‌විවිධ විෂය මානයන් ඔස්සේ ගවේශනය කිරීමට කැමති, ඒ තුලින් සමාජයට යහපත් පණිවිඩයක් දීමට උත්සහ කරන දෝණි

My photo
Ratnapura, Sabaragamuwa, Sri Lanka
පොතට ආදරය කරන ,සංගීතයට ආදරය කරන ඉංග්‍රිසි ගුරුවරියක්.ගී පද රචිකාවක්. පොත් විචාරකයෙක්. විශේෂාංග නිර්මාණකාරිණියක්. දැනුම බෙදන්නියක්.

Tuesday, October 20, 2026

නොනිමි ප්‍රේමයේද, ශෝකයේද සුගන්ධය රැගෙන රැයේ පිපෙන පාරිජාත

 

නිහඬ රැයක සඳ රැස් අතරින් හමන මන්දමාරුතය සමග මුසු වන ඒ සිහින්, මනරම් සුවඳ ඔබව මොහොතකට නතර කරවා නැද්ද? ගොම්මන් අඳුරත් සමග අවදි වී, හිරු උදාවන විට මිහිකත මත සුදු පියවිල්ලක් එළමින් වැටී තිබෙන පාරිජාත (අප කවුරුත් දන්නා සේපාලිකා) කුසුම යනු හුදෙක් සොබාදහමේ තවත් එක් අලංකාර නිර්මාණයක් පමණක් නොවේ. සුදු පැහැති පෙති අතර තැඹිලි පාට හදමඬලක් සඟවාගත් මේ කුඩා මල පිටුපස ඇත්තේ, අහසත් පොළොවත් අතර අතරමං වූ සදාතනික පෙම් පුවතක හදවත් පාරවන ශෝකී මතකයයි.

 බස්නාහිර බෙංගාලයේ නිහඬ භූමි තලයන්හි පාරිජාත (සේපාලිකා) යනු හුදෙක් කුඩා ශාකයක් හෝ පඳුරක් පමණක් නොවේ.  එය අසිරිමත් කථන්දරයක ජීවමාන සංකේතයකි. දිදුලන කහ-තැඹිලි පැහැ හදමඬලක් වටා සිහින් සුදු පෙති 5-7 ක් පලඳින මේ මල, අඳුරේ නිශ්ශබ්දතාවය අතරේ විකසිත වන්නේ බ්‍රහ්ම කමල මෙන්ම තමා සතු රහස්‍ය සුවඳ මුළු රැය පුරා විහිදුවමිනි. එහෙත් අලුයම හිමිදිරි රැස් පොළොවට පතිත වත්ම, තමා සතු සියලු සුවඳ සහ ශෝභාව පසෙකලා ඒ සුදු පෙති මිහිකත මතට හැලී යයි. නෙතඟින් වැටෙන කඳුළු බිඳු මෙන් අරුණෝදයේදී මහපොළොව මත පතිත වන ඒ සුදු පෙති නිසාම, වෘක්ෂවේදීහු මේ සුන්දර ශාකය 'ශෝකයේ වෘක්ෂය' (Tree of Sorrow) ලෙස අභිෂේක කළහ.

මේ විකසිත වීම පිටුපස ඇත්තේ හදවත පාරවන ප්‍රේමනීය පුරාවෘත්තයකි. පාරිජාත යනු අතීතයේ සූර්ය දිව්‍ය රාජයා කෙරෙහි අප්‍රමාණ ප්‍රේමයෙන් බැඳුණු අතිසුන්දර රාජකීය කන්‍යාවකි. ඇගේ අචල ආදරයට වශී වූ සූර්යයා, ඇය උදෙසාම මනුලොවට පියනැඟුවේය. එහෙත් කාලයාගේ ඇවෑමෙන් සූර්යයාගේ ග්‍රීෂ්ම තේජස දිනෙන් දින වැඩි වන්නට වූ අතර, ඔහුට නැවත දෙව්ලොව බලා යාමට සිදු විය. ප්‍රේමයේ විරහව දරාගත නොහැකි වූ පාරිජාත, සූර්යයා පසුපස දිවගියාය. එහෙත් සූර්ය රශ්මියේ දැවෙන උණුසුම හමුවේ ඇගේ මාතෘශරීරය අළු වී ගියේය.

ඇගේ ඒ අසදෘශ පෙම් භක්තියෙන් කම්පිත වූ දෙවිවරු, සූර්යයා කෙරෙහි වූ ඇගේ ප්‍රේමය සදාතනික කරනු වස් ඇයව පාරිජාත වෘක්ෂය ලෙස නැවත උත්පත්ති ගැන්වූහ. ඒ මල් පෙති පුරා තැවරී ඇත්තේ ඇගේ ප්‍රේමයේ ශේෂ පත්‍රයන්ය. රාත්‍රියේදී සූර්යයාගේ සියුම් හාදුවෙන් ඇය සුවඳවත් වුවද, උදෑසන උදාවන විට උදාවන සූර්යයාගේ දැඩි තේජස සහ තාපය දරාගැනීමට ඇයට තවමත් නොහැකිය. අරුණාලෝකය හමුවේ පාරිජාත ගසෙන් ගිලිහී වැටෙන්නේ, ඒ දහවලේ රශ්මිය දරාගත නොහැකිව ඇය හෙළන ප්‍රේමයේ කඳුළු බිංදුම යැයි ජනප්‍රවාදයේ සඳහන් වේ.

එහෙත් මේ රම්‍ය බව සහ මනරම් සුවඳ පමණක්ම නොවේ පාරිජාත පුජනීයත්වයට පත් කරන්නේ. දැවිල්ල, උණ, ආමාශයික පීඩා, මලබද්ධය, චර්ම රෝග මෙන්ම ස්නායු ශාන්ත කිරීමේ, ප්‍රතිඔක්සිකාරක සහ මුත්‍රාකාරක හැකියාවන්ගෙන් සමන්විත අසමසම ඖෂධීය බලයක්ද ඒ අසිරිය පිටුපස සැඟවී පවතී.

සෑම හිමිදිරියකම හිරුගේ ප්‍රථම කිරණ පතිත වන්නටත් පෙර බිමට හැලී යන්නේ මල් පෙති පමණක් නොවේ; ඒ, යුග යුග ගණනක් තිස්සේ පැවත එන නොමියෙන පෙම් භක්තියක කඳුළු කැටයි. රැයට පමණක් උරුම වූ අසමසම සුවඳිනුත්, ගත සිත නිවන ඖෂධීය ශක්තියෙනුත් පරිපූර්ණ වූ පාරිජාත, අපට කියා දෙන්නේ අපූරු පාඩමකි . එනම්, ඇතැම් සුන්දරත්වයන් විඳගත යුත්තේ ලෝකයට හොරෙන්, රැයේ නිහඬතාවය තුළ පමණක්ම බවයි. ඔබ ඊළඟ වතාවේ පෙති හැලුණු සේපාලිකා ගසක් දෙස බලන විට, ඒ බිම වැටී තිබෙන්නේ මලක් නොව, ආදරය වෙනුවෙන් පූජා වූ පෙම්වතියකගේ ආත්මය බව ඔබට මතක් වේවි.

මූලාශ්‍ර 

Flora of West Benga
කාලිදාසයන්ගේ සාහිත්‍ය කෘති

No comments:

Post a Comment

ඔබෙ දිය පොදත් එක් කරන්න.........