‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Monday, February 24, 2020

අකාලයේ නිවී ගිය තවත්........ රතු තරුවක්.... රිචාඩ් ඩි සොයිසා මහතා

Image may contain: 1 person, beard and closeup

කලාකරුවා ජනතා සිත් සතන් තුළ සදාකල් ජිවත් වන්නෙකි..ඔහු භෞතික වශයෙන් අප අතරින් වෙන් වුවත්, නිර්මාණශීලි ආලෝකයෙන් ලොව පුබුදු කරවයි.දැනුමින් ලෝකය ඔපවත් කරවයි.ගුරුවරයකු, මාධ්‍යවේදියකු ,මානව අයිතිවාසිකම් පිළිබඳව ක්‍රියාකාරී මානව හිතවාදියකු , චිචිත්‍ර ශිල්පියෙකු  ග්‍රන්ථ රචකයකු,  සිනමාව හැඩ කළ නළුවකු සහ ඉංග්‍රීසි පද්‍ය රචනා කල ශ්‍රී ලංකික කවියකු ලෙස ඉමහත් සේවයක් ඉටු කල රිචඩ් සොයිසා මහතා වියෝවී පසුගිය පෙබරවාරි මස 18වැනිදාට වසර 34ක් සපිරුණි.

පාසැල් කාලයේදී කථිකත්වයට , කාව්‍ය නිර්මාණයන්ට සේම රඟපෑමට එක ලෙස දස්කම් පෑ රිචඩ් ඉංග්‍රීසි සාහිත්‍ය සඳහා සම්මාන තුනක් දිනාගත්තේය. ශේක්ස්පියරියානු ඉංග්‍රීසි නාට්‍යය නාට්‍ය තරඟාවලියේ හොඳම නළුවාට හිමි සම්මානය දෙවරක්ම ජයග්‍රහණය කිරීමට තරම්  ඔහුගේ රඟපෑමෙන් නාට්‍යය  ඔපවත් විය. එලෙසම පාසල් පාර්ලිමේන්තුවේ සමාජවාදී පක්ෂයේ නායක, කතා නායක වැනි තනතුරු හෙවබවිම සේම විවාද කණ්ඩායමේ මෙහෙයුම්කරු වුයේද රිචඩ් ය.

1972 වර්ෂයේදී ජාතික පාසල් ඉංග්‍රීසි නාට්‍යය උළලේදී , ශේක්ස්ප්රියානු නාට්‍ය වල රඟපෑ හොඳම නළුවා ලෙස සම්මානයටද පාත්‍ර විය.Angela DE Silva (ඇන්ජිලා ද සිල්වා ) යන අන්වර්ථ නාමයෙන් නිර්මාණ කලාවේ නියැළුණු රිචඩ් මැණික් දී සොයිසා අප ඉපදීමටත් වසර ගණනාවකට පෙර මිය ගිය නමුත්, උසස් අධ්‍යාපනය සඳහා අධ්‍යයනය කල ඉංග්‍රීසි පද්‍යවල ඔහු මැවූ රූ රටා තුළින් අප පන්නරය ලැබුවෙමු.  ඔහු ගතකල ජීවිතය සහ ඔහුගේ ක්‍රියාකාරකම් සංස්කෘතික සේම දේශපාලනික වශයෙන් ද  මිනිසුන්ගේ හදවත් තුළ නොමැකෙන සලකුණක් තබන ලදී. ඔහුගේ නිර්මාණ මිනිසුන්ගේ හැඟීම් උත්පාදනය කිරීමට තරම් ප්‍රභල වූ දාර්ශනික බවකින් යුක්ත විය.

රිචඩ්ගේ පන්හිඳින්  ලියැවුණු කාව්‍ය නිර්මාණ, පුවත්පත් වල පිටු පුරා ලියවුණු ලිපි පෙළවල් සමාජ සාධාරණත්වය උදෙසා ඔහු සිදුකල මානව කර්තව්‍යයේ ගැඹුරු බව  බව මොනවට පැහැදිලි කරයි.

ඉංග්‍රීසි බසින් ගද්‍ය , පද්‍ය රචනා කරන  ශ්‍රී ලාංකිකයින් සිටිනුයේ සීමිත සංඛ්‍යාවක් වන අතර රිචඩ් ඩි සොයිසා මහතා අතින් 1977 - 1990 අතර වටිනා සාහිත්‍යමය නිර්මාණ රැසක් නිර්මාණය විය. ඒ අතර

Gajaga Wannama
This other Eden and Collected Poems of Richard De Zoysa 1991
Animal Crackers
Lepidoptera 1983
Birds ,Beast and Relatives
Good Friday 1975
Sic Transit
Taking of Michel Angelo
The Poet
Rites of Passage  -1984 යන නිර්මාණ විය.

රිචඩ් විසින් රචිත කාව්‍ය නිර්මාණ තුළ එහි අන්තරගත තීව්ර  දේශපාලන විවරණ සහ ගැඹුරු සමාජ විඥානය බොහෝ විචාරකයින්ගේ පැසසුමට ලක් විය. 1980 ගණන් වලදී ඔහුගේ නිර්මාණ කලාත්මක බවෙන් එහා ගිය දේශපාලනික ක්‍රියාකාරිත්වයක් උදෙසා නිර්මාණය වුන ප්‍රක්ෂණයක් බව අපිට දැකිය හැකි ප්‍රධානම කරුණ වේ.එලෙසම කවිය හරහා පාලන අධිකාරියට ඔහු අභියෝග කරන බව මැනවින් දක්නට ලැබෙන කරුණකි.

" මේ අතරම ඔහු ඉංග්‍රීසියෙන් සිතන මතන, ලියවන කියවන පැළන්තියෙ මහත් පැසසුමට ලක්වුන නිර්මාණකරුවකු විය. වඩාත් සමාජයේ සංවේදීතාව විෂය කරගනිමින් කවි ලිවීමට ඔහු උත්සුක විය. ඔහුගේ ඇවෑමෙන් පසු පළ කරන ලද  "The Other Eden"  (මේ තවත් ආදම් උයනක් " නමැති කුඩා කාව්‍ය සංග්‍රහය මෙහිලා නිදසුනක් ලෙස දැක්විය හැකිය. පහත දැක්වෙන්නේ එයින් උපුටා ගත් Rites to pssage  නමැති කාව්‍යයෙන් ඛණ්ඩයකි. මෙය නම් කොට ඇත්තේ 1988 වසර යනුවෙන් දැක්වෙන " යනුවෙන් දැක්වෙන අනු ජේදය යටතේය.

"කෙසේ නමුදු දැන් ඔහු මිය ගොසිනි.
ම්ස්ස් ජිවතුන් අතර ය.
අවසානයේ යුද්ධය ඔහු රැගෙන ගියේ ය,
ඔහුට පදක්කමක් ලැබිණි.
ජාතියේ සහ ප්‍රජාතන්ත්‍රවාදයේ  ආරක්ෂකයා '
තවමත් ප්‍රජාතන්ත්‍රවාදය සොයා යනව ද ?
බෝම්බ සහ මේ වැටවල "

" තිස්ස නිහාල් වික්‍රමසිංහ 
ලංකා ඉරිදා සංග්‍රහය "2024/02/22."
පිටු අංක 30. " 
රිචඩ් දී සොයිසා නිහඬ කළ හඬ.
"ප්‍රභාත් චින්තක මීගොඩගේ."

එකල පද්ධතියේ පැවතුනු ගැටළු පිළිබඳව වියුක්තව කතා කල අනිකුත් සමකලිකයින් මෙන් නොව රිචඩ් විසින් භීෂණයේ නිර්මාණකරුවන්ව බියකින්, සැකයකින් තොරව විවේචනය කළේය.. ඔහු නිවැරදිව සත්‍ය ගවේෂණය කරමින් ගමන ගිය අභීත ජනමාධ්‍යවේදියෙකු විය. ඔහුගේ මෙම ප්‍රගතශීලි ගමන ඔහුට අභාග්‍යසම්පන්න අවසන් ගමනක් ලඟා කර දීමටද හේතු විය.





ඔහුගේ අනුස්මරණ දිනට ඇත්තේ සති කිහිපයකි. ඊට  දින කිහිපයකට හෝ පපෙර  ඔහු පිලිබඳ සටහනක් තැබීම යුතුකමක් සේ සලකමි.
ඔහුගේ රචනා වල සමකාලින සමාජය  සහ කියවීමෙන් ලද පුළුල් අත්දැකීම් පිළිඹිබු කරන අතර දේශපාලනය සහ බහුවිධ අර්ථ නිරුපණයන් සටහන් වේ.ඔහු සමාජ අසාධාරණයට , ළමා හිංසනයට සහ හිංසාවට විරුද්ධව කෙලින්ම තම ඇඟිල්ල දිගු කළේය. කවිය හරහා අධිකාරි බලයට රිචඩ් විසින් අභියෝග කල බව අපට හොදින් වැටහෙන කරුණකි.

"This other Eden and collected poems of Richard De Zoysa ඔහු රචනා කල කෘතීන් දෙකකි.

ගුරුවරයකු ලෙස අපගේ අධ්‍යාපන පද්ධතියේ ඇති දුර්වලතා විවේචනයට ලක් කරමින් ,
" ලැපිඩෝප්ටේරා" (Lepidoptera ) පද්‍යය ඉතාමත් රසවත් මෙන්ම අරුත්බරව රචනා කළේය.Lepidoptera යනු සමනලයාට යොදන විද්‍යාත්මක නාමයකි. තමන් වෙතට ඉගෙනීමට ආ දක්ෂ සිසුවකු එවටකට පැවති ක්‍රමවේද තුළින් මෙරට  විශ්ව විද්‍යාල අධ්‍යාපනයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබීමට අසමත් වීම මෙම පද්‍යයට සන්ධර්භය විය.

නමුත් වසර කිහිපයකට පසු එම ශිෂ්‍යයා ඔහු අමතා පැවසුවේ තමා විදේශගත වී පශ්චාත් උපාධියකට සුදානම් වන බවයි.සමනලයකු මෙන් පාසැල වෙතට  පැමිණෙන දරුවා  බිත්ති හතරක් තුළ  තරඟකාරී අධ්‍යාපන ක්‍රමය තුළින් සිරකර ,  ඔහුගේ අලංකාර තටු සිඳබිඳ දමන්නෙමු. මෙතැනදී ගුරුවරයා මෙන්ම දරුවාද අසරණ වෙයි.

අධ්‍යාපනික පාලක පන්තිය ඔවුන්ගේ පමණ ඉක්මවා ගිය බලය පාවිච්චි කර දරුවාගේ ජිවය (Spirit ) නසා දමන අතර , ඔහු පැමිණෙන අධ්‍යාපන මට්ටම "වර්ධනය "ලෙස ලේබල් කරයි. 
රිචඩ්  ,  පවතින  අධ්‍යාපනික රටාව තුළ  දරුවකු පිඩනයට පත්වෙන ආකාරය දක්වන්නේ (Flat with Heavy Footed ) බර පාවහන් වලින් පාගා දැමීමක් ලෙසිනි. විශ්වවිද්‍යාලයේ දී ඔහු දේශපාලන අතකොළුවක් බවට පත්වේ.

Image result for richard de zoysa

ගජගා වන්නම යනු දේශීය වන්නම් 18න් හස්තියාගේ හැසිරීම නිරුපණය කරන අලංකාර කළා අංගයකි."Gajaga Wannama " නමැති ඉංග්‍රීසි පද්‍ය තවත් ඔහුගේ උපහාසාත්මක ,   විවේචනාත්මක නිර්මාණශීලි මෙන්ම විවාදයට  ලක්වූ කාව්‍යය නිරමාණයකි.
1977- 1994  සමයේදී  හා 1983 කළු ජුලි සමයේදී පාලනය සහ නීතියේ බලය අතට ගත් දේශපාලන හෙන්චයියන් පිරිසක් හැසිරුණ ආකාරය මින් විස්තර කරයි.ඔහු මෙහිදී "අලියා " යන පදයෙන් කිසියම් දේශපාලන පක්ෂයක ශිෂ්ඨ නොවූ  අන්තයක් අර්ථවත්  කරයි."

"The elephants are out. Last night they marched
Gorgeous through streets, caparisoned like kings,
Electric radiance shattering the night,
Laden with relics, talismans and things. "

(රාත්‍රියේ දී  මහ මගට පැමිණෙන හස්තිහු   - මග දෙපස විනාස කරමින් ඉදිරියට ඇදෙති.
අලංකෘත විදුලි පහනින් ආලෝකමත් වූ මාවත්  මැදින් .....
දිදුලන ආලෝකය සසළ කරමින් ......
ඔවුන්ගේ තියුණු දළ වල බලයෙන් 
නීතිය සහ පාලනය අවනීතියක් කරගනිති.

The city froze. Then birds sprang to the air
And men to trees. Vehicles clambered walls.
All order vanished as the blind grey surge
Swept down the arcades and the trumpet calls.

නගරය ශිත වී ගල් විය. කුරුල්ලෝ ඈතට පියාඹා ගියහ.
මිනිස්සු රැකවරණය පතා ගස් ගල් මතට නැග ගත් අතර ,
වාහන තාප්ප අසල දැවී විනාශ වී යයි.
ගිණිගත් නගරය කළු දුමාරයෙන් වැසී යයි.
වාහන වලින්,  ගිලන් රථ වලින් නැගෙන සයිරන් හඬ
අලින්ගේ කුංචනාදයට සම කරයි.

