ත්තුවෙන් ගායන ව්‍යාපාරයක් අරඹයි.1972 දී පැබ්ලෝ නෙරුදාට නොබෙල් ත්‍යාගය හිමිවන අතර ඔහු උදෙසා පැවැත්වූ උත්සවයේ ගායන වෘන්දය මෙහෙයවීමේ ගෞරවයද හිමිවන්නේ වික්ටර් හරාටය .

වික්ටර් විසින් සැල්වදෝර් අයියන්දෙගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා උද්යෝගයෙන් කටයුතු කරන අතර " අප දිනනු ඇත යන ගීතය මේ සෑම උත්සවයකදීම ගයනා කරමින් යයි.මේ අතරම 1973 සැප්තැම්බර් 11 වැනි දින ඇමරිකානු බලවේගයකින් පැමිණි හමුදා කුමන්ත්‍රණයකින් අයියන්දෙගේ සමාජවාදී ආණ්ඩුක්‍රමය පෙරලා දමා ඔහුව ඝාතනය කරන ලදී.ඒ වන විට චිලි තාක්ෂණික විශ්ව විද්‍යාලයේ උගැන්වූ වික්ටර් පසුදින එළිවන තෙක්ම විශ්වවිද්‍යාලයේ හිරවී සිටි ගුරුවරුන් සහ ශිෂ්‍යයින් ධෛර්යමත් කිසිම උදෙසා ගීත ගයනා කළේය.

මානව දයාව වෙනුවෙන් තම දිවියම ගත කල ඔහු පසුදින තවත් සිරකරුවන් දහසක් සමගින් ක්‍රීඩාංගනය ට ගෙන යන අතර වික්ටර්ට ගීත ගයනා කරන ලෙස බලකරමින් ඔහුගේ අත්වලට සහ ඇඟිලි වලට පහර දෙයි.තම වේදනාව සමගින් එම අභියෝගය භාර ගනිමින් "වෙන්සේරමොස් (අපි දිනන්නෙමු ගීතය ගායනා කල අතර අමානුෂික ලෙස වික්ටර්ව මරා දමනු ලබයි. මෙම සිදුවීම දුටු අය පවසා ඇත්තේ වික්ටර්ගේ  වෙඩි සලකුණු 40කට අධික සංඛ්‍යාවක් දකින්නට තිබුණු බවයි.වික්ටර් ඇතුළු 10000ක පිරිසක් මරා දමන ලද මෙම ක්‍රීඩාංගණය  අද නම් කර ඇත්තේ වික්ටර් හාරාගේ නමිනි.

ඉතිහාසය ගැන හැදෑරීමේදී අතීතයේ ජිවත් වූ මිනිසුන් පිලිබඳ බොහෝ පාඩම් ඊ ඔස්සේ අපට අධ්‍යයනය කල හැක.හර්ද සාක්ෂියට අනුව ක්‍රියාකොට දිවි පිදු මිනිසුන් අසාධාරණය නම් බැම්ම බිඳ දමන්නට උත්සහ කලෝය. ඔබද අපද හර්ද සාක්ෂියට අනුගතව ලොව දෙස බලා ක්‍රියා කළහොත් මෙම මිය ගිය ආත්මයන් බලාපොරොත්තු දැල්වූ දෑසින් බලා හිඳ ලොවට ආශීර්වාද කරනු නිසැකය.

Tuesday, June 4, 2019

ජිවිත ගැඹුරේ ගීතය

සැමියකු පවුල් සංස්ථාව හැර ගිය පසු දරුවන් සමග තනිවූ බිරිඳකගේ සිතුවිලි මෙම ගීතයෙන් හෙළි කරනු ලබයි.සැමියා හැර දමා ගිය ඔරුව දරු පවුල වන අතර මාපියන් සතු අගනා සම්පත වන දරුවන් ඔරුව තුළ දියඹේ හුදකලා වී ඇත. තනිවූ මව ඔවුන් ආරක්ෂා කළ යුතුය.

සුළි කුණාටු සහිත ලොව තුළ ජිවන අරගලයක ඇය යෙදෙයි.ගඟ මැද තනිවූ ඔරුව ඇය විසින් තනිවම ඉවුර කරා පැදයා යුතුය. දරුවන්ට ඇති උණුහුම මාපියන්ගේ ආදරය සහ කරුණාව වේ.පියා හැර ගිය දරුපවුලේ කරදර කම්කටොළු මව දරා සිටින අතර මේ කිසිත් නොදන්නා දරුවෝ සිනහා වෙති.එම සිනහා හඬ ඔබට ඇසෙන්නේදැයි ඇය තමා හැර ගිය සැමියාගෙන් අසනු ලබයි.

