‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, February 10, 2026

ආත්මය සුවපත් කරන ජීවිතයේ පහරදීම්


"ජීවිත ගමනේදී ඔබට මුණගැසෙන සෑම පුද්ගලයෙකුම දේවදූතයෙකි. ඔහු ඔබට  සහයකයෙකි.  ඔහු ඔබව මුණගැසුණේ නිකම්ම නොවේ. ඔහු එක්කෝ ඔබව පරීක්ෂා කරයි, නැතහොත් ඔබට ආදරය කරයි. මින් එහා කිසිවක්ම නැත..

මා තරුණ කාලයේ සිදු වූ එක් සිදුවීමක් තිබේ. මා සහ මගේ මිතුරා එදින මත්පැන් පානය කර ප්‍රමාද වී එකිනෙකාගෙන්  සමුගත්තෙමු. පසුදා උදෑසන ඔහු නිවසට ගියේ කෙසේදැයි බැලීමට මා ඇමතුමක් ගත් විට මට දැනගන්නට ලැබුණේ ඔහු දුම්රියට යට වී ඔහුගේ කකුල් දෙකම කපා දමා ඇති බවයි. 

දෙවියනේ ! 

එය දරාගත නොහැකි තරම් ලොකු විපත්තියක් නේද?

 මා ඔහුව බලන්නට රෝහලට ගිය විට ඔහු කීවේ, 'ඔයාට නම් හොඳයි, ඒත් මට...' කියා බ්ලැන්කට්ටුව ඉවත් කළා. එහි තිබුණේ බියකරු දසුනකි!

ඔහු ඉතා උඩඟු හැසිරීමකින් යුක්තව සිටි මිනිසෙකි. නමුත් මේ සිදුවීමෙන් පසු ඔහු ඉතාමත් නිහතමානී,නිරන්තර සිනහවෙන් යුතුව ප්‍රීතිමත් මිනිසෙකු බවට පත් විය. කෘතිම පාද සවිකර ගත් ඔහු, විවාහ වී දරුවන් හතර දෙනෙකු ලැබ, පසුකාලීනව ළමා ලේඛකයෙකු වී මහත් සතුටින් ජීවිතය ගත කළේය. 

දෛවය මිනිසුන්ව වෙනස් කරන්නේ මෙලෙසිනි.  ශාරීරික රෝගාබාධ මගින් දෙවියන් වහන්සේ ආත්මයන් සුවපත් කරන්නේ මෙලෙසයි!  සමහර විට "මේ විපත්තිය සිදු නොවූවා නම්, ඔහු තවදුරටත් අහංකාරයෙන් ජීවත් වී, ආත්මය වියළී ගිය මිනිසෙකු ලෙස ජීවිතය අවසන් කරන්නට ඉඩ තිබුණි.

"මෙය දුෂ්කර වුවත්, ආධ්‍යාත්මික පවිත්‍රතාවයට ඇති සමීපතම මාවතයි. ඔබ හැම මොහොතකම ඉගෙන ගත යුතුය, කුමක් කිව යුතුදැයි හැම මොහොතකම සිතිය යුතුය. එමෙන්ම නිර්මාණය කළ යුතුය.

ජීවිතය සමහර විට ඔබට දරුණු ලෙස පහර දෙයි, නමුත් ඒ පහරවල් ඔසුවකි. දඬුවමක් යනු ඉගැන්වීමකි.  පාඩමකි. සැලකිලිමත් පියෙකු මෙන් දෙවියන් වහන්සේ අපට උගන්වයි. තම කුඩා පුතු මීළඟ වතාවේ නරක දෙයක් නොකරනු පිණිස පියා ඔහුව වලක්වයි. දරුවා ඉන් මිදෙන්නට දඟලන විට, පියා ඔහුගේ අත තදින් අල්ලා ගන්නේ ඔහු ට්‍රෑම් රථයකට යට නොවනු පිණිසයි. දෙවියන් වහන්සේ ද එසේමය.

පරීක්ෂාවන් යනු විභාගයකි. ඇයි විභාගයක්? එයින් සමත් වීමටයි. මෙම පරීක්ෂාවන් තුළින් අප වඩ වඩාත් පවිත්‍ර හදවතක් , සිතක් ඇත්තෝ වෙමු. රත්තරන් පවිත්‍ර වන්නේ ගින්නෙන් දැවෙන විටය. අපේ ආත්මයන්ද එසේමය. අප 'ඇයි?' කියා ප්‍රශ්න නොකර, මැසිවිලි නොනගා දුක් වේදනා ඉවසා සිටිය යුතුය. එය අපේ මාවතයි."

මෙම ප්‍රකාශය රුසියානු ජාතික කලාකරුවෙකු, සංගීතඥයෙකු සහ රංගන ශිල්පියෙකු වූ පීටර් මාමනොව් (Pyotr Mamonov) විසින් කරන ලද්දකි.ඔහු සිය ජීවිතයේ අවසන් කාලයේදී ක්‍රිස්තියානි ඕතඩොක්ස් (Orthodox Christian) දහම කෙරෙහි දැඩි ලෙස යොමු වූ අතර, එහිදී ඔහු ලත් ආධ්‍යාත්මික අත්දැකීම් ඇතුළත් "Aphorisms" (ප්‍රකාශන) හෝ "Rules of Life" වැනි ලිපි එකතුවන්හි මෙම කොටස ඇතුළත් වේ.

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........