 (පරිවර්තනය - නිලක්ෂි බණ්ඩාර)

මෙතැනදී කවියා අපිට නිතැතින්ම සිහි කරන්නේ ගංගාරාමයේ මහා පෙරහැරයි.අලංකාර ඇඳුමින් සහ විදුලි බල්බ වලින් සැරසී  හිලෑ අලි සහ ඇත්තු අලංකාරව අභිමානයෙන් පෙරහැරේ ගමන් කරති .රිචඩ් මෙම සිද්ධිය හාස්‍ය ජනිත කරවමින් තම කාව්‍යයට එක් කරයි.1983 කළු ජුලියෙදී මෙම අලිපාද බැඳ තිබු යදම් බිම දමා රිසි සේ විනාශකාරී ලෙස හැසිරෙති.විශාල මිනිස් ඝාතනයක් සහ දේපල විනාශ කරති.නිතිය අතට ගත් ඔවුහු කොළඹ නගරය ලේ විලක් සහ නටඹුන් නගරයක් බවට පත් කරති.මෙම අවස්ථාවේ කොලොම්පුර ඇතුළු මුළු රටේම රජ කරන්නේ කැලෑ නීතියයි.

කවියට පමණක් සිමා නොවූ රිචඩ් වාදන ශිල්පියෙකුද, ලේඛකයකු සේම සිනමා රංගධරයකු ද ලෙසින් ද  ප්‍රකටය.ජාතික රුපවාහිනී සේවයේ ජනප්‍රිය නිවේදකයකු  ලෙස පොදු ජනතාවට සමීපවූ ඔහු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පිරිස් මහතාගේ 1985 දී තිරගත වූ  අපුර්ව නිර්මාණයක් වූ "යුගාන්තය චිත්‍රපටයේ මාලින් කබලානගේ  චරිතයට පණ පෙව්වේය. යස ඉසුරින් පිරි තම සැපවත් ජිවිතයෙන් මිදී විත් පොදු ජනතාව වෙනුවෙන් අභිනික්මන් කර පීඩිත ජනතාව වෙනුවෙන් සටන් වැදි මාලින්ගේ චරිතයට විසල් වටිනාකමක් රිචඩ් විසින් ලබා දුන් බව සිනමා විචාරකයින්ගේ නිරන්තර පැසසුමට ලක්වුණාකරුණක් විය. එමෙන්ම යුගාන්තය, විරාගය සත්‍යග්‍රහනය වැනි චිත්‍රපට වලද , යශෝරාවය ටෙලි නාට්‍යයේද රංගනයෙන් දායකත්වය දැක්වූ ඔහු නාට්‍ය විචාරකයෙකු සහ වේදිකා නළුවකු ලෙසද පතළ විය.

පසුව සංවර්ධන සන්නිවේදනය කෙරෙහි උනන්දුවන්නට පටන් ගත් ඔහු තෙවෙනි ලෝකයේ සුරාකෑම් සහ මානව හිමිකම් කැඩී බිඳී යාම් ගැන කලකිරීමට පත්වුයේ ඔහු සතුවූ මානව ගුණධර්ම නිසාවෙනි.ඒ ඔස්සේ රිචඩ් ට ලිස්බන් නගරයේ ඉන්ටර් ප්‍රෙස් යුරෝපිය මුලස්ථානයේ  විධායක තනතුරක් හිමිවීමත් සමග එහි යාමට සුදානම්ව සිටියදී අකාරුණික ම්ලේජ හස්තයකින් මෙතුමා මරුමුවට පත්වුලේ ලංකාවම හඬවමිනි. ඔහුට දැක්වූ ගරුත්වය නිසාවෙන්ම ඉන්ටර් ප්‍රෙස් මුලස්ථානය විසින් මියගිය රිචඩ් ඩි සොයිසා නමින් නම් කලේ රිචඩ් සිදු කළ අනුපමේය සේවයට උපහාරයක් වශයෙනි.

රිචඩ් දී සොයිසා පිළිබඳව බොහෝ විද්වතුන් දැක්වූ අදහස්  කීපයක් 1990 පෙබරවාරි මස පළවූ දිවයින පුවත් පතින්  උපුටා හැර දක්වමි.

"සිංහල නාට්‍ය ගැන සාකච්ජා කරමින් එහි වර්ධනය පැතූ එකම කලාකරුවා ඔහුය. "
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර "

" ඔහුගේ ජීවිතය අහෝසි කිරීමෙන් ,ප්‍රාණය නමැති අධ්‍යාත්මික පොදු බලවේගය පවා දුබල වී තිබේ."
නෙවිල් ජයවීර 
හිටපු සභාපති / අධ්‍යක්ෂක 
ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාව.

"අපේ වේදිකාවට , ඔහුගේ පරපුරේ අග්‍රතම නළුවකු නැති විය."
සුමිත්‍රා පිරිස්.

"ඔබේ ගැඹුරු ගීතමය හඬින් මන:කල්පිත  ලොවක් මැවූ හැටි....
ලෙස්ටර් ජේම්ස් පිරීස් .



සාහිත්‍ය කලාවට මෙන්ම සමාජයට විසල් මෙහෙවරක් කිරීමට හැකියාව තිබු බුද්ධිමත් ,උගත් පුද්ගලයකු වසර 32ක් වැනි අඩු වයසකදී රටට අහිමි විය.සිය මෑණියන් වන වෛද්‍ය මනෝරානි සෙල්වමුත්තු මහත්මිය සමග සිය නිවසේ සිටියදී 1990 පෙබරවාරි `18 වන දින නාඳුනන පිරිසක් විසින් ඝාතනයට ලක් කරන ලදී..වටිනා සම්පතක් ලොවට අහිමි විය.

දයාබර  ගුරුතුමනි .....
මෙවන් කුරිරු සමාජයක මතුදා නොයිපදෙවා !
ඔබට නිවන් සුව ප්‍රර්ථනා කරමි.


නිලක්ෂි බණ්ඩාර.




Sunday, February 16, 2020

හයිඩි - චන්ද්‍ර අනගිරත්න මහතා

Image result for හයිඩි
ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳු වැටිය පාමුල මනහර කඳුකර පිටිසර පෙදෙසක සෞම්‍ය දේශගුණයෙන් හා සුන්දර පරිසරයෙන් පන්නරය ලැබූ මානව දයාවෙන් වැඩිහිටියන්ගේ සිත් මෙලෙක් කල සුරතල් දැරියක් පිලිබඳ ලයාන්විත කතා පුවතයි ...."හයිඩි " ස්විස්ටර්ලන්තයේ ඇල්ප්ස් කඳුකර ප්‍රදේශයේ ගම්මානයක වෛද්‍යවරයකුගේ දියණියකව උපත ලත් ජෝආනා ස්පයිරි  විසින් 1880දී ජර්මන් බසින් ලියා පලකල (HEIDI'S Years of Wondering and learning )නමැති කෘතිය ඉතා ඉක්මනින් භාෂා ගණනාවකට පරිවර්ථනය කර ඇත..1999 වර්ෂයේදී ප්‍රවීණ මාධ්‍යවේදී සහ ලේඛක චන්ද්‍ර අනගිරත්න මහතා විසින් :හයිඩි " නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

නැන්දණිය විසින් හදාවඩා ගන්නා සුරතල් අනාථ දැරියක වූ හයිඩි පසුව සීයාගේ භාරකාරත්වයට පත්වන අතර , විශ්‍රාමික සොල්දාදුවකු වූ සීයාගේ දරදඬු ගතිගුණ මෙලෙක් කිරීමට සමත් වේ.සීයාගේ කඳුකර නිවහනේදී හමුවන බැටළු එඬේර කොලුවකු වන පීටර් ඇයගේ හොඳම මිතුරා බවට පත්වන අතර ඔහු නිසා හයිඩි පරිසරයේ බොහෝ දේවල් ඉගෙන ගනී.මෙම කතාවෙහි ඔවුන් ජිවත් වන කැලෑ මල් ,කඳුවැටි ,දියපහරවල්  සහ සුන්දර තණබිම් වලින් ගහණ වූ සුරලොවක් බඳු සුන්දර පරිසරය ළමා මනස මෙන්ම වැඩිහිටියන්ගේ මනස පවා පරාදිසයකට ගෙන යාමට සමත් වේ.

වසර තුනකට පසු  නැන්දණිය නැවත පැමිණ  ධනවත් අබාධිත දැරියකගේ සහයට  ඇය කැඳවාගෙන ජනාකීර්ණ ෆ්රන්පර්ට් නගරයට යාම හයිඩිගේ ජිවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වේ.තමා ප්‍රිය කරන පරිසරයෙන් මෙන්ම ජනාකීර්ණ නගරයකට සංක්‍රමණය වන දරුවකු මුහුණ පාන මානසික පීඩනය කතුවරිය විස්තර කරයි.රාත්‍රියේ ඇවිදීම ,සිතින් ප්‍රිය කරන පරිසරයෙහි ජිවත් වීම, එම පරිසරය සොයා යාම  වැනි පුරුදු ඇයගේ මානසික ව්‍යකුලතාවය පෙන්නුම් කරයි.මෙය වත්මන් ලෝකයේ මිනිසා මුහුණ පාන නාගරීකරණ ගැටළු පිලිබඳ විග්‍රහයක් වැනිය.

පරිසරය සහ මිනිසා අතර පවත්නා අන්‍යොන්‍ය සම්බන්දතාවය ... ඔහුගේ සියලුම ලෙඩ රෝග සුවපත් කිරීමට හේතුවන ආකාරයත් පරිසරයෙන් වෙන් කල කළ පසු  විවිධ ව්‍යවසනයන්ට මුහුණ පාන ආකාරයත් "හයිඩි "නවකතාවේ තේමාවයි.එමෙන්ම ලේඛිකාව දේව භක්තිය තීව්‍ර වන ආකාරයෙන් මෙම කතාව රචනා කර ඇත.

කරදරයක් වුනාම අපි ඉවසන්න ඕනි.ඒ දුක අස්සෙන් යම් කිසි හොඳ දෙයක් දෙන්න දෙවියෝ බලාගෙන ඉන්නවා.හැමදාම නරක කාලයම කියලා හිත හිත ඉන්න එක වැරදියි." ආගම දහම ගැන විශ්වාසය බාධක තරණය කර ජීවිතය ජය ගැනීමට මිනිසාට තල්ලුවක් වන ආකාරය මෙම පොතෙහි බොහෝ තැන්වල සඳහන් වේ.එමෙන්ම ෆ්රන්පර්ට් වලදී හමුවන ක්ලාරා ගේ ආච්චි අම්මාගෙන් හයිඩි ලබා ගන්නා ආගම දහම පිලිබඳ නැඹුරුව ඇයගේ ඉදිරි ජීවිතය සාර්ථක කර ගැනීමටත් පල්ලියෙන් සහ සාමාන්‍ය සමාජයෙන් ඈත් ව කඳු මුදුනක තනා ගත් පැල් කොටයක ජිවත් වන සියා පල්ලියේ පරිසරයට නැඹුරු කිරීමටත් ,ගැමියන්ගේ ආදර ගෞරවයට පාත්‍ර වීමට හේතුවක් වේ.

හයිඩි දැරියට දක්වන සෙනෙහස නිසා රළු පුද්ගලයකු වූ සියා පරෝපකරයට නැඹුරු වූ යහපත් පුද්ගලයකු වීම ,ආදරය නිසා ගලක් වන් සිතක් මලක්වූ ආකාරය පිලිබඳ දහම අනාවරණය කරයි.සමහර විචාරකයින්ගේ මතය අනුව මෙම කතාවෙට පාදක වන චමත්කාරජනක පාරිසරික ව්ස්තරය ස්විස් ජාතික ජෝආනා  තම රට පිළිබඳව කරන භක්ති  ගායනයක් බඳුය.

ළමා මනෝවිද්‍යාව සහ ළමා මනස පිලිබඳව නිසි අවබෝධයක් නැති අබාධිත දැරියගේ පාලිකාව ළමුන්ට  සලකන ආකාරය ඔවුන්ගේ අබාධිත තත්වයන් තවත් ව්‍යාකුල කිරීමට හේතුවේ.මෙහිදී දැඩි මානසික සංයමයකින් යුත් ක්ලාරා ගේ ආච්චි අම්මා පොත් පත් අභ්‍යාස ,වෙනත් බඩු භාණ්ඩ මගින් සාර්ථක මනෝ විසේසඥවරියක්  මෙන් දැරියන් දෙදෙනා හොඳ හැසිරීම් රටාවකට සහ අධ්‍යාපනයට යොමු කරන ආකාරය ප්‍රසංශනිය  වේ.


ආච්චි අම්මා පළමුව කතා පොතක පින්තුර පෙන්වා කතාව කියා දී කතාව කියවීමට ආශාවක් ඇති කර දෙවනුව හයිඩිට අකුරු උගන්වයි. මෙම සාර්ථකත්වය ඇයගේ ගුරුතුමා පවා විශ්මයට පත්කිරීමට සමත් වේ.අනාථ දරුවකු වුවද වැඩිහිටියන්ට සැලකීම , ආදරය කිරීම .ගිලනුන්ට උපස්ථාන කිරීම , සීයාගෙන් උගත් නිවස පිරිසිදුව තබා ගැනීම වැනි මනා ගතිගුණ ඇය තුල පිහිටා ඇත.ඇය පීටර් නමැති ගොපලු දරුවාගේ ඇස් අන්ධ ආච්චි අම්මාට දැඩි ලෙස ආදරය කිරීම මෙයට නිදසුනකි.

ළමා නවකතාවක් ලෙස රචනා වුවද හයිඩි ළමා වැඩිහිටි කාටත් එකසේ රසවිඳිය හැකි ජිවිතයට උගත හැකි පාඩම් රාශියකින් යුත් ග්‍රන්ථයක් ලෙස හැඳින්විය හැක.














Sunday, February 9, 2020

ජීවිතය

සමහරුන් ඔබ ඔවුන්ගේ ජිවිතයෙන් දුරස් වන තුරුම ඔබව අගය නොකරනු ඇත.ඔවුන් බලාපොරොත්තු වන සහයෝගය ඔබ තව දුරටත් ඔවුන්ට නොදෙන විට,පෙර මෙන් ඔබ කෙටි පණිවිඩයක් හෝ නොතබමින් ඔවුන්ව නොසලකා හරින විට ,ඔබ තව දුරටත් ඔවුන්ගේ දුරකථන ඇමතුමක් සඳහා කාලය වෙන් නොකරන විට ඔබගේ අගය ඔවුන්ට දැනෙන්නට පටන් ගනී.