ගොම්මනේ ඇසෙන රැහයි ගීතය බිරිඳගේ සහ දරුවන්ගේ පාළුව තනිකම සංකේතවත් කරයි.දරුවන් වැඩි වියට පත්ව තටු සලා කැදැල්ලෙන් ඉගිල යාමට ශක්තිය ලැබූ දින , මවද සැනසුමක් ලබන බව ගීතය අවසානයේදී පවසා ඇත.මෙහි කැළඹෙන දියඹ බොහෝ දේ සංකේතවත් කරන අතර පියාගෙන් ලැබුණු ආරක්ෂාව , ආර්ථික ශක්තිය ,පවුලට කෙරු උදව් උපකාර සියලම මව තනියම ස්වශක්තියෙන් කර ගත යුතු බව ව්‍යංගාර්ථයෙන් පවසනු ලබයි.

වචන හැටපහකට අඩු සීමිත වචන සංඛ්‍යාවක් උපයුක්ත කරගනිමින් රචනා කර ඇති මෙම ගීතයෙන් ජිවන ගමන පිලිබඳ යථාර්තවාදී පණිවිඩයක් ද්වනිත කරවයි. ආශාවන්ගෙන් මංමුලා වී පවුල් සංස්ථාව හැරදා යන පිරිමින් නිසා ජිවන ගමනේ හුදකලාවන බිරින්දෑවරුන් සහ දරුවන් සමාජයේ දැකිය හැකි උද්වේගකර ඝට්ටනකාරි ගැටළුවකි.

එමෙන්ම නොමගට යොමු වන ගැහැණුන් සහ දරුවන් රටක සමාජමය සහ ආර්ථික ගැටළුවක්.  මෙම ගීතය තරිඳු අමිල සොයුරා විසින් රචනයට ලක් කර ඇති අතර සංගීතය සපයා ඇත්තේ බිබිලාදෙණියේ මහානාම ස්වාමින් වහන්සේ විසිනි. ගීතයේ වචන වලට ගැලපෙන අයුරින් සුසංයෝග වුනු පසුබිම් ගායනය ඇසෙන්නේ ගඟක හෝ දිය පාරක දිය කැළඹෙන හඬකි.

මෙම ගීතය වික්ටර් රත්නායකයන් විසින් ගයනා කරන ලද

"තොටුපල අයිනේ - කවුද ඇත වන්නේ ගීතයේ පසුබිමින් ඇසෙන ජලතරංග වාදනය සහිත සංගීත රාවය අපගේ සිහියට නංවයි.

මෙම ගීතය ගායනා කරන්නේ ධනුෂා සමන්මලී සොයුරිය වන අතර ගායිකාවගේ කටහඬ තව දුරටත් තීව්‍ර  වී පැහැදිලි වුවා නම් මෙම ගීතය තවත් සාර්ථක වන්නට ඉඩ තිබුණි. තරිඳු අමිල ගී පද රචකයා මෙම ගීතය මගින් තත්කාලීන සමාජයේ ඝට්ටනය වන ගැටළුවක් ඉතාමත් අපුරුවට මනරම් ගීතයකට නංවා ඇති ආකාරය ප්‍රසනශනිය වේ.

තොටියකු හැර ගිය ඔරු කඳ රැක ගමි
ගඟ මැද තනිවී  ඉවුරට පැද යමි
ජිවිත ගමනේ කැරකෙන සුළි මැද
මේ පොඩි පැටවුන් සිනහා නගන හඬ
හිමි සඳුනේ ඔබට ඇහෙනවද
සීතල දුරු කොට පැටවුන් සුරකිමි
ඔරුවේ තිබෙනා වස්තුව එයමයි
දෙනෙත් පියාගෙන ඉන්න වරම් නෑ
රකුසන්ගේ සෙවණැලි මතු වේ
රැහැයියනේ ඔය දුක් ගී ගයලා
ගොම්මන් අඳුරේ මා තනි කර දා
පැටව් පියාපත් සලනා දවසට
සැනසුම් සුසුමක හිත සතපනවා

පද - තරිඳු අමිල සොයුරා
සංගීතය - බිබිලාදෙණියේ මහානාම හිමියන්
ගායනය -දනුශා සමන්මලී සොයුරිය

https://www.facebook.com/1063108997046959/videos/515819782213577/?t=0