ඔබ ඔවුන්ට කොතෙක් ආදරය කලාද යන්න ඔවුන් වෙන කෙනෙකුගෙන් දරුණු වෙන්විමකට ලක්වෙන තෙක් තෙරුන් නොගනී. එමෙන්ම ඔවුන්ගේ සෑම දුකකදිම ,වේදනාවකදිම ඔවුන්ට ආදරයක් සෙනෙහසක් අවැසි විටකදී මෙන්ම ඔවුන් ව සෑම ගැටලුවකදිම ඔබ ආරක්ෂා කරද්දී ,ලඟින් හිඳිද්දී ඔබගේ අගය ඔවුන්ට නොදැනෙනු ඇත. ඔබ ඔහුට සිතේ ඇති සෙනෙහස කීමට ඇමතුමක් ගැනීම පවා කරදරයක් ලෙස සිතයි.නමුත් සැමවිටම ඔබ සිතන්නේ ඔහුගේ හෝ ඇයගේ සතුට ගැනයි.නමුත් ඔවුන් එය නොසලකා හරින විට සිත තුල ඇති වන්නේ විසල් කලකිරීමක් පමණයි.

ඔවුන් ඔබගේ අවධානය අහිමි වූ පසු නැවතත් ඔබගේ අවධානය ලබා ගැනීමට උත්සහ දරයි.ඔවුන් ඔබව සමහර  විටක යටත් කර ගැනීමට උත්සහ දරන්නේද ඔවුන්ට යමක් අහිමිවූ විටකදිය.එමෙන්ම ඔබට ඔවුන් හැර වෙනත් විකල්පයක් ඇති බව දැනගත් විට මෙන්ම ඔවුන්ට වඩා වෙනත් අයකු ඔබ වෙත සෙනෙහසක් දක්වන බව දැනගත් විට ආත්මාර්ථකාමී ලෙස ඔවුන් ඔබ වෙත ලංවීමට උත්සහ ගනියි.

එමෙන්ම සමහරුන් ඔබට මග ඇරෙනු ඇත්තේ ඔබ ඔවුන් අමතක කල විට පමණක් විය හැකියි.ඔබ ඔවුන්ට සුවිශේෂී අවස්තාවක සුබ පැතීම අමතක කල විට ,ඔවුන්ගේ ප්‍රියතම දේවල් ඔබ අමතක කල විට ,ඔවුන්ගේ රහස් ඔබේ සිතින් ඔබ ඉවත් කල දැමු පසු ඔබට ඔවුන්ගේ සෑම මතකයක්ම ජිවිතයෙන් ඉවත් කල පසු ඔබට ඔවුන්ව මෙන්ම ඔවුන් ඔබේ සිත තුල ඇතිකළ හැඟීම් ද  නොසිතාම අමතක විය හැක.

ඔබ ඉවත්වී යන විට පමණක් ඔබට ගරු කරන පිරිසක්ද සිටි.ඔබ ඔවුන් වෙනුවෙන් ඔබවම පරිත්‍යාග කල බව සිහිපත් වන විට ,ඔබ ඔවුන්ට කොතෙක් වරක් නැවත නැවතත් සමාව දුන්නාද යන බව මතක් වන විට ඔබ ඔවුන්ගෙන් ඈත් වී ගොසිනි.නමුදු ඔවුන් එය සිතන්නේ ඔබේ ඉවසීම සහ අවබෝධය ලෙස නොව ඔබගේ දුර්වලතාවයක් ලෙසය.

තවත් විටෙක  යමෙකුට ආදරය කිරීම නැවැත්වීමෙන් පසු ඔවුන් ඔබට නැවත ආදරය කරන්න පටන් ගනී.මන්ද ඔබගේ වටිනාකම ඔවුන්ට දැනෙන්නට පටන් ගන්නේ ඔබ ඔවුන්ගෙන් ඈත් වුන පසුවයි.ඔබ පෙර මෙන් ඔවුන් ගැන සොයා නොබලා සිටින විට නැවතත් ඔවුන් විසින් කඩා බිඳ දැමු  ඔබගේ හදවත ඉදිරියෙහි ඔවුන්ගේ හදවත විවුර්ත කිරීමට උත්සහ ගනී.

ලොව ඇත්තේ යාම් ඊම්ය .
නෑවිත් යන්නට බැරිය
නොගොස් එන්නට බැරිය - මල ගිය අවුරුදු දා - එදිරිවීර සරත්චන්ද්‍රයන්






රොමාගේ වාසනාව- ඊ ආර් එරත්න මහතා

Image result for රොමාගේ වාසනාව"ඉංග්‍රීසි සාහිත්‍ය පෝෂණය කල දෙනුවර අන්දරය, ඔලිවර් ට්විස්ට් වැනි නව කතා රචනා කල 19 වන සියවසේ ශ්‍රේෂ්ඨ ලේඛකයකු වූ , චාල්ස් ඩිකන්ස් විසින් රචිත තවත් සම්භාව්‍ය කෘතියක් නම් Great Expectation නවකතාවයි.1861 දී රචිත මෙම ග්‍රන්ථය භාෂා රාශියකට පරිවර්තනය කර ඇති අතර ඊ ආර් එරත්න මහතා විසින් 1944 වසරේදී   "රොමාගේ වාසනාව" නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.නාවික හමුදා කාර්යාලයේ ලිපිකරුවකු වූ ජෝන් ඩිකන්ස් ගේ දරුවන් අටදෙනා අතරින් දෙවෙනියා වශයෙන් උපත ලද චාල්ස් පියාගේ ණය බර නිසා අඟහිඟකම් වලින් පිරුණු ජිවිතයක් ගත කළේය.කාර්යාල සේවකයකු , උසාවේ නඩු වර්තාකරන්නකු  වශයෙන් ඔහු ලද අත්දැකීම් මෙම සමාජ විවරණය රචනය සඳහා හේතු පාදක විය.

ඔහුගේ සමාජ තත්වය නිසා ඔහු ආදරය කල උසස් පන්තියකට අයත් ගැහැණු ළමයා විසින්ද ඔහුව ප්‍රතික්ෂේප කරන ලදී.මේ සියලු අත්දැකීම් අළලා ලියන ලද සාර්ථක නව කතාවක් වූ Great Expectation  තුල සමකාලින ලන්ඩන් නගරයේ සමාජ පන්ති බෙදීම, පන්ති පරතරය සහ කාන්තාවන් කිහිපදෙනෙකු මුහුණ දුන් විවිධාකාර අත්දැකීම් විවරණයට ලක් කර ඇත.

එකල ලන්ඩන් සමාජය ත්‍රිකෝණයක් ලෙස ඩිකන්ස් දුටු අතර එක කොණක ධනවත් ප්‍රභූ පන්තියද, තවත් කොණක නිර්ධන පන්තියද , අනෙක් පස පාතල ලෝකයද ක්‍රියාත්මක වූ අතර මෙම කාන්තා චරිත ඔවුන්ගේ දැඩි ග්‍රහණයට ලක් විය.

ප්‍රධාන චරිතයක් වන හැවිශාම්  මෙනවිය පියාගේ ධනයෙන් යැපෙන විවාහය කඩවී මානසික රෝගියකු බවට පත්ව මගුල් ඇඳුමින් සැරසී ස්වයං සිරකරියක් වී දිවි ගෙවන අත්භූත චරිතයකි.මේ අතර කතා නායිකාව වන නෝරා හැවිශාම්ගේ ධනය බලය ආරෝපණය කර ගත් අවසානයේ එම සිහින ලෝක දෙදරා යන සමාජයේ අපරාධකරුවන් දෙදෙනෙකුගේ දියණියකි. නෝරා හැවිශාම් හදාවඩා ගත් දියණිය වන අතර පිරිමින් පිඩාවට පත් කිරීම සඳහා ඇයව පුරුදු පුහුණු කිරීම මෙම නවකතාවට මනෝවිද්‍යාත්මක ප්‍රවේශයක් ලබා දෙයි..මෙවැනි සිද්ධීන් 19 වන සියවසේ පමණක් නොව වත්මන් සමාජයේ පවා දක්නට ලැබේ.

මෙම කෘතිය සැබෑ ලෝකය මෙන්ම ෆැන්ටසිය ද පදනම් කරගෙන ලියවී ඇති අතර එකල පැවති වික්ටෝරියානු සමාජ ක්‍රමය දැඩි ලෙස විවේචනයට ලක් කරයි.යුරෝපයේ ඇතිවූ කඩිනම් කාර්මික විප්ලවයේ අතුරු ඵලයක් ලෙස ඇතිවූ සමාජ පන්තින් අතර අරගලය ඩිකන්ස් සාර්ථක ලෙස ඉදිරිපත් කරයි.මිනිසා සොයා යන උදාර අපේක්ෂාව වෙත ඔහුට ලඟා විය හැකිද යන ප්‍රශ්නය මෙම සෑම චරිතයක් තුලම ගැබ්වී ඇත. කතා නායකයා වන පිප් හෙවත් රොමා ආධුනිකයකු ලෙස ලන්ඩන් නගරයට පැමිණ එම පරිසරයට ඇබ්බැහිවීම ,මුදල් විසින් ඔහුව වැරදි මාර්ගයට යොමු කිරීම සහ පසුව ඔහු අපේක්ෂා කරන ජිවිතයට යොමුවීම ඩිකන්ස් සමාජයට දෙන ආදර්ශයයි.සත්‍ය වශයෙන්ම මෙම චරිතය තුළ ගැබ්ව ඇත්තේ දිළිඳු පුද්ගලයකු ලෙස ළමා විය ගත කල ඩිකන්ස් ගේ උදාර අපේක්ශාවන්ය.

අනාථයකු වශයෙන් උපත ලබන පිප් යහපත් මිනිසකු කිරීම උදෙසා කිසිඳු ලාබ  ප්‍රයෝජනයක් බලාපොරොත්තු නොවී කම්මල්කරුවකු වන ඔහුගේ මස්සිනා වූ ජෝ ගන්නා උත්සාහය මෙම නවකතාවට  ආලෝකයකි. අයහපත් සමාජ පන්තීන් තුල රැල්ලට අසු නොවී ජිවත් වන මිනිසුන් පිලිබඳ කදිම පණිවිඩයක් ජෝ සහ ඔහුගේ බිරිඳ වූ බිඩි හරහා ලේඛකයා විසින් සමාජගත කරයි.කාර්මිකරණයට හා නාගරීකරණයට අසු නොවී ජිවත් වන මෙවැනි තුලනාත්මක චරිත අද සමාජයේද ඉඳ හිට අපට දැකිය හැක.

එකල ලන්ඩන් සමාජයේ නීතිය, දුප්පතුන් සඳහා සාධාරණත්වයක් ඉටු කලේද යන්න අපරාධයකට සම්බන්ධ වූ මොලී දක්ෂ නීතිඥයකුගේ මෙහෙකාරියක ලෙස ස්වයං සිරගතවිමකට ලක්වීම පාඨකයාට ප්‍රශ්නාර්ථයකි.මෙහි සඳහන් කතා නායිකාව වන නෝරා ගේ දෙමවිපියන් කවුද යන ප්‍රශ්නයට නෝරා ,හැවිශාම් මෙනවියට බාර දුන් නීතිඥ මහතා ගේ හෙළිදරව්ව මෙයට නිදසුනකි.

"දැන් ඒ රහස එළිදරව් කරලා, ඇගේ දෙමවුපියන් හෙළිදරව් කරලා ඇගේ ස්වාමි පුරුෂයාට ඔය කාරණය දැනගන්න ඉඩ දුන්නොත් ඇයට නම් සෙතක් වෙන්නේ නෑ."
රොමේන්... තමුසෙට විතරක් නෙමෙයි දහස් ගණන් පිරිමින්ට උඹට වඩා ලොක්කන්ට ඔය හීනෙ පේනවා..."

වික්ටෝරියානු සමාජයේ පන්ති භේදය විස්තර කරන මෙම නවකතාව තත්කාලීන සමාජයම විවරණය කරන්නකි.












Wednesday, February 5, 2020

මියන්මාරයේ විශ්මිත ක්‍යක්තියෝ චෛත්‍යය

Golden Rock - Kyaiktiyo Pagoda - Kyaiktiyo Pagodaක්‍යක්තියෝ පැගෝඩා චෛත්‍ය බුරුමයේ මොන් ප්‍රාන්තයේ පිහිටා ඇති අතර එය බුරුම රටේ වඩාත් ප්‍රසිද්ධ වූද කැපී පෙනෙන්නාවුද ආගමික ස්ථාන තුනෙන් එකකි.මුන් ජනපදය බෙහෙවින්ම පතලව ඇත්තේ එහි කඳු මුදුනෙහි  විශාල ස්වර්ණ  ගල් කුල මත පිහිටා ඇති  චෛත්‍ය නිසාය.මෙහි විශේෂත්වය වන්නේ ගල් කුල මත අඩමානව පිහිටා තිබීමයි.දැනට එය ගල්කුලට සම්බන්ධ වන සේ  රන් බදාමයක් යොදා ඇත.

එහි සියවස් ගණනක සිට නැරඹීමට පැමිණෙන බෞද්ධයින් විසින් රන් කොළ අලවා තිබෙනු දක්නට ලැබේ.ක්‍යක්තියෝ කඳු මුදුනේ ඇති මෙම පාෂාණය පිහිටා ඇත්තේ කෙසේද යන්න පිළිබඳව කිසිවෙකුතවත් නියමිත අදහසක් දිය නොහැක.ග්‍රැනයිට් වර්ගයේ ගල් කුලක් වන අතර සාමාන්යෙන් ග්‍රැනයිට් සමබරතාවය සුරකින පාෂාණ වර්ගයක් වන අතර එය පොලවේ ගුරුත්වාකර්ෂණ බලය ප්‍රතික්ෂේප කරන බව කියවේ.එම හේතුව නිසා මෙම ගල්කුල නොවැටි තිබේයැයි අපිට නිමානය කල හැක. මේ පිළිබඳව බුරුමයේ සුපතල කියමනක් ඇත.
එනම්
මෙම ගුරුත්වාකර්ෂණ බලය නොසලකා හරින ඕනෑම පුද්ගලයෙකු රන් පර්වතය දෙස බැලීමෙන් බුදුදහම වැළඳ ගැනීමට පෙළඹෙන බවයි.

නිරුක්තිය

මොන් භාෂාවෙන් කයික් යන වචනයේ තේරුම ගත් විට පැගෝඩා යන අර්ථය දෙන අතර yo යන්නෙන් භික්ෂුන් වහන්සේගේ හිස යන අදහස ගෙනෙන අතර කයක්තියෝ පැගෝඩා යනු ඉංග්‍රීසි බසින් පැගෝඩා ආරාමයේ හිස යන අර්ථය ගත හැකිය.


පිහිටි ස්ථානය

ක්‍යක්තියෝ  පැගෝඩා ව ටෙනරිසම් මුහුදු තීරයේ සිට මීටර් 1100ක උසින් පිහිටා ඇත.මෙම කඳුකරය නැගෙනහිර යොමා කඳුකරයේ හෝ කෙලෙසා කඳුකරයේ කොටසක් වන අතර යෝන්ගොන් නගරයේ සිට කිලෝමීටර් 210ක් දුරින් පිහිටා ඇත.චෛත්‍යයට ආසන්නයෙන්ම පිහිටි ගම්මානය කිංපුන් වන අතර දේවමලිගය වන්දනා කිරීමට ඉහලට ගමන් කල යුතුය.කාරයකින් ගමන් කල හැකි අවසාන ස්ථානය යොන්ටෝන් වන අතර එතන සිට බැතිමතුන් පාගමනින් යා යුතුය.

Image result for the history of kyaiktiyo pagoda"

පුරාවෘත සහ ඉතිහාසය

බුරුම ජන කතා වලට අනුව බුදුරජාණන් වහන්සේ වරක් තායික් තා නම් තාපසයෙකුට තම හිසකෙස් කිහිපයක් දුන් බවත් තවුසා විසින් එය ආරක්ෂිතව තම කෙස් කළඹේ එය ගැට ගසා පසුව රජතුමාට ප්‍රධානය කල බව කියවේ.ඔහුගේ පැතුම වී ඇත්තේ බුදුන්වහන්සේගේ හිසකෙස් නිදන් කර ඇති ගල්කුල තාපසයෙකුගේ හිසක හැඩයකින් නිර්මිත වීමයි.රජතුමාට අනුව ඔහු සතු අත්භූත බලය ලැබී ඇත්තේ ආදී රසායන විද්‍යාඥයකු වූ සැව්ගි නම් ඔහුගේ පියාගෙනුත් ,සර්ප මකර කුමරියක වූ මවගෙනුත්ය.එම නිසා රජු දෙමවුපියන් සමගින් මුහුදු පතුලේ පිහිටි රවුම් කඳු මුඳුන නිවහන කරගෙන තිබේ.ඉන්පසුව බෞද්ධ විශ්ව විද්‍යාවට අනුව ත්වදින්තා ස්වර්ගයට අධිපති රජු ලෙස හඳුන්වන තග්යාමින් රජුගේ උපකාර ඇතිව ගල් තලාව තැබීමට ස්ථානයකුත් නුලකින් සම්බන්ධ කල හැකි පැගෝඩාවකුත් නිර්මාණය කර තිබේ.මෙහි තැම්පත් කල බුදුන්වහන්සේගේ හිසකෙස් නිසා මෙම පර්වතය පෙරලි නොයන බවට ජනප්‍රවාදයේ සඳහන් වේ.

මෙම රන් පර්වතය බවට හැරවුන බෝට්ටුව ක්‍යක්තියෝ පැගෝඩා වේ සිට මීටර් 300ක දුරින් ගලක් බවට පරිවර්තනය වී ඇති බව කියවේ.බැතිමතුන් විසින් වන්දනා මාන කරන මෙම ගල ක්යුක්තන්බන් ස්ථුපය ලෙසින් හැඳින්වෙන අතර එය ගල්බෝට්ටු ස්ථුපය යන අර්ථය දේ.

ප්‍රාග් ඓතිහාසික වාර්තා වලට අනුව ,ක්‍රි.පු.581දී තෙක්තධම්ම සිහරාජා  රජු විසින් මෙම පැගෝඩා ව නිර්මාණය කල බව කියවේ.තවත් වාර්තාවකට අනුව 11වන සියවසේදී සංචාරයේ පැමිණි භික්ෂුවක් බුදුන් වහන්සේගේ හිසකෙස් කෙඳි තුනක් තිස්ස රජුට දී එය නිදන් කර භික්ෂු හිසක හැඩති පර්වතයක් නිර්මාණය කරන්නට කි බවද පැවසේ.

කෙසේ වුවද මේ ගැන ඇති ජනප්‍රියම විශ්වාසය වන්නේ කිංපුන් වල පිහිටා ඇති කඳවුරේ සිට මෙම දේව මන්දිරයට වසරකට තුන් වරක් වන්දනා කරන බැතිමතුන්ට ජීවිතය පුරාවටම සමුර්ධිය සහ කිර්තිය ලඟා වෙන බවයි.

අපේක්ෂා කල යුතු දේ

ක්‍යක්තියෝ පැගෝඩා ව මීටර් 7.3ක උසින් යුක්ත වන අතර මීටර් 15ක විශ්කම්භයකින් යුතු වේ.මෙම රන්වන් ගල්පව්ව පාෂාණමය වේදිකාවක් මත පිහිටා ඇති අතර එය ගල්කුලට ආධාරකයක් ලෙස ස්වභාවිකව පිහිටා ඇත.කෙසේ වුවද රන් ගල්කුල පාෂාණ වේදිකාවෙන් වෙන්ව පවතින්නේ කුඩා ස්පර්ශක ප්‍රදේශයකිනි.එම නිසා එය නරඹන්නාට අස්ථිර පිහිටිමකින් යුක්ත ගල්කුලක් බව බැලුබැල්මට පෙනෙන දෙයකි.

රන්වන් කොළවල අඳින ලද නෙලුම් මලක හැඩයෙන් පර්වත පාදම නිර්මාණය කර ඇති අතර ,පර්වතය වට කර සිතුවම් කර ඇත.පැගෝඩා සංකීර්ණයට පඩිපෙලකින් පැමිණෙන බැතිමතුන්ට දේවමලිගාවේ ආලින්දයේ සිට චමත්කාර දර්ශනයක් නැරඹිමට හැකියාව ලැබේ.මෙම අංගනයේ කුඩා විහාර සහ පැගෝඩා ගණනාවක් දක්නට ලැබීමේ විශේෂත්වයකි.මෙම පර්වත අංගනයේ පසෙක ගොන්ගෝ කවය දක්නට ලැබෙන අතර එහි ප්‍රසාදයට කිට්ටුවෙන් දේවදුතයන් ගේ හා නැට් ආත්මයන්ගේ ප්‍රතිමා හතරක් දක්නට ලැබේ.

මෙම පැගෝඩා වට ආසන්නව ආගමික මෙවලම් ,පිළිම අලෙවි කරන වෙළඳ සැල් රැසකින් යුක්ත නගර චතුරශ්‍රයක් පිහිටා ඇති අතර එම පොටෙම්කින් ගම්මානයේ අහාරපාන අලෙවිසැල් , විවිධ තිළිණයන් ආදිය ඇති අලෙවිසැල් වලින් සමන්විතය.
Image result for the history of kyaiktiyo pagoda"

පුජෝත්සවය

වන්දනා සාමය සෑම වසරකම නොවැම්බර් මාසයේ ඇරඹෙන අතර මාර්තු දක්වා අඛණ්ඩව පැවතේ.බැතිමතුන්ට මෙම පුජනිය බිම තුල ප්‍රබෝධමත්ව හා බැතිසිතින් වන්දනා කල හැකි වාතාවරණයක් සැකසේ.උදේ සිට හවස් වන තෙක්ම රන්වන් පර්වතය තේජසින් බැබලෙන ආකාරය දකින්නට ලැබෙන අතර බැතිමතුන්ගේ නමස්කරයන්ගෙන් අවට පරිසරයම දෝංකාර දෙන්නේ අධ්‍යාත්මික පරිසරයක් නිර්මාණය කරමිනි.

දහස්ගණන් බැතිමතුන් සහභාගී වන මෙම උත්සව සමය තුල රාත්‍රිය පුරාම සුවඳ දුම් කුරු සහ හඳුන් කුරු දල්වමින් රාත්‍රිය පුරාම බැතිගී ගායනා කරන අතර ශුද්ධ වූ චාරිත්‍ර අනුගමනය කරමින් ගල් බිත්ති පුරා රන් ආලේපිත කොළ ඇලවීමේ නියුතු වේ.මහලු සහ අබාධිත පුද්ගලයන්ට මුදලක් ගෙවා දේව මන්දිරය වෙත යාමට පොටර්වරුන් සහ ගිලන් ඇඳවල් මිලට ගැනීමේ පහසුකම ඇත.

මාර්තු මාසයේ පුර පසළොස්වක පොහොදිනයේදී ටබෝන්හි මෙම පාෂාණ වේදිකාව දැල්වූ ඉටින්පන්දම් 90000කින් ආලෝකමත් වේ.මෙම බැතිමතුන් බුදුන්වහන්සේට පුජාවක් ලෙස මෙය කරන අතර පුජාවක් ලෙස ඉටිපන්දම් , සුවඳ දුම් සහ පලතුරු පුජා කරයි.

Image result for the history of kyaiktiyo pagoda"


නවාතැන්
වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ක්‍යක්තියෝ කඳු මුදුනේ නවාතැන් තිබුනත් ,කිංපුන් හි කඳවුරේ හෝටලයක් කුලියට ගැනීම සුදුසුවේ.එහි හොඳ හෝටලයක් සහ අවන්හල් ඇති අතර නරඹන්නන් එහි රාත්‍රියක් ගත කර පසුදින උදැසනින් ගමන ඇරඹිය යුතුය.Golden Rock ,Paan Myo Thu,The Mountain Top Hotel
සහ Yoe Yoe Lay මෙම ප්‍රදේශයේ ඇති හොඳ තත්වයේ හෝටල් කිහිපයකි.

පැමිණෙන ආකාරය

මුල් කඳවුරේ සිට වාහනයක් කුලියට ගත හැකි අතර එය බොහෝ විට මගීන්ගෙන් පිරි පවතී.ඒ ඔස්සේ ඔවුන්ට කඳු මුඳුනට ලඟා විය හැකි අතර අලංකාර කඳුකර මාර්ගයක් ඔස්සේ රැගෙන යනු ඇත.එසේ නැතහොත් කිලෝමීටර් 11ක දුරක් කන්දේ ඉහලට නැගිය හැකි අතර සෙවණ සහිත සුන්දර ප්‍රදේශයක් හරහා ගමන් කිරීමට හැකියාව ලැබේ.කඳු මුදුනට යාමට පැය 3,4ක් ගතවන අතර පන්සල් මාර්ගය හොඳින් සකසා ඇත.එසේම යන්ගොන් නගරයේ සිට දුම්රියක් ඔස්සේ පැය 3කින් 4කින් ක්යක්තියෝ සහ කින්පුං ගම්මානයන්ට යා හැකිය.පැය 5ක පමණ දුරකින් බස් රථයෙන් ගමන් කිරීමටද බැතිමතුන්ට හැකියාව ඇති නමුදු දුම්රිය ගමන වඩාත් සුවපහසු වේ.එමෙන්ම සුන්දර බුරුම ගම්මනයන්ද මේ නිසාම නැරඹීමට හැකියාව ලැබේ.











Monday, January 13, 2020

රිදී තරු වියන යට - ප්‍රියංකා කහවණුගොඩ

Image result for රිදී තරු වියන යට"
ගස්වැල් ,වන සතුන් ගහණ සුන්දර පරිසරයක් සහිත නිව්සවුත් වේල්ස්හි උපත ලද Thurley Fowler ලිවීමේ කළාව එම අලංකාර පරිසරයෙන් දායාද කරගත් දැරියක් වුවාය. පවුලේ උදවිය සමග ගොවිපලක ජිවත් වු ඇයගේ පළමු ළමා කතාව වුයේ"Wait for me "කෘතියයි.එය 1982 වසරේදී ඕස්ට්‍රේලියානු ළමා පොත් අතර හොඳම කෘතිය ලෙසින් සම්මානයට පාත්‍ර වුයේය.තෘලි සැමවිටම කුඩා දරුවන් අරබයා තම නිර්මාණයන් ඉදිරිපත් කල අතර "Green Wind" සහ "The Wind is Silver" යන යොවුන් නව කතා යුගල දරුවන් අතරේ මහත් ජනප්‍රියත්වයට පත් වුහ.මෙම කතාව ප්‍රියංකා කහවුණුගොඩ මහත්මිය විසින් "රිදී තරු වියන" යට නමින් සිංහලයට පරිවර්තනය කර ඇත.

Green Wind කෘතිය ඔස්සේ 1948 වසරේදී ප්‍රථමික පාසලේ අවසන් වසරේ ඉගෙනුම ලැබූ 11හැවිරිදි ජෙනිෆර් ඇතුළු රොබින්සන් පවුලේ කතාව පාඨකයින්ට ලං කර ඇත.මොවුන් සියලුම දෙනා පලතුරු වගා කරන ගොවිබිම් ආශ්‍රිත ජනපදයක ජිවත් වන අතර අනිකුත් පවුල් වලට වඩා ගැටළු මැද ජිවත් වූහ.ජෙනිෆර් ,මාග්‍රට් ,ඇලෙක්සැන්ඩර් සහ රිචඩ් මෙම කුඩා පවුලේ දරුවන් වූ අතර මොවුන් එකිනෙකාගෙන් වෙනස් වූ කුසලතාවයන්ගෙන් සපිරුණු දරුවන් සිවුදෙනෙකි.

මේ කතාව ඔස්සේ ගොවිපල ආශ්‍රිත ජිවිතයේ අපුරු නිරුපණයක් දක්නට ලැබෙන අතර විශිෂ්ඨ සංවාදයන් ඇසුරින් කතාව ගලාගෙන යයි.ජෙනිෆර් යනු ආදරණිය චරිතයක් වන අතර සැමදෙනාටම උපකාර කරන සංවේදී නිර්ලෝභී චරිතයකි.මෙම කතාවේ සුවිශේෂිත්වය වන්නේ කතුවරයා විසින් චරිතයන්ගේ ගුණාංග පිලිබඳ මනා සැකසුමකින් යුතුව ඉදිරිපත් කිරීමයි.ජෙනිෆර් අන් අය ඇයට පවසන දේ හෝ ඇය පිලිබඳ සිතන දේවල් පිලිබඳ නොසිතා තම ජීවිතය ඉදිරියටම ගෙනයන චරිතයකි.ඇය ගොවිපලේ වාසය කරමින් ඇයගේ ඉදිරි අනාගතය පිලිබඳ සිහින දකියි.

ඇයට කාව්‍යමය ශෛලියකින් යුතු ලිවීමේ හැකියාවක් ඇති අතර පාසල් ළමුන්ගේ විහිලුවට ලක්වුනත් ඇය කිසිදින තමන්ගේ දක්ෂතාවය පසුබැස්මකට ලක් නොකරයි.ලිවීමට ඇති ආශාව සමගින් ඇය තම ජිවිතයේ මුහුණ දෙන සිදුවීම් යථාර්තවාදීව සහ ආකර්ෂණශිලිව තුලනය කරයි.එමෙන්ම මව මුහුණ දුන් අනතුරත් සමගින් ඇය තමා ගැන ආත්ම විශ්වාසයෙන් යුතුව තම පවුල රැකබලාගෙන එම දුෂ්කර සමය මහත් ධෛර්යකින් යුතුව ගෙවා දමයි.

එමෙන්ම වර්තමානයේදී නවීකරණයට ලක්වී ජනාවාස වුවත් ඕස්ට්‍රේලියාව  එදා අඩු පහසුකම් සහිත රටකි. මුලික පහසුකම් හෝ ලබා ගැනීමට ඔවුන් කරන සටනත් , ඒ සඳහා ඔවුන්ගේ සිතේ ඇති කර ගන්නාවූ ධෛර්යයත් ආත්ම විශ්වාසයත් මේ කතාව ඇසුරින් පාඨකයාට ලබා දෙන විශිෂ්ඨ ගුණාංගයයි.එමෙන්ම මෙම කුඩා දරුවන් මුහුණ පාන අභියෝග සහ ඔවුන් ඒවාට මුහුණ දෙමින් ජීවිතය ජය ගන්නා අයුරුත් සම වයසේ යොවුන් දරු දැරියන් හතර දෙනාගේ සොයුරුදමත් , ඔවුන්ගේ එකිනෙකාට ඇති ලැදියාව සහ අන්යෝන්ය සම්බන්දතාවයත් ඉතාමත් ආදරණිය කතා පුවතක් රසික අප වෙත ගෙන හැර පාන්නේ සුන්දර ගලා යාමක් සමගිනි.

මොවුන් ගෙවන ජීවිතය ඉතාමත් අසීරු ස්වයං විශ්වාසනීයත්වයක් සහ ස්වයංපෝෂිතභාවයක් සහිත දුෂ්කර කාල පරිච්ජේදයකි.නමුදු මොවුන්ගේ විශේෂත්වය වන්නේ මොවුන් සර්ව සුභවාදී නෙතකින් ජීවිතය දෙස බැලීමයි.එමෙන්ම මොවුන් තම පවුලට දැඩි බැඳීමකින් බැඳී සිටියහ.සොබාදහම මොවුන්ට යම් යම් අවස්ථා වලදී අභියෝගයක් වුවත් ඔවුන් සැමවිටම සොබාදහමට සහ ඔවුන්ගේ වටපිටාවට ස්තුතිවන්ත වේ.එමෙන්ම ඔවුන් වටා ඇති සුන්දරත්වය සහ සොබාදහම මගින් ඔවුන්ට ලැබී ඇති දේට ත්‍යාගවන්ත වේ.එමෙන්ම ජෙනිෆර් ඇය වටා සිදුවන සිදුවීම් කෙරෙහි සහ ජිවත් වන ආකාරය පිලිබඳ දැඩි අවධානයකින් යුක්තව කටයුතු කිරීම මුළු කතාව පුරාම අපට දැකිය හැකි ලක්ෂණයකි.

මෙම කතාව තේමා කිහිපයකින් යුක්ත වන අතර අවධානම් දැරීම සහ ඔවුන්ගේ නොපසුබට උත්සාහය , ආත්ම විශ්වාසයෙන් යුතුව කටයුතු කිරීම ,වෙහෙස වී වැඩ කිරීම , අවංක කම සහ කිකරුබව ,ඔවුන්ගේ ජිවන රටාව, තම පවුලට ඇති ලැදි බව ඒ අතරට ගැනේ. ආඛ්‍යාන ස්වරුපයෙන් ලියවී ඇති රිදී තරු වියන යට නව කතාව ජෙනිෆර් ගේ ඇසින් ඉදිරිපත් වේ.ඇයගේ දෘෂ්ටි කෝණය ආකර්ශනීය මෙන්ම යථාර්තවාදී ස්වරුපයක් ගනී.

ඉතාමත් සරල භාෂාවකින් මෙය රචනා කර ඇති අතර විචක්ෂණශීලි බවකින් හා සුහදත්වයකින් යුතු භාෂා රටාවක් උපයෝගී කරගෙන ඇති අතර ඔනෑම වයස් මට්ටමක රසිකයකුට කියවීමට සුදුසු පොතකි.


Wednesday, January 8, 2020

නූතන ඉන්දීය සාහිත්‍යයේ කාන්තා සළකුණ කමලා දාස්

1934 මාර්තු 31වන දින කමලා නායර් ලෙස උපත ලැබ විවාහයෙන් පසු කමලා දාස් නම් වී මාධවී කුට්ටි යන අන්වර්ථ නාමයෙන් ඉන්දීය සාහිත්‍ය කෙතට මහඟු සේවයක් කල මලයාලි ජාතික කමලා දාස් කමලා සුරයියා ලෙස අවසන් ගමන් ගිය ඇය තරුණ රැඩිකල්වාදී භාරතීය සෞර්දයන් අතර වඩාත් ජනප්‍රිය වූ කිවිඳියක් , නව කතා ,පුවත්පත් තීරු ලිපි සහ ග්‍රන්ථ රචිකාවක් ,චිත්‍ර  ශිල්පිනියක් මෙන්ම දේශපාලන නායිකාවක් ද විය. ඇය නියෝජනය කල මෙවැනි විවිධ භූමිකා තුලින් ස්ත්‍රියත්වයත් ආදරයත් පිලිබඳ ගවේෂණාත්මක අදහස් අතිශය අව්‍යාජ තත්වයකින් ඉදිරිපත් කල අතර මෙම කරුණු මුළුමහත් ඉන්දියාවේ කාන්තා පරපුරට පමණක් නොව , ආසියාතික බොහෝ රටවල කාන්තාවන්ට පොදු ලක්ෂණයක් බව හැඟේ.

සම්මානලාභී ඇයගේ දෙමවුපියන්ද ,මාමාද ලේඛකයන් වුහ.1964 වසරේදී කාව්‍ය නිර්මාණය සඳහා ආසියාතික Pen සම්මානයෙන් පිදුම් ලද ඇය 1969 වර්ෂයේදී මලයාලි බසින් ලියන ලද කෙටි කතා සංග්‍රහයක් ලෙසත් , කේරල ඇකඩමියෙන් ද සම්මාන ලැබුවාය.එමෙන්ම 1984දී සාහිත්‍ය පිලිබඳ නොබෙල් සම්මානය සඳහා නිර්දේශිත විය.

කමලා දාස් ගේ ලේඛන ජීවිතයේදී අව්‍යාජත්වය හෙළිකරන කෘතියක් ලෙස ඉංග්‍රීසි බසින් රචිත Alphabet of Lust නව කතාව හැඳින්විය හැකිය.අතිශයින් නිර්ධය ලෙස භාරතීය දේශපාලනයේ අඳුරු පැතිකඩ විවේචනය කරන මෙම නව කතාව භාරතයේ පමණක් නොව ලොව පුරා ආන්දෝලනයට පාත්‍ර වූ කෘතියකි.පද්මාවතී , The Harlot and Other Stories ඇයගේ නිර්මාණ අතර වැදගත් වන තවත් කෘතීන්ය.කමලා දාස්ගේ කාව්‍ය කෘතීන් අතර Summer in Calcutta(1965) The Descendants ,the Old Play House and Other Stories (1985) , Only the Soul knows How to sin (1996)යන පදය සංග්‍රහයන් ඈ අතින් බිහිවුන උසස් ගණයේ සාහිත්‍ය කෘතීන්ය.

කාන්තාවාදී ලේඛිකාවක වූ ඇය රචිත Summer in Calcuttaකවි සංග්‍රහය ඇයගේ මුල්ම නිර්මාණ සංග්‍රහය වූ අතර එය ඉන්දීය සාහිත්‍ය ලොව හැරවුම් ලක්ෂයක් වූ බව කියවේ. සංවේදී කාන්තාවක් වූ ඇය තම සිතේ සඟවාගෙන සිටි හැඟුම් සහ සිතුවිලි තම නිර්මාණ ඔස්සේ ලොවට හෙළිදරව් කළාය.මෙම කරුණු නිසාම ඇය නුතන ඉන්දීය සාහිත්‍යයේ මව යන නාමයටද හිමිකම් කීම විශේෂත්වයකි.

ඇයගේ පසුකාලින මලයාල සාහිත්‍ය කෘතීන් වන පලයන් (1990)නෙව්පයාසම් (1991) දාවරික්කුරිප්පුකල් (1992) යන නව කතාද ආන්දෝලනයට තුඩු දුන් ඒවාය.1999 වසරේදී ඉස්ලාම් ධර්මය වැළඳ ගැනීම මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් වූ අතර ඇය ලෝක් සේවා නමින් තමාගේම දේශපාලන පක්ෂයක් ස්ථාපිත කලාය .

වයස අවුරුදු 15දී ඇයට වඩා සැහෙන තරම් වැඩිමල් පුද්ගලයකුට විවහා කර දුන් කමලා වයස දහසයේදී දරුවකු ලැබූ අතර දරුවන් තිදෙනෙකුගේ මවක් වුවාය.මෙම විවහා ජිවිතයෙන් ඇය ලැබූ අත්දැකීම් අතෘප්තිමත් භාවය ,අඟහිඟකම් , විවහා ජීවිතය නිසා සාහිත්‍යකරණයට වෙලාවක් නොලැබීම , ඉන්දියානු කාන්තාවගේ නිදහසක් නොමැති අවිවේකි ගෘහ ජීවිතය යන විවිධ පැතිකඩ ඇයගේ පොත් මගින් විවේචනයට ලක් කරයි.ඒ අතරම සැමියාගෙන් ඇගේ ලේඛන කලාවට ලැබුණු සහයෝගයද අගය කිරීමට ඇය පසුබට නොවුවාය.

"ඔයා දැන් මට ඉරිසියා කරන්න අරන් .ඔයාට ඕනා මුළු ජිවිත කාලය තුලම ගෙදර නවත්තගෙන මාළු ව්‍යංජන හදව ගන්න විතරයි.මම තව දුරටත් ඔයාගේ වහලියක් හැටියට ඉන්නේ නැතිවෙයි කියලා ඔයා බයයි.මම ඔයාගේ පාපිස්සනේ "

 ඇය කාන්තාවන්ට දෙන මෙම ආන්දෝලනාත්මක පණිවිඩය ගැන දෙවරක් සිතිය යුතුය.

ඇයගේ "My Grand Mothers House - මගේ අත්තම්මාගේ නිවාස"නමැති ඉංග්‍රීසි පද්‍ය ඇය කුඩාකල ගතකල ආච්චි අම්මාගේ නිවසේ පරිසරය ,හිතේ නිසකලංක බව හා සතුට පිළිඹිබු කරන අතර විවහා ජිවිතයෙන් පසු අහිමිවූ එම සතුට ගැන දුක්වන්නිය.


Wednesday, December 18, 2019

දිවි බිලිගත් මා දියණිය -කවිමල් සූරිය ආරච්චි

මත් රකුසා විසින් මානසික ව්‍යාධීන් ඇති කිරීමත්, හිත් පිත් නැති ලෙස ජිවිත බිලී ගැනීමත් ලොව අස්සක් මුල්ලක් නෑර පැතිර යන යුගයක නිකියා රොබරිට්සන් විසින් තව ජිවිත වෘත්තාන්තය ඇසුරින් " My Mummy is  a Killer "නමින් රචනා කරන්නේ අනුවේදනීය අයුරිනි.

මව විසින් තම සොයුරා හා සොයුරිය වූ මිලී සහ මොමෝ  සොයුරිය ඝාතනය කරද්දී අසීරුවෙන් ජිවිතය බේරා ගන්නා නිකි මත්ද්‍රව්‍ය සාගරයෙහි ගිලි යන මාපිය සෙනෙහස මැද ඉතිරිවන අතර ඇයගේ සහ කුඩා සොයුරාගේ අනාගතය කුමක් වේද?ආච්චි අම්මගේ නිවාස ඇයට සැනසිලිදායක වන අතර  ඇයව කැටුව යෑමට පැමිණෙන අම්මාගේ කාරයේ හඬ ඇයව බියට පත් කරයි. ළමුන් අපචාරයට ගොදුරු වීම , අනවශ්‍ය දරු පිළිසිඳ ගැනීම් , දරුවන් අතිනතට යාම් නිසා ඔවුන් විඳින වද වේදනා ලොවට හෙළි කරන්නේ වත්මන් සමාජය විසින් අවබෝධ කර ගත යුතු පණිවිඩයක් ලෙසිනි.

අගනා යහපත් පවුල් පරිසරයක උපත ලබන නිකිගේ මව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී මත්  ලෝලී මිතුරන් සමග  ඇසුරට පත්වී විනෝදයට යොමුවේ. ඒ අතරම මත්ද්‍රව්‍ය ගණුදෙනු කාරියක් බවටද ඇය පත්වීම මෙහි ඇති භයානකත්වයයි .මේ නිසා හයක් හසරක් නොදන්නා වයස අවුරුදු පහේදී හයේදී දරුවන් රැක බලා ගැනීම සහ ගෘහස්ත කටයුතු වල යෙදීම  වැනි වගකීම් දැරීමට සිදුවන කුඩා දරුවන් පිලිබඳ සැඟවුණු හෙළිදරව්වක් නිකි විසින් ලොවට හෙළි කරයි.

"මම  එදින රාත්‍රියේ නින්දට යන විට පසුදා මගේ සැබෑ අම්මා ආපසු එන ලෙස ප්‍රර්ථනා කලෙමි."
 නිකිගේ රූමත් මව මත්ද්‍රව්‍ය ගත් පසු ඇඟේ සිරුර පුරා ටැටූ ඇඳ ගන්නා අතර දහවල පියවි සිහියෙන් සිටින විට ඒවා වසාගෙන සිටි.ඉණේ ඇති බෙල්ට් එකෙන් කුඩා දරුවන්ට පහර දෙන අතර තනිවම තමන් සමගින් කතා කරයි. දේව ගීතිකා ගායනා කරයි.

සැබවින්ම මත්ද්‍රව්‍යන්ට ඇබ්බැහි වන ඇය ඒ තුලින් දෙවියන් දකීද ?මෙය වත්මන් සමාජයට ගැලපෙන කතාවක් වන අතර එය වත්මන් තරුණ ප්‍රජාව අවබෝධ කර ගත යුතු මුලික ගැටලුවකි. මත්ද්‍රව්‍ය නිවාරණය කිරීම රාජ්‍ය මට්ටමින් මෙන්ම ස්වෙච්ජාවෙන් සංවිධාන සමගින්ද එකතුවී විසිඳිය යුතු ප්‍රශ්නයක් වන අතර මේ වන විට අපේ රටේ උද්ගතවී ඇති වැළකිය යුතු ප්‍රශ්න අතර මුලිකවම දකින්නට ලැබෙන්නකි.මෙම කාන්තාවගේ මත්ලෝලී බව දන්නා මිත්තණිය සහ වැඩිහිටියන් දරුවන් බේරා ගැනීමට කටයුතු නොකිරීම නිසා ඔවුන් මිය ගිය බව නිකි පවසන්නිය.ලොව වටා පැතිර යන මත්ද්‍රව්‍ය මිනිස් ආත්මයන් විකෘති කිරීම නිසා බොහෝ පවුල් විනාශ වෙන බවට මෙම වෘතාන්ත්තය නිදසුනකි.

ආච්චි අම්මගේ ආදරය සොයා යන මෙම දරුවන් මව විදේශ රැකියා සොයා යාම ,පියාත් මත්ද්‍රව්‍ය වලට යොමු වීම නිසා දුක් විඳින ශ්‍රී ලංකික සමාජය පිලිබඳ  කැඩපතකි.

"මුළුතැන් ගෙයින් ගලා ආ ආච්චි අම්මාගේ සුපුරුදු හඬ හා පොරෝනාව යට සහෝදරයාගේ සහ සහෝදරියගේ උණුසුම විඳිමින් , මම සාමකාමී උදැසනක මිහිර වින්දෙමි. ""

ළමුන් බලාපොරොත්තු වන සෙනෙහස සහ සැනසුම පිලිබඳ ලේඛිකාව විසින් පාඨක මනසට ලං කරන්නේ සංවේදීව අවධානය යොමු කරවමිනි. මෙය නිකිගේ සැබෑ කතාව යයි විශ්වාස කිරීමට නොහැකි තරම් භයානක වූ සත්‍ය කතාවකි.මෙම කතාව දුෂ්කර කාලයක් ගත කොට ජිවිතයේ වැටුණු පුද්ගලයෙකුව අභිප්‍රේරණය කල හැකි කතාවක් වන අතර මෙය රස විඳින පාඨකයන්ව ජිවත් කිරීමට පොළඹවයි. මෙම කතාව ගලාගෙන යද්දී නිකිගේ මව මානසික රෝහලේ සිටියදී නිකී ජීවිතය ජයගෙන දිරිය කාන්තාවක් සේ අනාගතය ගොඩ නගා ගනිමින් පිය මනින ආකාරය පුදුම සහගතය.ඇයගේ ජීවිතය මිහිපිට අපායක් කළ මවට සමව දී ආදරය කිරීමට තරම් ඇය ශක්තිමත් කාන්තාවක් විය.

චිත්තවේගිය , හදවත් බිඳ දමන කතාවක් වන දිවි බිලිගත් මා දියණිය කතාව මා බෙහෙවින්ම සංවේදීත්වයට පත් කල කෘතීන් අතර මුල් තැන ගනී.ගැටළු සහිත පසුබිමක සුන්දර හදවත් සොයා ගත හැකි බවට මෙය නිදසුනකි.මත්ද්‍රව්‍ය පිටුපස ඇති අඳුරු ලෝකය ලොවට හෙළිකරන තරුණ වැඩිහිටි සෑම කෙනෙක්ම කියවිය යුතු අගනා පණිවිඩයක් ලබා දෙන නව කතාවක් ලෙස දිවි බිලිගත් මා දියණිය හඳුන්වා දිය හැක.

Saturday, November 30, 2019

ජීවිතය

එක හදවතක් හෝ කැඩී බිඳී 
යා නොදී 
රැකගත හැකිනම් 

මට එක් ජීවිතයකට හෝ සැනසීමක් 
දී 
වේදනාව සුවපත් කල  හැකි නම් 

මංමුලාවී සිහිසුන් වූ 
රොබින් කුරුල්ලකුට කූඩුව වෙත
යාමට 
මග කිව හැකිනම් 

මගේ දිවියෙහි  අරුත 
නිෂ්ඵල නොවනු ඇත.

නිලක්ෂි බණ්ඩාර 
30/11/2019
If I can stop one heart from breaking, I shall not live in vain; if I can ease one life the aching, or cool one pain, or help one fainting robin unto his nest again, I shall not live in vain.

Wednesday, November 20, 2019

තෙල්මා -සමන් පුෂ්ප ලියනගේ මහතා

Image result for තෙල්මානෝර්වීජියානු රජ කුමරියක  මුල් කරගෙන රචිත "තෙල්මා " නව කතාව මාරි කොරලි (Marie Corali ) නමැති ඉංග්‍රීසි ජාතික කතුවරිය විසින් 1886 වර්ෂයේදී රචනා කරන ලද ඇයගේ පළමු නව කතාවයි.මෙම කතාව අතිශයින් ජනාදරයට පත්වූ අතර 1918 වන විට ඇය නව කතා 24ක් පමණ පළ කරන්නට සමත් වුවාය.මෙම නව කතාව සමන් ලියනගේ මහතා විසින් සිංහලයට පරිවර්තනය කරන ලදී.

උත්තර ධ්‍රැවය ආසනයේ පිහිටි නොරෙවේ රටේ රජ කුමරියක සහ පිලිප් නමැති ලංඩන් නුවර ධනවත් තරුණයකු අතර ඇතිවන ආදර අන්දරය තෙල්මා නව කතාවෙන් පාඨකයා වෙත ලං කරනු ලබයි. එමෙන්ම නොර්වේ රට පිළිබඳව චමත්කාරජනක අත්දැකීමක් මේ හරහා කතාව රස විඳින පාඨකයා වෙත ගෙන හැර පෑම දක්නට ලැබෙන ලක්ෂණයකි. මුහුදු ගමන් සමග බද්ධ වූ නෝර්වීජියානු ජීවිතය හිම කඳු සහ අලංකාර මෙන්ම බිහිසුණු ගිගුරුම් සහිත දිය ඇලි වනාන්තර, පිළිබඳව විස්තර වර්ණනා අන්තර්ගත වූ මෙම නව කතාව පරිසරයට සොබාදහමට ඇලුම් කරන පාඨකයෙකුට කියවීමට සුදුසු වූ සාර්ථකම පරිවර්තනයකි.පරිසරය වර්ණනා කිරීමේදී කාව්‍යමය භාෂාවක් යොදා ගැනීම මෙහි ඇති තවත් විශේෂත්වයකි.

කුතුහලය පිරුණු ආකර්ෂණිය  කථාවක් වන "තෙල්මා " මුල සිට අග දක්වා පොත පසෙකින් නොතබා කියවීමට තරම් කථා රසයකින් යුතුය. තෙල්මාගේ පියා වන රජ පරපුරකින් පැවත එන "ගුල්ඩ්මාර් " නමැති ඉඩම් හිමි ගොවියා දක්ෂ නාවුකයෙකි.සොබාදහම සමග බැඳුනු හුගේ ජීවිතය කතාවට ආලෝකයක් එක් කරන අතර , පල්ලිය විසින් ප්‍රතික්ෂේප කරනු ලබන ඔහුගේ ඕඩින් දේව ඇදහිල්ල අනුව "සාගර සොහොනේ ලෝහිත අදහනයට "ඔහුගේ සිරුර ලක්වන ආකාරය පාඨකයාට වෙනස්ම වූ අත්දැකීමක් ගෙන දෙයි. සෑම ජීවි වස්තුවක්ම සොබාදහමේ නිර්මාණයක් වන අතර , අවසානයේදී සොබා දහමට එක්වන අටලෝ දහමේ සිද්ධාන්තය මාරි ජෝරලි මෙම ග්‍රන්ථයෙන් සනාථ කරවයි.

ඉතාමත් රූමත් ,ඇයගේ අවිහිංසක හා සමාජයේ හැලහැප්පීම් වලට ගොදුරු නුවූ සමාජශීලි නොවුණු කාන්තාවක්  පිරිමින්ගේ මෙන්ම ගැහැණුන්ගේ තර්ජනයට කපටිකම් වලට සහ අවමන් වලට ගොදුරු වී අවසානයේ විවහා ජීවිතය දෙදරා මරණයේ සෙවණැල්ල කරා ආසක්ත වන ආකාරය මාරි කොරලි කතුවරිය දක්ෂ ලෙස සිතුවම් කරයි.

ශාප ඇස් වහ කටවහ  දෝෂ වැනි පෙරදිග ශිෂ්ටාචාරයේ ඇති සමහර පිළිගැනීම් නොර්වේ සංස්කෘතිය තුළ ජන ජීවිතය කෙරෙහිද බලපෑ ඇති ආකාරය තෙල්මා නව කතාවෙන් විස්තර කරයි.එමෙන්ම අටලෝ දහම අනුව යම් පුද්ගලයකු කරන අපරාධ ක්‍රියා මතු භවයේදී නොව මෙම ආත්මයේදීම පල දෙන ආකාරය ෆ්‍රැන්සිස් ලේනෝ, වයලට් , බේරා වැනි චරිත තුළ අන්තර්ගත වේ.

මෙම සංසිද්ධිය 19වන සියවසේ ජිවත් වූ තෙල්මාට පමණක් නොව අද සමාජයේ මෙවැනි කාන්තාවන්ට පොදුවූ ධර්මතාවයකි.ලන්ඩන් නුවර මධ්‍යතන යුගයේ උසස් මධ්‍යම පන්තිය සහ ප්‍රභූ පැලැන්තිය තුල මතුපිටින් පෙන්නුම් කරන සාඩම්බර, ආටෝප යට වඩා ඉරිසියාව , කුහකත්වය සහ දුර්ගුණ ඉස්මතුව තිබු ආකාරය මාරි කොරලි විස්තර කරන්නේ , අපට චාර්ල්ස් ඩිකන්ස් ගේ ඔලිවර් ට්විස්ට් සිහිපත් කරමිනි.

ප්‍රධාන චරිත දෙකට අමතරව උප චරිත දහයක් පමණ ඔස්සේ අපට ජිවිතයේ විවිධ මානයන් ඉස්මතු කර දක්වන ආකාරය ඉතාමත් ප්‍රශංසනීය ය.
තෙල්මාට හදවතින් ආදරේ කළ ජෝර්ජ් ලොරිමර් ද මෙහි එන අයුරු තෙල්මාට ද මෙහි එන අපුරු චරිතයකි.තෙල්මාට ආදරය ප්‍රකාශ කළ පිලිප්ව දිය ඇල්ලට තල්ලු කර මරා දැමීමට සිගාර්ඩ් උත්සහ කළ අවස්ථාවේදී ඔහු පිලිප්ගේ ජීවිතය බේරා ගැනීමට ඉදිරිපත්විය.

සැබෑ ආදරය යනු තමා ආදරය කරන තැනැත්තාගේ සතුට.. යන කියමන සැබෑ කිරීමට සහ මිත්‍රත්වයේ විශ්වසනීයත්වය රකින සැබෑ යහළුවකු ලෙස ඔහු ක්‍රියා කරයි.දිගු නව කතාවක් වන තෙල්මා කථා රසය ,භීතිය,, ස්වභාවික සෞන්දර්ය අපුර්වත්වය ජනනය කරනු ලබන අපුර්වතම කෘතියක් ලෙස තෙල්මා නව කතාව හැඳින්විය හැක.




















Monday, November 18, 2019

සාරා - සුමිත්‍රා රාහුබද්ද මහත්මිය

Image result for සාරාChildren of the Dust කෘතිය ඉංග්‍රීසි ජාතික රචකයකු වන ලුවිස් ලෝරන්ස් විසින් 1985දී රචනා කරන  ලද අතර මෙය ප්‍රවීණ ලේඛිකා සුමිත්‍රා රාහුබද්ධ මහත්මිය විසින්  සාරා යන නමින් සිංහලයට පරිවර්තනය කරන ලදී.න්‍යෂ්ටික යුද්ධයකට අසුවී දිවි ගලවා ගත් අය ඇතුළු පරම්පරා තුනක මිනිසුන්ගේ ඛේදනීය ඉරණම පිලිබඳ  අනුවේදනීය කතාව ඔවුන්ගේම  දෘෂ්ටිකෝණයෙන් මෙහි ඇතුලත් කර ඇත.

න්‍යෂ්ටික බලපෑම් නිසා ඇතිවන සෞර්තු විපර්යාස ,පිපිරීමෙන් දිවි ගලවා ගත් මිනිසුන්ගේ ජිවිත වල ඇතිවන්නාවූ පෙරලිය ,එහි ජිවත් වන ප්‍රතිවාදී කණ්ඩායම් අතර ඇතිවන ඝට්ටනයන් යුද්ධයේ ප්‍රතිපලයක්  විකිරණ වල බලපෑමට අසුවී ඉපදෙන ජාන විකෘති වූ දරුවන් පිළිබඳව පාඨක සිත් තුල සංවේගයක් ජනනය කරමින් රචනයට පාත්‍ර කිරීමට සුමිත්‍රා මහත්මිය සමත් වී ඇත.

මෙම නව කතාව ඔස්සේ මානව වර්ගයාට නව ලොවක් බිහි කිරීම උදෙසා යුද්ධයේ ප්‍රචණ්ඩත්වයෙන් සහ භීෂණයෙන් තොරව නොනැසී පැවතිය හැකි බවට නවමු බලාපොරොත්තුවක් ලේඛකයා විසින් ලබා දේ.

එංගලන්තයේ පාසල් සිසුවියක වූ සාරා ගුවන් ප්‍රහාර සයින්සර්ස් හඬ මැදින් නිවසට දිව යන්නේ තම පුංචි අම්මා වූ වෙරෝනිකාට න්‍යෂ්ටික ප්‍රහාරයෙන් තම පවුලේ සාමාජිකයින් බේරා ගැනීමට උපකාර කරනු පිණිසයි.කැතරින් සහ විලියම් සාරාගේ කුඩා සොයුරා සහ සොයුරිය වන අතර ඔවුන් මෙම ප්‍රහාරයට කොටු වෙති.සරාගේ පියා බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙකු වන අතර මේ අවස්තාව වන විට ඔහු නිවසේ සිටියේ නැත.දිගින් දිගට න්‍යෂ්ටික ප්‍රහාරයන් එල්ල වෙද්දී ආවරණය නොකළ චිමියෙන් නිවස තුලට පැමිණෙන විකිරණශීලි අංශු බොන  වතුරට  මුසුවිම නිසා මොවුන් අසනීප වන්නට විය.මුලින්ම වෙරෝනිකා තුල පළමුව මෙම රෝග ලක්ෂණ පෙන්නුම් කල අතර ඇගේ රෝග ලක්ෂණ නරක අතට හැරී ඇය මියයයි.

මෙම කතාව කියවාගෙන යාමේදී සිත කම්පනයට පත්වන අතර සිතේ මෙම භිෂණය පිලිබඳ චිත්තරුප මැවේ.අතරින් කෙඳිරි ගාමින් මිය යන බස්ටර් නමැති බලු පැටියා පිලිබඳ දරුවන් ශෝක වන ආකාරය පාඨක ඇසට කඳුලක් නංවයි.එම මිටියාවතේ පැවති සුන්දරත්වය ,එහි ජිවත් වූ මිනිසුන්ගේ ජිවත වල පැවති පාරිශුද්ධත්වය භයානක යථාර්ථයකට පෙරළුණි. උපදින සෑම දරුවකුම මෙම කම්පනයේ බලපෑමට ලක්වුහ.මෙම දරුවන් පැමිණෙන්නේ පවතින ආණ්ඩුවල ප්‍රචණ්ඩත්වය ,යුද්ධයෙන් පසු ඇතිවන රෝග තත්වයන් සහ විකෘති කයකින් සහ මානසිකත්වයකින් යුතුවය. නමුදු ඔවුන් යහපත් අතට අනුවර්තනය වෙමින් පවතී.දුවිල්ලෙන් හා නටඹුන් අතුරින් නව ජීවයක් ඇතිවේ.නව අනාගතයකට පා තබන පරම්පරාවක් ඇතිවේ.

මෙම න්‍යෂ්ටික යුද්ධයට මැදිවන ප්‍රධාන පවුලේ සාමාජිකාවන් වන වෙරෝනිකා පුංචි අම්මාද ,සාරා දියණියද කුඩා කැතරින් සහ විලියම්ද ජිවත් කරවමින් ජිවිතයට මුහුණ දීමට දරන උත්සාහය ප්‍රසංෂනිය වේ.කැතරින්ගේ අනාගත ජීවිතය සුරක්ෂිත සාරා ගන්නා උත්සාහය ලොව සෑම කෙනෙකුටම මිනිසත් කම පිළිබඳව අපුරු වටිනා පාඩමක් කියා දෙයි.

මෙය මා විසින් කියවන ලද හොඳම පශ්චාත් එළිදරව් නව කතාවකි.එමෙන්ම මෙම නව කතාව මගින් අප ජිවත් වන පෘථිවි තලය පිලිබඳ ගැඹුරින් සිතීමට පාඨකයාව පොළඹවයි.මනුෂ්‍යත්වය , සහයෝගිතාව ,අන්ටිසොනොෆොබියා යන සංකල්ප වලින්  පරිපුර්ණ නව කතාවක් වේ. සරල භාෂාවකින් සහ ලේඛන ශෛලියකින් යුතු දරුවන් මෙන්ම වැඩිහිටියන්ටද සුදුසු නව කතාවක් ලෙස සාරා කතාව හැඳින්විය හැක.එමෙනම් එංගලන්තය මුහුණ දුන් පශ්චාත් න්‍යෂ්ටික යුද්ධය පිලිබඳ දෘශ්‍යමාන දර්ශනයක් ඉදිරිපත් කිරීමට ලෝරන්ස් සමත් වී ඇත.මේ ඔස්සේ අනාගතය පිලිබඳ ලෝරන්ස්ගේ දැක්ම ඉදිරිපත් කර ඇත.

න්‍යෂ්ටික යුද්ධයකින් හෝ ගෝලීය උෂ්ණත්වය ඉහල යාමකින් අපේ පරිසරය බිඳ වැටුණහොත් සමස්ත මිනිස් සංහතිය පත්වන ඉරණම පිලිබඳ කදිම නිරූපණයක් සාරා කතාව ඔස්සේ අපට ලඟා කර දේ.අපට හුස්ම ගැනීමට පිරිසිදු වාතාශ්‍රය නොමැති නම්, බිමට පිරිසිදු ජලය නොමැති නම් කිසිදු තාක්ෂණයක් තිබිමෙන් පලක් නැත.යුද්ධයක ආරම්භයක් සමගින් පවුලකින් සිදුවන පරිත්‍යාගයන් ,භූගත වැටීම් සහ මිනිස් වර්ගයාගේ නැවත නැගිසිටීම් පිලිබඳ මනා අවබෝධයක් අපට මේ නව කතාව ඔස්සේ ලබා ගත හැකිවීම මෙහි සුවිශේෂිත්වයයි.




Wednesday, November 6, 2019

සුළං කපොලු මැද - දිල්හානි වික්‍රමරත්න


ලෝකයේ ඈත අනන්තයක ලියැවෙන පොතක් මෑත කෙළවරක සිට අපට කියවිය හැකි වන්නේ පරිවර්තන සාහිත්‍ය නිසාය.නිව්යෝර්ක් ටයිම්ස් සඟරාවේ කොටස් වශයෙන් පළවූ "Leap of Faith "නව කතාව , 2001 වසරේදී ප්‍රවීණ ගත් කතුවරියක වන ඩැනියෙල් ස්ටිල් විසින් රචනා කරන ලද්දකි.මෙය ඇය විසින් රචනා කරන ලද නව කතා 52න් වැඩිම අලෙවි වාර්තා තැබූ කෘතියයි.මෙම නවකතාව සිංහල දිල්හානි වික්‍රමරත්න සොයුරිය විසින් සුළං කපොළු නමින් සිංහල පරිවර්තන සාහිත්‍යයට එක් කරන ලදී.

මාරි ඇන්ජි හොර්කින්ග්ස් නමැති ප්‍රංශ ජාතික දැරිය සහ ඇය ජිවත් වූ " දී මාර්මොටම් මන්දිරය පාදක කර ගෙන මෙම නව කතාව ලියවී ඇත.ඩැනියෙල් ස්ටිල් ගේ ලිවීමේ විශේෂත්වය නම් ජීවිතය හමුවේ කවර අන්දමේ ඛේදවාචකයකට මුහුණ දීමට සිදුවුවද , අත්‍යන්තයේදී සියළු අභියෝග මැඩ ගෙන ධනාත්මක මනෝ භාවයන්ගෙන් සපිරි විශිෂ්ඨ ජිවන චරිත බවට පත් කරවීමයි.දී මාර්මොටම් මන්දිරය සෑම කුඩා දරුවකුගේම සිතෙහි මැවෙන මල් සහ පලතුරු උයනක් සහිත සිහින විමනකි.මිනිස් වෙස් ගත් කුරිරු යක්ෂයකුට අසුවුවහොත් එවැනි සුර ලොවක් පවා භිෂණය ත්‍රස්තය පිරි ස්ථානයක් බවට ගතවන්නේ කෙටි කළකි.

මෙහි කතා නායිකාව වන මාරි ඇන්ජිගේ මව පියා සහ එකම සහෝදරයා රිය අනතුරකින් මිය යාමෙන් ඇයගේ ජිවිතයේ ඛේදාත්මක යුගයක් ආරම්භ වේ.ඇයව  පියාගේ දේපල භාරකාර මණ්ඩලය විසින් රැකවරණය පතා  ඇමරිකාවේ වෙසෙන නැන්දණියකගේ භාරයකට පත් කරයි.කෘර නැන්දණියගේ අඩම්තෙට්ටන් සහිතව වහල් සේවයේ යොදවන ඇන්ජි අනාථ දරුවන් සඳහා වූ පාසලක උසස් අධ්‍යාපනයට පවා යොමු වේ.එහෙදි හමුවන ගොවිපලක හිමිකරුවකුගේ පුතකු වන බිලි පාකර් ඇයට හොඳ මිතුරෙකු වීම දිවිය
ට පහන් එළියක් සේ බලපායි.

තම පැරණි නිවාස දැක බලා ගැනීමට ප්‍රංශයට යන ඇන්ජිට නිවසේ නව හිමිකරු වූ එඩ්වර්ඩ් මුණ ගැසීම දිවියේ මීළඟ දෛවෝපගත සිදුවීමයි.ආදරණිය හැඟීම් මත සිදුවන සැබෑ ආදරය සහ කෞතුක වස්තුන් සහ එකතු කිරීමේ උන්මාදයකින් පෙලෙන ධන තෘෂ්ණාවෙන් පෙලෙන ඔහුගේ ආදරය අතර ඇයගේ ජීවිතය දෝලනය වේ.පවුල් ජීවිතය ,බිරිඳට දරුවන්ට ඇති ආදරය යක්ෂ වෙස් ගත් වස්තුව හමුවේ දියවී යන ආකාරය ඩැනියෙල් ස්ටිල් මනාව හෙළි දරව් කරයි.

කිහිප වරක් විවාහ වී දරුවන් 9 දෙනෙකු සමග දිවි ගෙවූ කතුවරියගේ ජිවිත අත්දැකීම් කුටුම්බයේ ඇතිවූ ඝට්ටනයන් මෙම නව  කතාවෙන්  හෙළිවේ.සරල භාෂාවකින් ලියවී ඇති මෙහි එන දුක්බර අවස්ථා පොත කෙරෙහි ඇද බැඳ තබා ගනී. ප්‍රධාන චරිතය කෙරෙහි පාඨක ආදරය සහ අනුකම්පාව දනවන භාෂා 28කට පරිවර්තනය කර ඇති මෙම නව කතාව ලෝකයේ රටවල් 47ක අලෙවි වේ.

වයස අවුරුදු 21ක් වූ තරුණියක් නොදන්නා පුද්ගලයකු සමග අනවබෝධයෙන් ඇතිවන විවාහයක දරුණු ප්‍රතිපල කතුවරිය මනා ලෙස පැහැදිලි කරයි.උන්මත්තකයකු මෙන් මුදල් , වස්තුව පසුපස හඹා ගොස් බිරිඳ සහ දරුවන් ඝාතනය කිරීමට පවා පෙලඹෙන පියවරුන් අද සමාජයේද දැකිය හැක. පිරිමියකු පිලිබඳ  මනා  අවබෝධයක් නොමැතිව කෙටි හඳුනා ගැනීමකින් පසු  තීරණ ගන්නා විවාහපෙක්ෂිත තරුණියන්ටඩැනියෙල් ස්ටිල් අනගි ආදර්ශයක් පෙන්වා දේ.


මෙය ඇමරිකාවට හෝ ප්‍රංශයට අදාල ධර්මතාවයක් නොව ලොවටම පොදු වුවකි.ආදරණිය පවුල් පරිසරයක හැදී වැඩුණු ඇන්ජි මෙවන් තත්වයකට  පත්වීම කෙරෙහි ඇයට  ආදරය කරන පවුලේ කිසිම සාමාජිකයකු   හෝ  හිතවත් නෑයකු නොමැති වීමද බලපායි.

ඇන්ජි පිලිබඳ ප්‍රධාන කතාවට අමතරව , එඩ්වර්ඩ් ගේ පළමු බිරිඳ වූ ලුසී හා ඇයගේ පුත්‍රයා පිලිබඳ පුවත උසස් යයි සම්මත සමාජයේන් කාන්තාවකට සිදුවූ තවත් ව්‍යවසනයක් පිලිබඳ අතුරු කතාවකි.ඇත්තෙන්ම නාගරික සමාජයේ සර්ව පිත්තල ලෝකයට වඩා ගොවිපලක ජිවත් වන සාමාන්‍ය ගොවි පවුලක් වන බිලි ඇතුළු සාමාජිකයින් කෙතරම් උසස් මිනිස් ගතිගුණ වලින් හෙබි පිරිසක් දැයි කතුවරිය හෙළිකරයි.කුඩාකල ඇන්ජි රැකබලා ගත් සේවිකාවද මෙවන් උසස් ගති ඇත්තියකි.


සැමියාගේ ගති ලක්ෂණ අවසානය තෙක් තේරුම් ගැනීමට ඇයට අපහසු වන්නේ ඇය ඔහුගේ වැරදි සාමාන්‍ය කරණය කරමින් ජිවත්වන නිසාය.මෙම නව කතාව සින්ඩරෙල්ලා ආදර අන්දරයකින් අවසන් වේ.
මෙම රචනය තුලින් කතුවරියගේ තේමාව වී ඇත්තේ අවාසනාව ඇය ගිය හැමතැනකදිම හඹා යද්දී  ජීවිතය පුරා මුහුණ දීමට සිදුවූ දුක්ඛදායක සිදුවීම් වලට  හිස කෙලින් තබාගෙන මුහුණ දුන්  ආකාරය පිලිබඳ පාඨක මනසට ඉතා අපුරුවට ලංකරවීමයි.







Sunday, November 3, 2019

ජොආනා -ජීන් සැසන්


ජින් ජැසන් ලොව පුරා සංචාරය කරන ලද ලේඛිකාවක් වන  අතර ඇයගේ කෘතීන් ලොව පුරා හොඳම අලෙවි වාර්තා තබා ඇත.එමෙන්ම ලොව බොහෝ දුක් විඳි කාන්තාවන් ඇය සමගින් තම ජිවිත තතු හෙළිදරව් කල අතර ජින් ගේ බොහෝ කෘති වලට පාදක වුයේ මෙම සත්‍ය සිදුවීම් වීම සුවිශේෂී කරුණකි.ලෝකයේ විවිධ  සමාජයන් පිලිබඳ අධ්‍යයනය කරනන් විසින්  මෙම කෘතීන් අනිවාර්යෙන් කියවිය යුතු අතර ජෝආනා හෙවත් බිඳී ගිය ඉරාකයේ කුර්ද් ජාතික පෙම්වතියකගේ කතාව ඇය විසින් රචනා කරන ලද අපුර්වතම නවකතාවක් වේ.

ජෝආනා නවකතාව ඔස්සේ සදාම් හුසේන් ගේ පාලන සමයේ ඉරාකයේ කුර්දිස්ථානයේ ජිවත් වූ ජෝආනා අල් අක්සාරි හුසේන් නම් කාන්තාවක කුර්දිවරයකු හා පෙමින් වේලෙන ආකාරයත් ඔවුන් කුර්දිෂ් ජනයාගේ නිදහස වෙනුවෙන් සටන් කරන ආකාරයත් මෙම කතාව ඔස්සේ පාඨකයාට ලං කර ඇත.මෙම කතාව වාර්තාමය ස්වරුපයෙන් රචනා කර ඇති අතර කියවන්නාට තේරුම්ගත හැකි සරල භාෂා රටාවකින් යුතුය.මෙහි අන්තර්ගත කරුණු පාඨකයාගේ සිතේ යුද්ධයෙන් පිඩා විඳින මිනිසුන් කෙරෙහි අනුකම්පාවක් මෙන්ම යුද්ධයකදී මුහුණ පෑමට සිදුවන රසායනික බෝම්බ ප්‍රහාර වැනි නවමු අත්දැකීම් රාශියක් පාඨකයා වෙත ලං කරයි.

ජෝආනා කතාවේ එම තරුණියව වීරවරියක් ලෙස හඳුන්වන  අතර මෙය අනුවේදනීය ප්‍රේම වෘතාන්තයක් වේ.උතුරු ඉරාකයේ කඳු අතර සහ බැග්ඩෑඩයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයන්ට ඇය මැදිවූ ආකාරය පාඨකයා ලොමු දැහැගන්වන සුළුය. මෙම වකවානුවේදී ඉරාක හා ඉරාන හමුදාව අතර දිගින් දිගටම සටන් පැවතී අතර බැග්ඩෑඩ් අගනුවරට ඈතින් පැවති කුර්ගිස්තාන් ප්‍රදේශයේ ජනතාවගේ සහය ඉරානයට ලැබුණි.එයට හේතුව  කුර්ද්වරුන් ඉරාක අරාබිවරුන්ගේ හිංසනයට ලක්වීමයි.සාමාන්‍ය ජන ජීවිතය මෙන්ම කාන්තාවන්ද එකල   දැඩි හිංසනයකට ලක් විය.වාහන ,ගෙවල් දොරවල් පවා මංකොල්ලාකරුවන්ගේ හස්තයට ලක් විය.

රසායනික බෝම්බ ප්‍රහාරයකින් තාවකාලිකව අන්ධභාවයට පත් වන ජෝආනා සිය සැමියා සමගකඳුකර ප්‍රදේශයක් හරහා  කොටළුවකු පිට නැගී  ඉරානයට පලා යාමත්,ලැබෙන්නට සිටි දරුවා ඇයට අහිමිවීමත් හද සසල කරවන සුළුය. ඔවුන් පැමිණි නගරය මේ අවස්ථාවේදී ඉරාන ජාතික අනාතයින්ගෙන් පිරි තිබුණ අතර , ඔවුනට නවාතැන් ගැනීමට සිදුවන්නේ ස්තාලයක සතුන් සමගය.මෙම ස්තාලය කොටළුවන්, එළදෙනුන් වැනි සතුන්ගෙන් සහ ඔවුන්ගේ දුර්ගන්ධයෙන් ද වැසි තිබුණ අතර මැක්කන්ගෙන් රෑ පුරා පිඩා විඳීමට ඇයට සිදුවිය.

ජාතින් අතර ගැටුම් නිසා පීඩනයට පත්වන මුස්ලිම් ජනතාව පිලිබඳ හද කම්පා කරන අපුරු කතන්දරයක් ජෝආනා නවකතාව තුළින් හෙළි කරයි.අධ්‍යාපනය ලබන තරුණ තරුණියන් ඉරාක අරාබින් අතින් හිංසනයට පත්වන ආකාරයත් අවසානයේ ඔවුන් මානසික රෝගීන් බවට පත්ව මිය යාමට පවා ලක් වන ආකාරය මෙහි විස්තර කරයි. කාන්තා ජිවිතයේ අධ්‍යාපනය ඇතුළු සෑම අවස්ථාවක්ම තීරණය කිරීම කෙරෙහි පුරුෂාධිපත්‍ය අසාධාරණ ලෙස බලපාන ආකාරය ඉස්ලාමික සමාජය පුරා පැතිර පවතී.ප්‍රංශ භාෂාව පිලිබඳ නිපුණතා සාමාර්ථයක් ලබන ජෝඅනාට ප්‍රංශ සංචාරයක් සඳහා ලැබෙන ශිෂ්‍යත්වයට සිය සහෝදරයා එරෙහි වීම මෙයට නිදසුනකි.

එංගලන්තය ,ඇමරිකාව , ඔස්ට්‍රේලියාව වැනි රටවලට සරණාගතයින් ලෙස ටික දෙනෙක් පලා ගියද ඉතිරි වන වැඩි කොටසකගේ යුද්ධ වලට මැදි වන ජිවිත වල අස්ථාවරත්වය හෙළි කරන කෘතියක් ලෙසජෝආනා  හැඳිනිය හැක.මෙම කතාව පාඨක මනසේ චිත්තරූප මැවීමට සමත්වන  අතර පොත කියවාගෙන යාමේදී ජෝආනා ෂෙල් ගෑස් වැදී අමාරුවෙන් හුස්ම ගන්නා ආකාරය චිත්‍රපටයක් සේ මගේ මනසේ ඇඳි ගියේය.තම ආදරණිය යන්ගෙන් වෙන් වීමට සිදු වුවත්, ඇස් අන්ධ වුවත් ජෝආනා දිවි බේරාගැනීමට අවශ්‍ය ආත්ම ශක්තිය ඇගේ සිතින් අත්හැර ගත්තේ නැත.

යුධ වාතාවරණය නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට ඇතිවන බාධක විස්තර කිරීම කෙරෙහි මෙම ලේඛිකාව විශේෂ අවධානයක් දක්වා ඇත.උසස් අධ්‍යාපනයෙන් පසුව කාන්තාවන් පවා විමුක්ති අරගල වලට සහබාගි වන ආකාරය යුද්ධයේ බියකරු බව මේ ඔස්සේ මනාව නිරුපණය කරයි.

මෙම කතාව ඔස්සේ ලොව වැඩියෙන්ම යුද්ධයෙන් විනාශ වූ කලාපයක කාන්තාවක් ලෙස ජෝආනා තම ජිවිතයේ සංකීර්ණත්වය ග්‍රහණය කර ගන්නා අතර මෙය අර්ධ ගවේෂණාත්මක වර්තාකරණයකින් සහ අර්ධ ස්ත්‍රීවාදී චරිතාපදානයකින් යුක්ත නවකතාවකි.මෙය ප්‍රවීණ පරිවර්තක කුමාර සිරිවර්ධන මහතා විසින් 2009 වසරේදී පරිවර්තනයට ලක් කරන ලද  අතර එම වසරේදී පැවැත්වූ රාජ්‍ය සම්මාන උළලේදී හොඳම පරිවර්තනයට හිමි සම්මානයෙන් පිදුම් ලබන ලදී.


Monday, October 28, 2019

ඔබේ විවාහය බොස්ටන්හි මහජන පුස්තකාලයේ පැවැත්වීමට අනගි අවස්තාවක්

Image result for Boston Public Library
ඔබත් නුදුරු අනාගතයේදී විවාහයට සුදානම් වන පොතට ආදරේ කරන්නෙක්ද ?බොස්ටන් හි  මහජන පුස්තකාලය මගින් වාසනාවන්ත යුවල් 4කට මෙම අවස්තාව ලබා දී ඇති අතර සියලුම පහසුකම් සහිතව තම විවහා මංගලෝත්සවය නොමිලේම පැවැත්වීමට මොවුන්ට අවස්තාව මේ ඔස්සේ ලැබීම සුවිශේෂීම කරුණයි.

MCkim ගොඩනැගිල්ලේ 125ත් වැනි සංවත්සරය වෙනුවෙන් මහජන පුස්තකාලය එළඹෙන පෙබරවාරි මාසයේදී නව යුවල් 4ක් තෝරා විවහා මංගල්‍යයන් පැවැත්වීමට සුදානම් වන අතර පුස්තකාලයේ පිහිටි සුන්දර පැවිදි අශ්‍රමය මෙහිදී භාවිතයට ගැනේ.

මෙහිදී දිනුම් ඇදීමක් මගින් නව යුවල් තෝරා ගැනීම සිදුකරන අතර දිනුම ලබා ගන්නා යුවල් 4ට පෙබරවාරි 2වෙනිදා ඔවුන්ගේ විවහා මංගලෝත්සවය පැවැත්වීමට හැකි වේ.පුස්තකාලය මගින් ඔවුන්ට සියලු චාරිත්‍ර ඉටුකරමින් අංගසම්පුර්ණව  මෙම මංගල අවස්තාව පැවැත්වීමට අවස්ථාව ලැබේ.බොස්ටන්හි NBC වෙබ් අඩවියට අනුව යුවලට අවශ්‍ය මල් පොකුරු, සංගීත කණ්ඩායම ජයාරූප සහ වීඩියෝ මෙන්ම සංග්‍රහ කටයුතු යන සියල්ලත් තවත් වටිනා අවස්ථාවනුත් මොවුන්ට නොමිලේම ලබා දීමට පුස්තකාල කාර්යමණ්ඩලය උත්සුක වෙමින් පවතී.එමෙන්ම මොවුන්ට මෙම අවස්ථාවේ සමරු පලක ලබාදීමක්ද සිදුවන බව පැවසේ.

මහජන පුස්තකාලයේ සභාපති පවසා ඇති ආකාරයට මෙම අවස්තාව තම පුස්තකාලය පරිශීලනය කරන්නන්ට ලබාදීම ගැන ඔහු මහත් සතුටට පත්ව සිටින අතර 125වැනි සංවත්සරය අර්ථවත් අයුරින් සැමරීමට සැමදෙනාටම මෙම අවස්තාව උපයෝගී වේයැයි ඔහු බලාපොරොත්තු වන බවද පවසා තිබේ.

මුලාශ්‍ර
https://www.nbcboston.com/news/local/Calling-All-Engaged-Couples-Boston-Public-Library-Hosting-Wedding-Ceremony-Giveaway-563213401.html

නිලක්ෂි බණ්ඩාර
28/10/2019